මුද්‍රණය සඳහා

 
යොවුන් ඔලිම්පික් උළෙල උත්කර්ෂවත් ලෙස ආරම්භ වෙයි

යොවුන් ඔලිම්පික් උළෙල උත්කර්ෂවත් ලෙස ආරම්භ වෙයි

යෞවනයේ හෙට දවසේ ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ දක්‍ෂතා මැන ගනිමින් ඔවුන්ව ඉදිරියට ගෙන යෑමේ ප්‍රයත්නය පෙරදැරි කර ගනිමින් පැවැත්වෙන ලොව ප්‍රථම යොවුන් ඔලිම්පික් ක්‍රීඩා උළෙල අද (14 දා) සිංගප්පූරුවේ “මැරිනා බේ” හිදී අති උත්කර්ෂවත් අන්දමින් ආරම්භ වෙයි. තරග ඉසව් 26 ක් වෙනුවෙන් ලොව පුරා ඔලිම්පික් කමිටු 204 ක් නියෝජනය කරමින් යොවුන් ක්‍රීඩක ක්‍රීඩිකාවන් 3600 ක් දෙනා පුරා දින 13 ක් තිස්සේ (26 වැනිදා තෙක්) ක්‍රීඩාංගණ 18 කදී මෙම යොවුන් ඔලිම්පික් උළෙලේ දී තරග වැදීමට නියමිතය.

ශ්‍රී ලංකාව මෙහිදී තරග හතරක් නියෝජනය කරමින් ක්‍රීඩක ක්‍රීඩිකාවන් හත්දෙනෙකු සහභාගි වන අතර ඔවුහු පෙරේදා සිංගප්පූරුවට පැමිණියහ. පිහිනුම් ක්‍රීඩකයින් දෙදෙනෙක්, බැඩ්මින්ටන් ක්‍රීඩකයින් දෙදෙනෙක්, ටේබල් ටෙනිස් ක්‍රීඩකයින් දෙදෙනෙක් හා එක් මලල ක්‍රීඩකයෙක් ශ්‍රී ලංකා කණ්ඩායමට අයත්වන අතර ඊට අමතරව නිලධාරීහු හත්දෙනෙකු ද ශ්‍රී ලංකා කණ්ඩායමට එක්වී සිටිති.

යොවුන් ක්‍රීඩකයින් තිදෙනෙකු හා එක් ක්‍රීඩිකාවකට පරිසාදක මට්ටමක තරගාවලියට සුදුසුකම් හිමිවූ අතර, ඉතිරි තිදෙනා මෙම යොවුන් ඔලිම්පික් තරගාවලිය සඳහා සහභාගි වන්නේ ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුව මගින් සෑම රටකටම පිරිනමනු ලබන දිරිමත් කුසලතා වෙනුවෙන් වූ (උදඪමඥපඵචතඪබර ර්‍ථතචජඥඵ) තෝරාගැනීම මතයි. මහනුවර ත්‍රිත්ව විද්‍යාලයේ දක්‍ෂ යොවුන් පිහිනුම් ශූරයකු වන හේෂාන් උනම්බුව ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකත්වය දරන අතර ඔහු පදක්කමක හොඳ බලාපොරොත්තුවක් වී සිටී.

ඔහු මීටර් 100 හා 50 පසුපස ආර ඉසව් සඳහා තරග වදී. මහනුවර මහමායා විදුහලේ මාධවී වීරතුංග අනිත් පිහිනුම් ක්‍රීඩිකාවයි. ඇය 17 න් පහළ මීටර් 100 නිදහස් ආර තරගයේ වාර්තාවට හිමිකම් කියන අතර ඇය මෙහිදී ද මීටර් 100 ට අමතරව මීටර් 50 නිදහස් ආර වෙනුවෙන් ද තරග වැදීමට නියමිතය. පිහිනුම් තරග 15 වැනිදා සිට 20 වැනිදා දක්වා පැවැත්වේ. බැඩ්මින්ටන් තරගකරුවන් වන්නේ කොළඹ ආනන්ද විද්‍යාලයේ දිල්ෂාන් කාරියවසම් හා මොරටුව “අවර් ලේඩි ඔෆ් වික්ටරි” කන්‍යාරාමයේ ලේඛා ෂෙහානී ය.

ධර්මාශෝක විදුහලේ හසින්ත ශෂිරංග හා එම විදුහලේම නුවනී නවෝද්‍යා මෙම තරගාවලියේ ටේබල් ටෙනිස් තරගකරුවන් වන අතර ශෂිරංග පිරිමි කේවල තරගයටත්, නවෝද්‍යා කාන්තා කේවල තරගයටත් සහභාගි වීමට නියමිතයි. ටේබල් ටෙනිස් තරග 21 වැනිදා සිට 26 වැනිදා දක්වා පැවැත්වේ. ජාත්‍යන්තර තරගවලදී ශ්‍රී ලංකාව මලල ක්‍රීඩා අංශයෙන් වැඩි ජයග්‍රහණ ප්‍රමාණයක් ලබාගෙන ඇතත් මෙම යොවුන් ඔලිම්පික් උළෙල නියෝජනය කරනු ලබන්නේ එකම ක්‍රීඩකයකු බැවින් වලල, මැණික්හින්න ආර්. රත්නායක මධ්‍ය මහා විද්‍යාලයේ ඉඳුනිල් හේරත් පිළිබඳව කාගේත් වැඩි අවධානය යොමු වී ඇත. ඔහුගේ සුපුරුදු ඉසව්ව මීටර් 800 වුවත්, මෙම තරගාවලියේ මීටර් 800 තරගයක් නොමැති වීම නිසා ඔහුට තරග කිරීමට සිදුව ඇත්තේ මීටර් 1000 තරගය වෙනුවෙනි. මලල ක්‍රීඩා තරග 17 සිට 23 වැනිදා දක්වා පැවැත්වේ.


ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත‍්‍ර සමාගම
© 2010 සියලු හිමිකම් ඇවිරිණි.
ඔබගේ අදහස් හා යෝජනා අපි අගයන්නෙමු
[email protected]