වැටුප් කෝලාහලය !

වැටුප් කෝලාහලය !

රාජ්‍ය සේවක වැටුප් වැඩි විය යුතු යැයි මතයක් පවතී. පුංචි උද්ඝෝෂණයක් ද පවතී. පෞද්ගලික අංශයේ වැටුප් වැඩි විය යුතු යැයි මතයක්ද පවතී. එම අංශයේ උද්ඝෝෂණයක් දකින්නට නැත. විපක්ෂය විසින් රට පුරා පෝස්ටරයක් අලවා තිබේ. එහි ඇත්තේ රුපියල් අටදහසකින් වැටුප් වැඩි කළ යුතු යැයි කියන පිරිසක් ද සිටිති. මේ ඉල්ලීම් සියල්ල ගෙන බලන විට ආණ්ඩුවට බරපතළ අභියෝගයක් ඇති බව පෙනී යයි.

සෑම ඇය වැය ලේඛනයකට පෙර වැටුප් කෝලාහලයක් දකින්නට ලැබේ. එය පිටුපස ඇත්තේ සේවක ඉල්ලීම්වලට වඩා දේශපාලන ඉල්ලීම් ය. ඕනෑ ම රටක සේවක වැටුප් ඉහළ දමන්නේ ප්‍රධාන කරුණු දෙකක් මුල්කරගෙන ය. පළමුවන්න අධික ජීවන වියදම යි. දෙවන්න රටේ ආර්ථික තත්ත්වය යි. රටේ ආදායම ඉහළ ගොස් සමෘද්ධිමත් ආර්ථික තත්ත්වයක් යටතේ වැටුප් වැඩිකිරීම කළ හැකි දෙයකි. එසේ කිරීම සාධාරණ ය. කුමන තත්ත්වයක් යටතේ වුව වැටුප් වැඩි කළ හැක්කේ ජාතික ආර්ථිකයට ගැළපෙන ලෙස ය.

ශ්‍රී ලංකාවේ රාජ්‍ය සේවකයන්ගේ ගණන ලක්ෂ දහතුන ඉක්මවා ඇති බව වාර්තා වේ. ඒ අනුව එක් රාජ්‍ය සේවකයකුගේ වැටුප රුපියල් සියයකින් වැඩි කළහොත් ඒ සඳහා මසකට රුපියල් බිලියන 1.4ක් වැය වන බව භාණ්ඩාගාරය පෙන්වා දී තිබේ. මේ හැරෙන්නට විශ්‍රාමිකයන්ගේ මාසික වැටුප රුපියල් සියයකින් වැඩි කිරීම සඳහා තවත් රුපියල් දස ලක්ෂ 540ක් වැය වන බව ද රාජ්‍ය භාණ්ඩාගාරය පෙන්වා දෙයි. රාජ්‍ය සේවකයන්ගේ ගණන දහතුන් ලක්ෂය ඉක්මවන අතර විශ්‍රාමිකයන්ගේ ගණන පන් ලක්ෂ හතළිස්දහස ඉක්මවයි.

යුද්ධයෙන් පසු ශ්‍රී ලංකා ආණ්ඩුවේ වැඩි අවධානය යොමු ව ඇත්තේ සංවර්ධනය කෙරෙහි ය. රට පුරා මහා පරිමාණ සංවර්ධනයක් සිදු වේ. හම්බන්තොට අන්තර්ජාතික වරාය, මත්තල ගුවන් තොටුපොළ, නොරොචෝලේ හා කෙරවළපිටිය තාප බලාගාර, ඉහළ කොත්මලේ ජල විදුලි ව්‍යාපෘතිය, අධිවේගී මාර්ග සංවර්ධන ඊට නිදසුන් ය. මේ හැරෙන්නට රාජ්‍ය සේවාව සඳහා නව බඳවා ගැනීම් ද සිදු වේ. ගුරුවරුන් බඳවා ගැනීම ඊට නිදසුන්ය. මහා පරිමාණ සංවර්ධන ව්‍යාපෘති ක්‍රියාත්මක වන කල ආර්ථික ප්‍රතික්‍රියාවන් කිහිපයක් ද මතු වේ. පළමු වන්න කෙටි කාලීන උද්ධමනයක් මතුවීම ය. අනෙක් කාරණය විදේශ ණය ලබා ගැනීමට සිදු වීම ය. වැටුප් කෝලාහල මතුªකරන අය ආර්ථික ප්‍රතික්‍රියා ගැන ද සැලකිල්ල යොමු කළ යුතු ය.

රට බරපතළ යුද්ධයකට මුහුණ දුන් අවස්ථාවල පවා මහජන සුබ - සාධනය පිළිබඳ අවධානය යොමු කර තිබීම මේ ආණ්ඩුවේ විශේෂත්වයෙකි. 2005 සිට ම එය කළමනාකරණය කරමින් ඉදිරියට ගෙන ගොස් තිබේ. පොහොර සහනාධාරය, සමෘද්ධි දීමනා, අධ්‍යාපනය හා සෞඛ්‍ය සඳහා වැය කරන විශාල මුදල රජය කිසිවිටෙකත් කප්පාදු කර නැත. මේ හැරෙන්නට රජයේ බදු මුදල් කපා හරිමින් ඇතැම් භාණ්ඩවල මිල පහත බැස්සවීමට ද ආණ්ඩුව ක්‍රියා කර තිබේ. සාමාන්‍ය ජනතාවගේ සුබ - සාධනය සඳහා විශාල කැප කිරීමක් ආණ්ඩුව විසින් සිදුකර තිබේ. සුබ - සාධන ප්‍රතිපත්ති කෙරෙහි වැඩි නැඹුරුවක් ද ආණ්ඩුවේ දේශපාලකයන් ළඟ තිබේ.

දුෂ්කර තත්ත්වයක් පවතින්නේ වුව වැටුප් වැඩිවීමක් සිදුවන බවට සාධක මතු වෙමින් තිබේ. එහෙත් විපක්ෂය ඉල්ලා සිටින ප්‍රමාණයෙන් ම වැටුප් වැඩි කළහොත් මෙරට ආර්ථිකය බංකොලොත් වී රාජ්‍ය අංශය වසා දමන්නට සිදු වනු ඇත. මීට පෙර ලෝක බැංකුවේ උපදේශය වී තිබුණේ රාජ්‍ය අංශය කප්පාදු කිරීමට ය. රනිල් වික්‍රමසිංහ මහතාගේ කෙටි ආණ්ඩුව එම මතය පිළිගෙන රාජ්‍ය සේවාව අඩකින් පමණ කප්පාදු කිරීමට සැලැසුම් සකස් කෙළේ ය. එහෙත් මහින්ද රාජපක්ෂ ආණ්ඩුව රාජ්‍ය සේවාව කප්පාදු කරනු වෙනුවට එය ප්‍රසාරණය කෙළේ ය. මේ මොහොතේ ඉතිහාසය මතක් කර දීම ද වටී.

ජේ. ආර්. ජයවර්ධන ආණ්ඩු සමයේ සිදු වූ ජූලි වර්ජනය බොහෝ දෙනාට මතක තිබේ. එදා රාජ්‍ය සේවකයා ඉල්ලා සිටියේ දිනක වැටුප රුපියල් දහයකින් වැඩි කරනු යන්න ය. වර්ජනය සාර්ථක ව පැවැති අතර ඉල්ලීම් ලබා දීමට හැකි තත්ත්වයක් ආණ්ඩුවට තිබිණි. එහෙත් සිදුවූයේ අනෙකකි. වර්ජනය සාහසික ලෙස මර්දනය කැරිණි. ඊට සහභාගි වූ සියලු දෙනා සේවයෙන් පහ කැරිණි. කිසිවකුට රැකියා ලැබුණේ නැත. අලුත් සේවකයන් බඳවා ගැනිණි. සමහරු දිවි නසා ගත්හ. තවත් අය පවුල් කඩාකප්පල් කර ගත්හ. එක් පරපුරක් අනාථභාවයට පත් විය. එදා සේවක ඉල්ලීම්වලට කන් දුන්නේ ඒ අයුරින් ය.

රටක ආර්ථිකය හැසිරවීම ඉතා සංකීර්ණ කටයුත්තෙකි. එය සිල්ලර කඩයක අය වැය සමපාත කිරීම වැනි සරල කාරණයක් නො වේ. ජීවන වියදම පහත හෙළීම රජයේ අරමුණ නම් ; වැටුප් වැඩි කිරීමෙන් එය කිසි කලෙක සිදු නොවනු ඇත. එහි ආර්ථික ප්‍රතික්‍රියාව වනුයේ නිදහස් වෙළෙඳ පොළෙහි භාණ්ඩ හා සේවාවල මිල ඉහළ නැඟීම ය. වැටුප් වැඩි කිරීම ආර්ථිකයට ගැළපෙන ලෙස සිදු විය යුතු යැයි ආර්ථික විශේෂඥයන් තර්ක කරනුයේ එම ප්‍රතික්‍රියා ගැන සලකමින් ය. ඉන් අදහස් කරනුයේ වැටුප් වැඩිවීමක් නො කළ යුතු බව නො වේ.

ශ්‍රී ලංකාවේ ආර්ථික වෘද්ධිය සැලකිය යුතු මටේටමක පවතී. මහ බැංකුවේ දර්ශකවලට අනුව එය 8.5% ලෙස සටහන් වේ. උද්ධමනය අනුපාතය පහත වැටීම හා විදේශ විනිමය තැන්පතු ඉහළ යෑමත් මෙරට ආර්ථිකයේ කැපී පෙනෙන ලක්ෂණ වේ. අපගේ අනාගතය බෙහෙවින් සුබ දායක බව පෙනෙන්නට තිබේ. ආර්ථික තත්ත්වය තවදුරටත් වර්ධනය කර ගැනීම සඳහා යහපත් මූල්‍ය කළමනාකරණයක් පවත්වා ගත යුතු ය. ඒ ගැන ද සැලකිල්ලට යොමු කරමින් වැටුප් වැඩි කිරීමකට යෑම ආණ්ඩුවේ ප්‍රතිපත්තිය විය යුතු ය.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා