මුද්‍රණය සඳහා

 
අමෙරිකා ඉල්ලීම නොතකා ඇෆ්ගන් යුද්ධයේ අවසන් ලිපි ගොනුත් නිකුත් කිරීමට විකිලීක්ස් සූදානම්

අමෙරිකා ඉල්ලීම නොතකා

ඇෆ්ගන් යුද්ධයේ අවසන් ලිපි ගොනුත් නිකුත් කිරීමට විකිලීක්ස් සූදානම්

අමෙරිකාවේ ඉල්ලීම නොතකා, ඇෆ්ගන් යුද්ධය පිළිබඳ තවත් අමෙරිකානු යුද ලිපිගොනු කිහිපයක් නිකුත් කිරීමට විකිලීක්ස් වෙබ් අඩවිය සූදානම් වෙයි. මේ අනුව, අවසන් ලිපිගොනු 15,000 නිකුත් කෙරෙන බව වෙබ් අඩවියේ අධිපති ජුලියන් අසන්ගි ලන්ඩනයේදී අවධාරණය කර තිබේ. මේ අතර මෙම වෙබ් අඩවිය සිදුකරන්නේ “ඇදහිය නොහැකි තරම් වගකීම් විරහිත” කටයුත්තක් බව දේශසීමාවලින් තොර ස්වාධීන වාර්තාකරුවන් කණ්ඩායමක් චෝදනා කර තිබේ.

මේ සම්බන්ධයෙන් පියවර ගැනීමේදී ධවල මන්දිරයේ සහ පෙන්ටගනයේ සහාය දිගින් දිගටම ඉල්ලා සිටියත්, එම සහාය තමන්ට නොලැබුණ බව අසන්ගි චෝදනා කරයි. මේ අතර, ඉකුත් ජූලි මාසයේදී මෙම වෙබ් අඩවිය ප්‍රසිද්ධියට පත්කළ යුද ලිපිගොනු 70,000 ආපසු බාරදෙන ලෙස ධවල මන්දිරය ඉල්ලා ඇත. විකිලීක්ස් වෙබ් අඩවිය සොරාගත් සියලුම තොරතුරු වෙබ් අඩවියෙන් වහාම ඉවත්කර වගකීමෙන් යුතුව කටයුතුකරන ලෙස පෙන්ටගන් ප්‍රකාශක ජොෆ් මොරෙල් ඉල්ලා තිබේ.

ප්‍රසිද්ධියට පත් කළ යුද ලිපිගොනුවල පාකිස්තාන් ඔත්තුකරුවන් කෙළින්ම තලෙයිබාන් සටන්කාමීන් හමුවූ බවත්, විදේශීය හමුදා අහිංසක සාමාන්‍ය වැසියන් මරා දැමූ බවටත් හානිකර තොරතුරු ඇතුළත් වේ. තොරතුරු සැපයූ ඇතැම් ඇෆ්ගන් ජාතිකයන්ගේ නම්ද හෙළිදරව් කර ඇති බැවින් ඔවුන් ත්‍රස්තවාදීන්ගේ ඉලක්ක බවට පත්වී ඇති බවට අමෙරිකන් ආරක්ෂක ලේකම් රොබට් ගේට්ස් සහ ඒකාබද්ධ කාර්යය මණ්ඩල ප්‍රධානී අද්මිරාල් මයික් මුලන් චෝදනා කරති.


ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත‍්‍ර සමාගම
© 2010 සියලු හිමිකම් ඇවිරිණි.
ඔබගේ අදහස් හා යෝජනා අපි අගයන්නෙමු
[email protected]