ප්‍රථම කුඹල් පෙරහර හෙට

ප්‍රථම කුඹල් පෙරහර හෙට

ඓතිහාසික මහනුවර ඇසළ පෙරහර මංගල්‍යයේ ප්‍රථම කුඹල් පෙරහර හෙට (15) වීදි සංචාරය කරයි. කුඹල් පෙරහර හෙට (15) දළදා වීදිය, සේනානායක වීදිය, පන්සල පාර, දේව වීදිය කොළඹ වීදිය, යටිනුවර වීදිය ඔස්සේ ගමන් ගෙන රජ විදියට හැරී ඉහළට විත් ගෙවදීමට නියමිතය.

ඉතිහාසයේ ප්‍රථම වතාවට මෙවර ප්‍රථම කුඹල් පෙරහර දීර්ඝතම මාර්ගයක් ඔස්සෙන් ගමන් කරනු ඇත. කුඹල් පෙර හර 19 දා තෙක් පැවැත්වෙයි . ප්‍රථම රන්දෝලි පෙරහැර 20 දා වීදි සංචාරය කරයි. අවසන් රන් දෝලි මහ පෙරහර නිකිණි පුන් පොහෝ දිනය යෙදෙන 24 දා රාත්‍රියේ වීදි සංචාරය කරන අතර පසු දින දවල් පෙරහරින් පසු මහනුවර ඇසළ පෙරහර මංගල්‍යය නිමාවට පත්වෙයි.

මේ අතර වසරක් පාසා මහනුවර ඇසළ පෙරහර සමයේ ක්‍රියාත්මක කෙරෙන සිරි දළදා සමිඳුන්ට පිදෙන පාරිසරික සත්කාරය වන “පරිසරය පූජනීය” වැඩ සටහන මෙවර ද මහනුවර නගරාශි‍්‍රත පරිශ්‍රයේ දී ක්‍රියාත්මක කෙරේ.

මධ්‍යම පරිසර අධිකාරියේ පාරිසරික අධ්‍යාපන හා දැනුවත් කිරීමේ අංශය 2003 වසරේ සිට මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාලය, මහනුවර මහ නගර සභාව අධ්‍යාපන දෙපාර්තමේන්තුව සහ සියලුම ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල සහභාගිත්වයෙන් සිදුකරනු ලබන මෙම විශේෂිත පාරිසරික වැඩසටහන සිරි දළඳා සමිඳුන්ට පිදෙන පාරිසරික සත්කාරය ‘ නමින් හඳුන්වයි.

දළදා පෙරහර සමයේ නගරයට එක්රැස් වන ජනතාව නිසා පරිසරයට සිදුවන හානි සහ බලපෑම් අවම කිරිම මෙම වැඩ සටහනේ අරමුණයි. මධ්‍යම පරිසර අධිකාරියේ අධ්‍යාපන හා දැනුවත් කිරීමේ අංශය මගින් ශ්‍රී ලංකාව පුරා පාසල් වල ක්‍රියාත්මක කරන පරිසර නියමු වැඩසටහන යටතේ එක්ව සිටින පාසල් පරිසර නියමුවන් මෙම වැඩසටහන සඳහා යොදවා ගැනේ.

වැඩසටහන යටතේ පාරිසරික හානිය සිදුවන ආකාරය සහ ඒවායින් වැළකී සිටීම පිළිබඳ දැනුවත් කිරීම් රැසක් ද මේ යටතේ සිදු කෙරේ.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා