අගරදගුරු මැල්කම් රංජිත් හිමිපාණන් කාදිනල් ධුරයට:

අගරදගුරු මැල්කම් රංජිත් හිමිපාණන් කාදිනල් ධුරයට:

ශ්‍රී ලංකාවට අභිමානයක් බව ජනාධිපති සුබ පතමින් කියයි

අති උතුම් කොළඹ අගරදගුරු මැල්කම් රංජිත් හිමිපාණන් අතිඋතුම් සොළොස්වන බෙනඩික් ශුද්ධෝත්තම පාප් වහන්සේ විසින් කාදිනල් තනතුරට ඔසවනු ලැබීය.

එතුමන් වතිකානයේදී සසුන් පියාණන් වෙතින් නොවැම්බර් 20 දා ධුරාවලිය ලබාගැනීමට නියමිතය.

අගරදගුරුතුමන් කාදිනල් ධුරයට පත්වීම ගැන ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා ඊයේ සිය උණුසුම් සුබ පැතුම් පිරිනැමීය.

වසර 45කට පසු ශ්‍රී ලංකාවේ මැල්කම් රංජිත් පියතුමන්ට කාදිනල් ධුරය ලැබීම ඉමහත් අභිමානයක් බව ජනාධිපතිතුමා සිය සුබපැතුම් පණිවුඩයෙන් කියා සිටි.

කාදිනල් ධුරයට පත්වීම ඊයේ (20) මධ්‍යාහ්නයේ වතිකානයේ සාන්ත පීතර චතුරස්‍රයේ පැවැති සසුන් පිය සතිපතා මහජන හමුවේ දී ප්‍රකාශයට පත් කෙරිණි. ශුද්ධෝත්තම පියතුමන් විසින් කාදිනල්වරයට විසි හතර දෙනකු නම්කරන ලද අතර, අති උත්තම මැල්කම් රංජිත් හිමිපාණන් ආසියාවෙන් නම් කළ එකම හිමිපාණන් වෙයි.

ශුද්ධෝත්තම පියතුමකු ලෙස පත්වීමට මෙන්ම ඒ සඳහා සුදුස්සකු තෝරා පත්කර ගැනීමට කාදිනල් හිමිපාණන්ට බලය ඇති අතර මෙරට එකම කාදිනල් සග සැපත් අති උතුම් තෝමස් කාදිනල් කුරේ හිමිපාණන්ගෙන් පසු ඒ තනතුරට පත්වන දෙවන ශ්‍රී ලාංකිකයා අති උතුම් මැල්කම් රංජිත් අගරදගුරු හිමිපාණෝ ය.

1947 නොවැම්බර් 15 දා පටබැඳිගේ දොන් විලියම් හා මේරි විනිප්‍රීඩා යුවළට දාව පොල්ගහවෙල දී උපත ලද කුළුඳුල් පිරිමි දරුවා පටබැඳිගේ දොන් ඇල්බට් මැල්කම් රංජිත් විය. මෝදර ද ලාසාල් විදුහලේ සිප් සතර හදාරා 1965 බොරැල්ල සා. ඇලෝසියස් කනිටු දෙව්සත්හලට ඇතුළු වූ එතුමා 1966 – 1970 අම්පිටිය ජාතික දෙව්සත්හලේ ඉගෙනුම ලබමින් සිටියදී රෝමයේදී උර්බානියානු සසුන් පිය දෙව්සත්හලේ වැඩිදුර අධ්‍යාපනය ලබා 1975 ජූනි 29 දා අති උත්තම සවැනි පාවුළු ශුද්ධෝත්තම පියතුමන් අතින් පූජකවරය ලැබීය.

1991 අගෝස්තු 31 දා රදගුරු වරයට ඔසොවාලූ එතුමා අගරදගුරු පදවි සහයක රදගුරු, රත්නපුර රදගුරු ලෙස කටයුතු කරමින් සිටියදී ශුද්ධාසනයට පත් වූයේ 2001 ඔක්තෝබර් 1 දා ජනතා ධර්මදානය පිළිබඳ සසුන් නියෝජනයේ සම ලේකම් වෙමිනි.

ප්‍රථම ශ්‍රී ලාංකේය අපෝස්තලික තානාපති ලෙස එතුමා 2004 අප්‍රේල් 29 දා ඉන්දුනීසියාවේ හා නැගෙනහිර තිමෝරයේ සේවාවට එක් විය.

අති උත්තම සොළොස්වන බෙනඩික් සසුන් පිය පදවි ප්‍රාප්තියත් සමග රෝම කියුරියාවේ ඉහළ තනතුරක් වූ ජනවන්දනාව හා සක්‍රමේන්තු විනය පිළිබඳ සසුන් නියෝජනයේ මහලේකම් ධුරයට පත්විය.

භාෂා දහයක් භාවිතයේ ප්‍රවීණයකු වන නව කාදිනල් හිමි ඉතාලි, ජර්මන්, ප්‍රංශ, හේබ්‍රෙව්, ග්‍රීක, ලතින්, ස්පාඤ්ඤ, ඉංග්‍රීසි, සිංහල හා දමිළ භාෂා භාවිතයේ ප්‍රවීණයෙකි. 2009 ජූනි 16 දා නමවැනි කොළඹ අගරදගුරු ලෙස පත්ව ජූනි 29 දා වතිකාන සා. පීතර බැසිලිකාවේ දී පැල්ලියම් පළඳනාව ලබාගත් එතුමෝ අගෝස්තු 5 දා පදවි ප්‍රාප්ත වූහ.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා