රවි ඇතුළු පිරිසට පහර දුන් සිද්ධියට තව 2ක් සැකපිට

රවි ඇතුළු පිරිසට පහර දුන් සිද්ධියට තව 2ක් සැකපිට

කොළඹ දිස්ත්‍රික් එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක මහතා ඇතුළු කණ්ඩායමට බෙලිඅත්තේ දී ප්‍රහාර එල්ල කළ කල්ලියට අයත් බව කියන තව සැකකරුවන් දෙදෙනෙකු ඊයේ (13) සවස අත්අඩංගුවට ගෙන තිබේ.

පැමිණිළි කරුවන් හා පෙරේදා අත්අඩංගුවට පත් සිවු දෙනා හෙළිකළ තොරතුරු අනුව මොවුන් අත්අඩංගුවට ගත් බව බෙලිඅත්ත පොලිසිය පවසයි.ඉකුත් 08 වැනිදා රාත්‍රී එල්ලවූ මේ ප්‍රහාරය සම්බන්ධයෙන් මේ වන විට පුද්ගලයන් 6 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙන අතර ඔවුන් අධිකරණය හමුවට පැමිණවීමට ක්‍රියාකරන බව පොලිසිය කීය.

හම්බන්තොට දිස්ත්‍රික් එ.ජා.ප. සංවිධායක සජිත් ප්‍රේමදාස මහතාට බැනවැදුනායි පවසා සැකකරුවන් රවීකරුණානායක මහතා ඇතුළු කණ්ඩායමට ගල්මුල් ප්‍රහාර එල්ල කර ඇති බව ප්‍රශ්න කිරීමේදී පොලිසිය හෙළිදරව් කරගෙන තිබේ. මේ සම්බන්ධයෙන් අවශ්‍ය තවත් සැකකරුවෙකු අත්අඩංගුවට ගැනීම සඳහා පොලිස් කණ්ඩායමක් යොදවා ඇත.

දකුණු පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති කිංස්ලි ඒකනායක, නියෝජ්‍ය පොලිස්පති නීල් දළුවත්ත මහත්වරුන්ගේ උපදෙස් මත තංගල්ල පොලිස් අධිකාරී චන්ද්‍රකුමාර හා සහකාර පොලිස් අධිකාරී ක්‍රිෂාන්ත ජයවර්ධන මහත්වරුන්ගේ මෙහෙයවීම මත බෙලිඅත්ත පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්‍ෂක තිස්ස විතානගේ මහතා ඇතුළු කණ්ඩායමක් සිද්ධිය පිළිබඳ පරීක්‍ෂණ පවත්වති.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා