නිල් අහස-මහ සයුර දිනූ රට ගොඩනඟමු

නිල් අහස-මහ සයුර දිනූ රට ගොඩනඟමු

කොළඹ නැව් තටාකාංගණයේ කළමනාකාර අධ්‍යක්ෂ සහ
ප්‍රධාන විධායක නිලධාරී මංගල පී. බී. යාපා

ලුත් අලුත් දෑ තනමින් නව නිපැයුම් පිටරට යවා ජාත්‍යන්තර වෙළෙඳාම සාර්ථකව ජයගැනීමට සමත් ලොව ඕනෑම රටක් ශීඝ්‍ර දියුණුව කරා සපැමිණේ. නව නිපැයුම් ලොව පුරා වෙළෙඳපොළට යැවීමට අපට ද අවස්ථාව උදා වී තිබේ. ඒ, නිල් අහස, මහ සයුර දිග්විජය කිරීමට මඟ කියන දර්ශනයක් රට හමුවේ තබා තිබෙන නිසාවෙනි. මේ ලද ස්වර්ණමය අවස්ථාවෙන් අප ප්‍රයෝජනය ගත යුත්තේ කෙසේදැ’යි අද පැහැදිලි කරනුයේ පෞද්ගලික අංශ ව්‍යාපාර හිමි දැවැන්තයෙකි. ඔහු මෙරට අංක එකේ ව්‍යාපාරික සම්මානලාභී කොළඹ නැව් තටාකාංගණයේ කළමනාකාර අධ්‍යක්ෂ සහ ප්‍රධාන විධායක නිලධාරී මංගල පී. බී. යාපා මහතායි.

ශ්‍රී ලංකාවේ ස්වභාවික පිහිටීම පවා නොවක් වාසනා ගුණයන්ගෙන් පිරි එකකි. අප රටේ ස්වභාව සෞන්දර්යය, දේශගුණික තත්ත්වයන් වුව දියුණු ආර්ථික පරිසයක් ඇති කරලීමට උදව් කරනා ආකාරයෙන් සකස් වී තිබේ. දියුණු රටක් බවට පත්වීමට අප රටේ පිහිටීම පවා වැදගත් සාධකයක් ව පවතින බව මාගේ පෞද්ගලික හැඟීමයි.

ශ්‍රී ලංකාව පිහිටා තිබෙනුයේ ජාත්‍යන්තරය සමඟ බටහිර රටවල් හා නැඟෙනහිර රටවල් සමඟ ගනුදෙනු සිදුකිරීම ඉතා පහසුවන ආකාරයෙනි. මැදපෙරදිගට, මෙන් ම ඉන්දියානු සාගරයේ උතුරු, දකුණු යා කරනා ආර්ථික ක්‍රියාකාරකම්වල ඉඩකඩ ලැබෙන පරිද්දෙනි. මේ පිහිටීම, සරලව කිවහොත් ලොව සෑම රටකට ම නොමැති උතුම් වාසනාවක් සහිත වූවකි. ’ලෝකයම හමුවන කේන්ද්‍රස්ථානයක්’ සේ අපරට පිහිටා තිබේ.

මේ පිහිටීමේ තිබෙන වටිනාකම අපි සංවර්ධන ක්‍රියාවලිය වේගවත් කිරීමට හා ආර්ථික දියුණුවට විද්‍යාත්මක වටිනාකමක් එක් කිරීමට යොදා ගත යුතුය. අප රට දියුණුව කරා පිවිසීමේ සාධනීය ලක්ෂණයක් ලෙස මේ පිහිටීම ම යොදාගත හැකියි.

මීට අමතරව අප රටට සමීපව ලොව බලවත් ම ආර්ථිකය සහිත රටට හිමි ‘කිරුළ දැරීමට’ දිනෙන් දින ළඟාවන මහජන චීන සමූහාණ්ඩුවත්, අනෙක් පසින් ඉන්දියාවත් පිහිටා තිබේ. ලොව මුළු ජනගහණයෙන් වැඩිම පාරිභෝගික ජනතාවක් සහිත රටවල් දෙක අපගේ මිතුරන් වී තිබේ. අපි මේ මහඟු අවස්ථාව ද අපගේ රටේ ආර්ථික දියුණුව ළඟා කර ගැනීම සඳහා භාවිතා කළ යුතුමය.

ලොව පාරිභෝගික ජන සමාජයේ පළමු හා දෙවැන්න අප රටට සමීපව පිහිටා තිබීම නිසා අපි ඔවුන්ට යම් නිපැයුමක් ඉදිරිපත් කොට ඉදිරියට ඒමට කල්පනා කළ යුතුය. වෙහෙස විය යුතුය. එසේ නොමැතිව ඔවුන් අපට තර්ජනයක් කරන්නේ යැයි සිතා අප පසුබෑ යුතු නොවේ. ඔවුන් පමණක් නොව අද වන විට ලොව මතු ව ඇති ‘ගෝලීයකරණය’ නම් වූ ආර්ථික, දේශපාලන ප්‍රවණතා හමුවේ අප ගමන් මඟේ පියවර ආ පස්සට ගත යුතු නොවේ. කෙසේ හෝ දණ ගාමින්, වැටි වැටී හෝ අපි පියවරක් ඉදිරියට තැබිය යුතු වෙමු.

ශ්‍රී ලංකාව නොබැඳි ජාතීන්ගේ සංවිධානයේ සාමාජික රටකි. එමෙන් ම ලොව ඕනෑම රටක් සමඟ මිත්‍රශීලි රටකි. උදාහරණයක් ලෙස අපරට, ලොව අන්ත දෙකක සිටින රටවල් සමඟ වුව, මැනැවින් ද්විපාර්ශ්වික සබඳතා පවත්වා ගන්නා ඔවුන්ගේ හිත දිනා ගත් රාජ්‍යයකි. ලොව විවිධ රටවල් එකිනෙක සිදුවීම්, පිළිවෙත් සමඟ උරණව, ගැටලු සහිතව සිටියා වුවත්, ශ්‍රී ලංකාව ඒ සැම දෙනා සමඟම මනා අවබෝධයකින් යුතුව කටයුතු කරන රටකි.

මේ නිසාම අප රටට දියුණුවීමට වැඩි අවස්ථා විවෘතව ඇතැයි යන්න මාගේ හැඟීමයි. අප කළ යුත්තේ මේ අවස්ථා මනාව, සැලසුම් සහගතව යොදා ගැනීම පමණි. එකිනෙක මතවාද සහිත නොගැළපීම් සහිත රටවල් වුව අප සමඟ ගැළැපේ. එය ද, ශ්‍රී ලංකාවේ ස්වභාවික පිහිටීම ද, මෙන් ම මෑත භාගයේ රටට ලැබුණු නිදහස ද අප රටේ දියුණුවට යොදාගත යුතුය. එය එසේ ඉටු කරනවාදැයි අපි අපගේ හදවත්වලට තට්ටු කොට බැලිය යුතුය.

ශ්‍රී ලංකාවේ සමාජ ආර්ථික දියුණුවට තිබූ විශාලතම බාධාව, තිස් වසරක් පැවැති මහා විනාශකාරී යුද්ධයයි. එය ඔබ අප කවුරුත් පිළිගන්නා සත්‍යයකි. රටේ ආරක්ෂාව සහතික කළ නොහැකි නම්, නව ආයෝජන, නව ව්‍යවසායන් ඇරඹීම වේගවත් නොවේ. ඇතැම් විට එවැනි දේ පිළිබඳ කතිකා කිරීම පවා හාස්‍ය දනවන සුළුය.

ජනාධිපතිතුමාට නැවක ආකෘතියක් පිළිගන්වමින්...

කොටි ත්‍රස්තවාදය රටින් තුරන් කොට තිබේ. ඕනෑම කෙනකුට බියෙන් හා සැකයෙන් තොරව ඕනෑම බිමක නිදහසේ ඇවිද යෑමේ ඉඩප්‍රස්ථාව වර්තමානයේ උදාවී තිබේ. මෙය පුරවැසියන් ලෙස අප ලැබූ විශාල සහනයකි. හිතට වඳ නොදී, හිතට බරක් නොවී ගමනක් බිමනක්, වැඩක් පලක් කිරීමට අවශ්‍ය වටාපිටාව මේ වන විට නිර්මාණය වී තිබේ. යුද්ධය නිම කිරීමත් සමඟ ජනතාවගේ සිත්වලට ලැබුණු සහනය අතිවිශාලය.

අප රටේ පමණක් නොව, ලොව දියුණුව කරා පියනැඟු ඕනෑම රටක දැකිය හැකි එක් හොඳ ලක්ෂණයක් වනුයේ ජනතාවගේ මානසික සමබරතාව සුරැකී තිබීම ය. අනවශ්‍ය බිය, පීඩාවන් ඔවුන්ගේ සිත්වල නොමැත. නිරවුල් මනසින්, පිවිතුªරු හැඟුමින් තම රාජකාරිය අකුරට ඉටු කිරීමට ඉන් පුළුවන. දැන් අප රටට, රටේ ජනතාවට ද එම උදාර අවස්ථාව සලසා දී තිබේ.

ලොව බලවත් රටවල් ඇතුළු ජාත්‍යන්තරය දිනා ගැනීමත්, අපගේ මිත්‍රශීලි කඳවුරු ශක්තිමත් කිරීමත් සිදු වූයේ අහම්බෙන් නොවේ. ඊට නායකත්වය ලබා දුන්නේ අතිගරු ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා ය. එමෙන් ම රටට සාමය ගෙන ඒමේ කාර්යභාරය මැනවින් ඉටු කළ පුරෝගාමියා එතුමා ය. අප මේ අවස්ථාවේ මහින්ද රාජපක්ෂ මැතිතුමා ඉටු කළ කාර්යභාරය අගය කළ යුතුමය. එය කිසිදා අමතක කළ හැක්කක් නොවන ලෙස ඉතිහාසයේ රන් අකුරින් ලියැවෙනු ඇත. මේ රට එක්සේසත් කළ නිසා ම එසේ සිදුවේ.

අපට ලැබුණු මේ නිදහස, වඩාත් අර්ථවත් කොට අප එකිනෙකා අතර තිබෙන මතවාදීමය, හා වෙනත් පුංචි ගැටලුවලට තිරසාර විසඳුම් ලබාදීමට මේ ලැබුණු ස්වර්ණමය අවස්ථාව උපරිමයෙන් යොදා ගත යුතුය. නැවත කොටි ත්‍රස්තවාදය වැනි ම්ලේච්ඡ කුරිරු යුද්ධයක් රටේ ඇති නොවීමට අප වගබලා ගත යුතු ය. සිංහල, දමිළ, මුස්ලිම්, බර්ගර්, මැලේ නොව අපි සියලු ශ්‍රී ලාංකිකයෝ එක් ජාතියක් ලෙස සිතන්නට පුරුදු කළ යුතුය. එක් ජාතියක සංවර්ධනය වූ පිරිසක් බවට රට පරිවර්තනය කිරීම වහා ඇරඹිය යුතුයි. මේ වන විට ඊට අඩිතාලම දමා තිබේ.

ලංකාවේ නිෂ්පාදිත ඩෝරා ප්‍රහාරක යාත්‍රා

ලංකාවේ නිෂ්පාදිත ‘ලක්ෂදීප් සී’ නෞකාව

ලංකාවේ නිෂ්පාදිත ‘ඇරබියන් සී’ නෞකාව

රටේ යුද්ධය නිම කළා යන්න ම ඒ සඳහා දැමූ සවිමත් අඩිතාලමකි. මේ මොහොතේ අපි සියලුදෙනා දැඩි කැපවීමෙන් හා වගකීමෙන් සිදු කළ යුතු කාර්යභාරයක් තිබේ. ඒ තමන්ගෙන් රටට ඉටුවිය යුතු යුතුකම් කොටස මැනවින් අවබෝධ කර ගැනීමය. දෙවැනුව එය නොපිරිහෙලා ඉටු කිරීමය. මේ අවස්ථාවේ අපි ආඬි හත්දෙනාගේ කැඳ ඉවීමේ තත්ත්වයෙන් මිදිය යුතුය. හිටපු අමෙරිකානු ජනාධිපති ඒබ්‍රහම් ලින්කන් මැතිතුමා එදා කී ‘රටෙන් ඔබට නොව, ඔබෙන් රටට සිදුවිය යුත්තේ කුමක් ද?’ යන කියමනටත් පෙර, රටක් සමාජයක් ගොඩනඟා ගන්නා ආකාරය අපූරුවට අපේ ජනකථා අසා දැන ගැනීමෙන් උගත හැකිය.

ශ්‍රී ලංකාවට වේගවත් ආර්ථික නවෝදයක් ඇති කර ගැනීමට තිබෙන අවස්ථා සහ අප විසින් දුරු කළ යුතු දුබලතා මැනවින් අවබෝධ කර ගැනීම කාලෝචිතය. යුද්ධයක් නොමැති, ලොවම ජනාදරයට පත් වූ, නිවැරදි දැක්ම සහිත නායකත්වයක් රටේ පවතී. එමෙන් ම මහ සයුර, නිල් අහස දිග් විජය කළ යුතු යැයි අදහස් සහිත දර්ශනයක් රටට ඉදිරිපත් කොට ඇත. එබැවින් වඩාත් සුබවාදීව ඉදිරියට යෑමට අප සතුව පවතින දුබලතා මෙනවාදැයි අපි කතිකා කරමු.

ශ්‍රී ලංකාවේ සාක්ෂරතා අනුපාතය සියයට 92 කි. මෙය ලෝකයේ දියුණු රටවල මානව සම්පත්වල වර්ධනය මනින තරමේ මට්ටමක සමව පවතී. එය වඩාත් යහපත් දෙයකි. නමුත් අපගේ ඉහළ අකුරු ලිවීමේ හා කියවීමේ හැකියාවක් සහිත ජනගහනයෙන් රටේ නිෂ්පාදන ක්‍රියාවලියට නිසි දායකත්වයක් ෂඪමත් ලෙස ලබා ගන්නවා දැයි සැක සහිතය. ඕනෑම අභියෝගාත්මක කාර්යයක් හෝ ක්‍රියාවලියක් හෝ එක් වරක් පහදා දුන් විට, මැනැවින් එය අවබෝධ කරගෙන ක්‍රියාවට නැංවීමට තරම් බුද්ධියක් ඇති කුසලතා පිරි මානව සම්පතක් අප රටේ සිටිති.

මෙලෙස යම් ක්‍රියාවලියක් අවබෝධයෙන් ඉදිරියට ගෙනයෑමට හැකි මානව සම්පතේ වටිනාකම අවබෝධ කර ගන්නා අතර, ඔවුන් ඉහළ වෘත්තීය හැකියාවන්ගෙන් පිරිපුන් පිරිසක් බවට පත් කිරීමට අප වෙහෙස විය යුතුය. ඉහළ ඵලදායීතාවයක්, කාර්යක්ෂමතාවයක් සහ ගුණාත්මක නිපැයුමක් සිදු කිරීමට හැකි වන සේ මානව සම්පත පුහුණු කළ යුතුය. ඒහා සමාන අයුරින් නව තාක්ෂණය, ඉංග්‍රීසි භාෂා දැනුම ඔවුන්ට ලබාදිය යුතුය.

ජනතාව නව ආකල්ප හා ධනාත්මක සිතුවිලි ඔස්සේ නැවුම්ව සිතන නිර්මාණාත්මක පිරිසක් බවට සූදානම් කිරීමට පියවර ගත යුතුමය. නව නිපැයුම්කරුවන්ට ඉදිරියට ඒමට ඉඩ ලබා දිය යුතුය. අප රටේ ශ්‍රම බලකායෙන් තෘප්තිමත් පිරිසක් ලෙස සේවය කරන්නෝ සිටින්නේ කොපමණ ද? වඩාත් ඉහළ ආදායම් ලබන්නෝ ප්‍රමාණය කොතරම් ද? ඔබ ම සිතා බලන්න. එය ඉතා ඉහළ අගයක් ගන්නේ නම් රටකට වඩාත් හොඳය. සුබය. අපිත් තිබෙන අඩුපාඩු මකා දමා එවන් තත්ත්වයකට ආයුතුය. අලසකම, රාජකාරිය මඟ හැරීම, වැනි දුර්ගුණ සමාජයෙන් බැහැර කළ යුතුය. එමෙන් ම යහගුණ ඇත්තන්ට දිරිය ලබා දිය යුතුය. අප රටේ නොපුහුණු ශ්‍රමය පුහුණු ශ්‍රමය බවට පරිවර්තනය කිරීම වහා ඇරඹිය යුතුය.

උදාහරණයක් ලෙස කොළඹ නැව් තටාකාංගණයේ අද දක්නට ලැබෙන වර්ධනීය තත්ත්වය ඉබේ ඇති වූවාක් නොවේ. එය වසර 35කට පෙර අරඹා ක්‍රමිකව, අප සැමදෙනා වෙහෙස මහන්සි වී ඉදිරියට ගෙනවිත් ලැබූ ජයග්‍රහණයකි. මෙහි මුල්පුටුවේ සිටින්නා පටන් පහළම සේවා සපයන්නා දක්වා එක් දර්ශනයක්, දැක්මක් ඔස්සේ දහඩිය වගුරන්නෝ වෙති. මෙසේ සියලු දෙනා එක් වී යහපත් අරමුණු ජය ගැනීමට පෙළගැසීම මෙහි සාර්ථකත්වයේ රහසයි. මෙහි කිසියම් සේවකයෙකුගේ පුංචි හෝ දුර්ගුණයක් තිබේ නම්, එය ඉවත් කිරීමට පියවර ගන්නැයි සෙසු සේවකයෝ ම පවසති. අවවාද කරති.

ඕනෑම ආයතනයක සොරකම්, දූෂණය, වංචාව පවතීනම්, ඊට සුබවාදී අනාගතයක් උදා කර ගත නොහැකිය. රටට ජනතාවට යහපත උදා කිරීම සඳහා විවිධ රජයන් විවිධ සංවර්ධන ව්‍යාපෘති ක්‍රියාත්මක කොට තිබේ. මහවැලි යෝජනා ක්‍රමය ගොවිජනපද ක්‍රමය පටන් මේ වන විට රටේ දැවැන්ත යටිතල පහසුකම් සංවර්ධන ව්‍යාපෘති රැසක් ක්‍රියාත්මකය.

ඒවා ඇරඹී වහාම ජනතාවට ප්‍රතිඵල නොලැබී යා හැක. නමුත්? ඒ ගැන සිතා නිර්දය ලෙස එම ව්‍යාපෘති විවේචනය කිරීම් රටකට, සමාජයකට තරම් නොවටියි. දිගුකාලීන යහපත් ප්‍රතිඵල අත්කරදෙන එවන් ව්‍යාපෘතිවල දුබලතා, අකටයුතුකම් තිබේ නම් ඒවා පෙන්වා දීම වෙනමම කරුණකි. ඒ හැර ඒ වැඩපිළිවෙළ නවතා දමන තැනට තල්ලු කිරීම වටින්නේ නැත.

වත්මන් ආණ්ඩුව රටේ ආර්ථික යටිතල පහසුකම් සංවර්ධනයට විශාල වැඩකොටසක් ඉටු කරමින් සිටියි. මෙවන් යටිතල පහසුකම් සංවර්ධන ව්‍යාපෘතිවලින් ඵල ප්‍රයෝජන ලබා ගැනීමට නව ආයෝජන සිදු කිරීමට පෞද්ගලික අංශය මීට වඩා සම්බන්ධ කර ගත යුතුය. පෞද්ගලික අංශය බදු ගෙවීම් මඟ හරින, ජනතා ශ්‍රමය සුරාකන, රකුසන් සේ දක්වා තිබෙන චිත්‍රය වෙනස් කිරීම වහා කළ යුතුය. පෞද්ගලික අංශයට මීට වඩා වැඩි ඉඩක් ආර්ථික කටයුතුවලට ලබා දිය යුතුය. ඒ හරහා වඩාත් දියුණු, ආදායම් මට්ටම් ඉහළ ජන සමාජයක් බිහි කිරීමට මඟපාදාගත හැකිය.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා