මුද්‍රණය සඳහා

 
දෙල්ගොඩ-කඳුබොඩ කන්දේ පරිසර හානිය නවත්වන්න

දෙල්ගොඩ-කඳුබොඩ කන්දේ පරිසර හානිය නවත්වන්න

ගම්වැසියෝ බලධාරින්ගෙන් ඉල්ලති

ජෛව විවිධාත්මක හා පාරිසරික වටිනාකමක් ඇති දෙල්ගොඩ කඳුබොඩ කන්ද මුදුනෙහි අක්කර අටක භූමියක පෞද්ගලික ආයතනයකින් සිදුකිරීමට යන ව්‍යාපෘතියක් පිළිබඳව කඳුබොඩ ගමේ සාමාජීය, ආගමික හා දේශපාලන ක්‍රියාකාරිහු අතර දැඩි නොසන්සුන්තාවක් මේ වනවිට ඇතිවී ඇත.මේ ගැන තොරතුරු සෙවීමේදී ගම්වාසීහු මෙසේ කීහ. කන්ද මුදුනේ ආරක්ෂක නිලධාරින් යොදවා කන්දේ ගස් කපලා සුද්ද කරනවා. කන්දේ ආච්චි, හාමුදුරුවන්ට පූජා කරපු ඉඩමේ තමා මේවා කරන්නේ. කන්දේ ආච්චි හිටපු ගෙයි වහලෙත් ගලෝල. එතන තිබුණු ලොකු බුදු පිළිමයත් නැහැ. කන්ද උඩ වෙන්නේ මොනවාද කියා අපට ලොකු ප්‍රශ්නයක්.

මේ ගැන කරුණු සොයා බැලීමට ඉකුත් (07) දා බස්නාහිර පළාත් සභා මන්ත්‍රී ගුණසිරි ජයනාත්, බියගම ප්‍රාදේශීය සභා මන්ත්‍රී කැලුම් විජයලත් යන මහත්වරු හා ගම්වාසීන් සමඟ කඳුබොඩ කඳු මුදුනට යන ගමනට එක්වුනෙමු. කඳු බෑවුම් තුරුලතාවලින් පිරුණු ගමන් මාර්ගයකින් කන්ද තරණය කළ අප කඳු මුදුනට ළඟා වූයේ ගම්මුන් කන්දට කවදත් ගිය මාර්ගයකිනි. එම මාර්ගයේ කඳුමුදුනට ආසන්නව තිබූ නාමපුවරුවක සටහන්ව තිබුණේ ‘මෙහි ඇතුළුවීම සපුරා තහනම්’ බවයි.

කඳු මුදුනෙහි යම්කිසි භූමි ප්‍රමාණයක් ගස් කපා සුද්ද කර තිබිණි. කන්දේ ආච්චි පදිංචිව සිටි නිවසේ වහලය සම්පූර්ණයෙන්ම ගලවා නිවසේ කොටස්ද කඩා බිඳ වැටී තිබුණි. හාමුදුරු නමකට කන්දේ ආච්චි විසින් පූජා කළා යැයි කියන නිවසේ තිබී ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානය වශයෙන් සටහන් නාම පුවරුවක්ද තිබුණි. කඳු මුදුනෙහි පිහිටි පොකුණද සිදී ගොස්ය. කන්දේ තිබුණු ලොකු පුස්වැළද කටුඉඹුල, මොර ගස්ද කපා කොටා දමා තිබුණි.

අදාළ ව්‍යාපෘතියට සම්බන්ධ බව පැවැසූ පුද්ගලයකු කියා සිටියේ පෞද්ගලික ආයතනයක ට්‍රාන්ස්මීටර් කුළුනක් ඉදිකරන බවයි. ඒකෙන් කාටවත් හානියක් නැහැ. මේ ඉඩම නීත්‍යානුකූ®ලව අපි ලබාගෙන තිබෙනවා. කන්දේ අප ගත් ඉඩමට පිවිසුම් මාර්ගයක් නැතත් දැන් තාක්ෂණය දියුණු නිසා අදාළ අමුද්‍රව්‍ය අපි හෙලිකොප්ටර්වලින් ගේනවා. අපට පර්චස් 20 ක් විතර තමා මේ ටවර් එකට යටවෙන්නේ යැයි ඔහු වැඩිදුරටත් කීවේය.

කඳුබොඩ බටහිර ග්‍රාම සංවර්ධන සමිතියේ සභාපති සුමිත් පනාපිටිය මහතා, දීන කීපයකට කලින් කන්දේ ගස් කපලා සුද්ද කරලා. කන්දේ ආච්චිගේ නිවසේ වහලය ගලෝලා එතන තිබුණ ලොකු බුදුපිළිමයත් නැහැ. මේ නිසා කන්දේ විශාල පරිසර හානියක් වෙනවා. අපි ගමට ආදරෙයි. අපි උපන්දා පටන් තිබුණු මේ කන්ද ගමේ පරිසරය සුරකිමින් ඉදිරියටත් අපේ දරුවන්ට බලාගන්න තිබිය යුතුයි.

බස්නාහිර පළාත් සභා මන්ත්‍රී ගුණසිරි ජයනාත් මහතා, භූගෝලීය වශයෙන් වැදගත්කමක් ඇති කඳුබොඩ කන්ද ජෛව විවිධත්වය සුරකින ස්ථානයක් අපි උපන්දා සිට දැකපු මේ සුන්දර හරිත බව විනාශවන්න දෙන්න බැහැ. මේ පූජා කරපු ඉඩම විකුණපු එක වංචාවක්. සංවර්ධන කටයුත්තක් කරනවානම් අදාළ ආයතනවල අවසරය ගත යුතුයි. කටවචනයෙන් අවසර ගත්තා කිව්වාට කිසිඳු ලියවිල්ලක් මොවුන් අපට පෙන්නුවේ නැහැ. මම බියගම ප්‍රාදේශීය සභාවේ සභාපතිගෙනුත්, බියගම ප්‍රාදේශීය ලේකම්වරයාගෙනුත් මේ ගැන විමසුවා. ඔවුන්ද මේ ගැන දැනුවත් වෙලා නැහැ. ටවර් එක ඉදිකරන්න පර්චස් 20 ක් යන බව කිව්වා. නමුත් ඊට වඩා විශාල භූමියක් ගස් කපා එළිපෙහෙළි කරලා.

සොබාදහමට අයිතිවාසිකම් කියමින් අනාගත පරපුරට හිමි සෞන්දර්යාත්මක මෙන්ම පෞරාණිකව ඉතා වටිනාකමක් ඇති දේපළක් රුපියල් ශත වෙනුවෙන් වැනසීයාමට ඉඩ නොදිය යුතුයි. කඳුබොඩ කන්ද ආරක්ෂා කර ගැනීමට සියලුදෙනා පෙරට ආ යුතුය. එය අපට නොව මතුපරපුර වෙනුවෙන් කරන උදාර මෙහෙවරකි.
 

කඳු මුදුනෙහි තිබූ දිය පොකුණ සිඳී ගොස් ඇති අයුරු.

කන්දේ ආච්චි හාමුදුරුවන්ට පූජා කළ නිවසෙහි ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථාන යනුවෙන් සඳහන් පුවරුව

ඡායාරූප - දෙල්ගොඩ සමූහ


ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත‍්‍ර සමාගම
© 2010 සියලු හිමිකම් ඇවිරිණි.
ඔබගේ අදහස් හා යෝජනා අපි අගයන්නෙමු
[email protected]