දමිළ සරණාගතයන් රැගත් නෞකාව කැනේඩියානු නාවික හමුදා අත්අඩංගුවට

දමිළ සරණාගතයන් රැගත් නෞකාව කැනේඩියානු නාවික හමුදා අත්අඩංගුවට

ශ්‍රී ලාංකික දමිළ සරණාගතයන් ඇතුළු පිරිසක් රැගත් එම්. වී. සන් සී නෞකාව කැනේඩියානු නාවික හමුදා බාරයට පත්ව ඇත. ද්‍රවිඩ ජාතිකයන් 490දෙනෙකු මේ නෞකාවේ සිටින බවට ප්‍රකාශ කැර ඇති අතර අදාළ නෞකාව එස්කිමෝල්ට් නැමැති ස්ථානය කරා රැගෙන ගොස් ඇතැයි තානාපති ආරංචි මාර්ග සඳහන් කරයි.

ද්‍රවිඩ සරණාගතයන් රැගත් නෞකාව මීට මාස කීපයකට පෙර ඕස්ට්‍රේලියාව බලා ගමන් ආරම්භ කළද ඕස්ට්‍රේලියානු නව අගමැතිවරියගේ දැඩි නීති රීති හේතුවෙන් එම ගමන් මඟ වෙනස් කොට කැනඩාව බලා ගමන් ආරම්භ කැර ඇතැයි වාර්තා විය.

කෙසේ වුවද මේ නෞකාව පැමිණෙන බවට මීට පෙර තොරතුරු අනාවරණය කැර ගත් කැනේඩියානු ආරක්ෂක අංශ දැඩි විමසිල්ලෙන් පසුවූ අතර එම්. වී. සන් සී නැමැති නෞකාව කැනේඩියානු වෙරළට පැමිණි පසු එරට නාවික හමුදා බාරයට ගෙන ඇත.

කාන්තාවන් හා ළමයින් ඇතුළු දෙමළ සරණාගතයන් 490ක් මේ නෞකාවේ සිටි අතර ඉන් 200ක් පමණ ශ්‍රී ලාංකික සරණාගතයන් බවට හඳුනාගෙන ඇතැයි තානාපති ආරංචි මාර්ග සඳහන් කරයි. තවද එල්. ටී. ටී. ඊ සාමාජිකයන් මෙන්ම මිනිස් ජාවාරම් කරුවන්ද මෙහි සිටින බව කැනඩාවේ මහජන ආරක්ෂක ඇමැති වික්ටෝස් මහතා පවසා ඇත.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා