මුද්‍රණය සඳහා

 
අධි බලැති පුපුරන ද්‍රව්‍ය තොගයක් මුලතිව් ප්‍රදේශයෙන් සොයා ගනී

අධි බලැති පුපුරන ද්‍රව්‍ය තොගයක් මුලතිව් ප්‍රදේශයෙන් සොයා ගනී

මුලතිව් පොලිස් වසමේ වෙල්ලමුල්ලිවෛක්කාල් හා කරයාමුල්ලිවෛක්කාල් ප්‍රදේශවල එල්. ටී. ටී. ඊ. ය විසින් වළ දමා සඟවා තිබූ අධි බලැති ක්ලේමෝ බෝම්බ 15 ක්, ජීව අත්බෝම්බ 147 ක් හා ආර්. පී. ජී. උණ්ඩ 41 ක් ඇතුළු පුපුරණ ද්‍රව්‍ය හා පන්සියයකට අධික ජීව උණ්ඩ තොගයක් නුවරඑළිය විශේෂ කාර්යාංශයේ නිලධාරීන් පිරිසක් විසින් පෙරේදා (12) සොයාගනු ලැබ ඇත.

මෙම කාර්යංශයට ලද තොරතුරක් මත අදාළ ප්‍රදේශයන්හි ඝන කැලෑවේ වළ දමා තිබූ මෙම පුපුරණ ද්‍රව්‍ය, ජීව උණ්ඩ සොයා ගනු ලැබ තිබේ. කිලෝ 12 1/2 ක් බරැති ක්ලේමෝ බෝම්බ 06 ක්, කිලෝ 8 ක් බරැති ක්ලේමෝ බෝම්බ 08 ක් මෙහිදී සොයාගනු ලැබූ පුපුරණ ද්‍රව්‍ය අතර වේ.

අත්බෝම්බ හා ආර්. පී. ජී. උණ්ඩ තොගයට අමතරව ආර්. පී. ජී. චාජර් 28 ක්, මි. මී. 60 කාට්ලේජර් 7 ක්, මි. මි. 60 පියුස් පෙට්ටි 24 ක් මෙහිදී සොයාගනු ලැබ ඇත. පසුගිය වකවානුව තුළ එල්. ටී. ටී. ඊ. සැකකරුවන් විශාල තොගයක් නුවරඑළිය ඇතුළු කඳුකරයෙන් අත්අඩංගුවට ගැනුණු අතර ඔවුන්ගෙන් ද ලද තොරතුරු අනුව පුපුරණ ද්‍රව්‍ය හා අවි ආයුධ විශාල වශයෙන් අත්අඩංගුවට ගැනිණි.

මේ අතර මෙවර අත්අඩංගුවට ගැනුණු පුපුරණ ද්‍රව්‍ය හා ජීව උණ්ඩ සොයාගැනීමේදී විශේෂ කාර්යාංශයට ඒ පිළිබඳ තොරතුරු රැසක් ලැබී ඇත. මධ්‍යම පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ගාමිණී නවරත්න, නියෝජ්‍ය පොලිස්පති ජයන්ත ගම්මන්පිල, නුවරඑළිය කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ගාමිණී මතුරට යන මහත්වරුන්ගේ උපදෙස් මත නුවරඑළිය විශේෂ කාර්යාංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්‍ෂක ඩබ්ලිව්. එස්. ෆොන්සේකා මහතා ඇතුළු නිලධාරීහු පිරිසක් මෙහි වැඩිදුර පරීක්‍ෂණ පවත්වති.


ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත‍්‍ර සමාගම
© 2010 සියලු හිමිකම් ඇවිරිණි.
ඔබගේ අදහස් හා යෝජනා අපි අගයන්නෙමු
[email protected]