මුද්‍රණය සඳහා

 
රජයේ රෝහලකින් පැන්නු ලක්‍ෂ 10ක බේත් තොග පිටකොටුවේ පාමසියක

රජයේ රෝහලකින් පැන්නු ලක්‍ෂ 10ක බේත් තොග පිටකොටුවේ පාමසියක

රජයේ රෝහල්වලින් රෝගීන් සඳහා නොමිලේ නිකුත් කරන ඖෂධ තොගයක් පිටකොටුව ප්‍රදේශයේ පිහිටි පෞද්ගලික ඖෂධ අලෙවි හලක අලෙවියට තබා තිබියදී අත්අඩංගුවට ගැනීමට ජාතික ඖෂධ අධිකාරියේ විශේෂ විමර්ශන කණ්ඩායමක් ඊයේ (13) සමත් විය.

අත්අඩංගුවට ගෙන ඇති ඖෂධ තොගයේ වටිනාකම රුපියල් ලක්‍ෂ දහයකට වැඩි බවට ගණන් බලා තිබේ. අවශ්‍ය වූ විට දිව යට තබා ගැනීමේ පෙත්තක් ලෙස රජයේ රෝහල්වලින් හෘද රෝගීන් සඳහා නොමිලේ නිකුත් කරන ‘ ටී. එන්. ටී ‘ නමැති පෙති විශාල තොගයක්ද මීට අයත්ව තිබී ඇත.

එහි වටිනාකම රුපියල් පනස් දහසක් පමණ වෙතැයි ගණන් බලා තිබේ. මෙසේ පිටකළ තවත් ඖෂධ වර්ග 52ක් ද අත්අඩංගුවට ගෙන තිබේ. පෞද්ගලික ඖෂධ අලෙවි සල්වලද මේ ඖෂධය පසුගිය සමයේ හිඟව පැවතිනි. මීට අමතරව, ඉහත කී ඖෂධ අලෙවිහල සිදු කැර තිබූ නීති විරෝධි ක්‍රියා රැසක් ද මේ වැටලීමේදී හෙළිදරව් කරගෙන තිබේ.

ඖෂධ වර්ග ඒවා නිසි උෂ්ණත්වය යටතේ ගබඩා නොකිරීම, කල් ඉකුත් වූ ඖෂධ රෝගීන්ට නිකුත් කිරීම හා අලෙවිය සඳහා තබා ගැනීම, ඖෂධවේදියකු නොමැතිව රෝගීන්ට ඖෂධ නිකුත් කිරීම, ආහාර හා ඖෂධ එකට ශීතකරණයක ගබඩා කර තැබීම, වෛද්‍යවරුන්ට ලබා දෙන ඖෂධ සාම්පල මහ ජනතාවට අලෙවි කිරීම සඳහා ළඟ තබා ගැනීම එකී නීති විරෝධි ක්‍රියාවෙකි.

මෙකී වැරැදි සම්බන්ධයෙන් අදාළ ඖෂධ අලෙවිහලට එරෙහිව නඩු පැවරීමට පියවර ගන්නා බව ජාතික ඖෂධ අධිකාරියේ අධ්‍යක්‍ෂ වෛද්‍ය හේමන්ත බෙනරගම මහතා පැවැසීය.

මේ පිළිබඳව සෞඛ්‍ය ඇමැති මෛත්‍රීපාල සිරිසේන මහතාගෙන් කළ විමසීමකදී.

මෙම ඖෂධ මෙකී පෞද්ගලික ඔසුසලේ අලෙවියට තබා තිබීම පසු පස ජාවාරමක් සිදුවන බැව් පෙනී යන බවත්, රෝහල්් සේවකයෙකු මෙම කටයුත්තට සම්බන්ධ බවට කිසිම සැකයක් නැති බවත් එම නිසා මෙම ඖෂධ තොගය එම පෞද්ගලික ඔසුසලට අලෙවි කළ රෝහල් සේවකයන් හෝ සේවකයා අත්අඩංගුවට ගැනීම සඳහා රහස් පොලිසියට එම පරීක්‍ෂණ කටයුතු බාර දෙන බවත් මේ සම්බන්ධ වැඩිදුර පරීක්‍ෂණ පැවැත්වීමට අවශ්‍ය පියවර ගන්නා බවත් අමාත්‍යවරයා ප්‍රකාශ කෙළේය. ඒ අනුව, ජාතික ඖෂධ අධිකාරිය මගින් මෙම පරීක්‍ෂණ කටයුතු රහස් පොලිසියට බාර දෙන ලෙසටද ඇමැතිවරයා උපදෙස් දුන්නේය.


ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත‍්‍ර සමාගම
© 2010 සියලු හිමිකම් ඇවිරිණි.
ඔබගේ අදහස් හා යෝජනා අපි අගයන්නෙමු
[email protected]