මුද්‍රණය සඳහා

 
ශ්‍රී ලංකාවේ වීදි නාට්‍ය මූලාරම්භකයා ගාමිණී හත්තොටුවේගම

නොවැම්බර් මස මුල් සතියට අභාවප්‍රාප්ත වී වසරක් පිරීම නිමිත්තෙනි

ශ්‍රී ලංකාවේ වීදි නාට්‍ය මූලාරම්භකයා ගාමිණී හත්තොටුවේගම

“මිනිසාගේ තනතුරු, බලතල, වත්කම් ඉවත් කළ පසු ඔහු තුළ සිටින්නේ සාමාන්‍ය මිනිසකු පමණි.” යන සුප්‍රසිද්ධ කියමනට අනුරූපීව ගාමිණි හත්තොටුවේගම ගුරු පියාණන් තම ශේස වූ ආයුකාලය තුළ ඉහතින් සඳහන් කළ වංචල සියලු ආභරණ පසෙක ලා සාමාන්‍ය මිනිසකු වශයෙන් තම ජීවිතය ගත කිරීම කොපමණ ආශ්චර්යජනකද යන්න ඔහු ළඟින් ඇසුරු කළ අපි කවුරුත් ප්‍රත්‍යක්ෂයෙන් දනිමු.

ඔහු සතු ධනය වුයේ අසාමාන්‍ය නව චින්තාවනුත්, සමාජානුයෝගී බවත්, කිසි භේදයකින් තොර සමාන සමාජ සිතුවිලිත්, අඩුම කුඩුම, පොත්පත්, පෑනක් හා ඇඟලුම් කිහිපයක් පුරවාගත් ‘හචා’ මල්ලත්, ගමනට හා කුස පුරවා ගැනීමට අවශ්‍ය කාසි කිහිපයකුත් පමණි. නවසිය ගණන්වල මැද භාගයේ පමණ විදුලකර සරසවියට අ ඇතුල් වී සති කිහිපයක් යාමට ප්‍රථම ගුරුන් අතර සුවිශේෂ ගුරුතුමෙක් දළුගම සරසවි මණ්ඩපයේ සැරිසරනු මම දුටුවෙමි.

උඩුකය අඳුරු වර්ණයකින් හා බොත්තම් පිරි සාක්කු කිහිපයකින් සැදුම්ලත් කමිසයකින්ද, එම කමිසයේ ලිහුණු බොත්තම් අතරින් නිරාවරණය වූ පපු ප්‍රදේශයේ කලු ලේස් නූලකින් ගැටගැසුණු තඹ පැහැති රෝම කාසියද පෙරළෙමින් තිබුණි. සෙන් පරපුරේ රජ කුමරුන්ගේ දිගටි නෙත්, ඉහළ සිට පහළට ඇදුණු තලෙළු වර්ණවත් වූ දිගටි යුදෙව් මුහුණකින් හෙබි උස් වූ කෙසඟ සිරුර ඈතින් අඩි තබමින් ගමන වේගවත් වූයේ ‘ට්‍රෑම්’ රථයක් මෙනි. ඔහුට ආභරණ වූයේ ඔහු සතු සුවිශේෂ වූ පෞරුෂයයි.

දළුගම බණ්ඩාරනායක ශිෂ්‍ය නේවාසිකාගාරයේ සිසුන් පිරිවරාගෙන ඔහු ගත කළේ ශිෂ්‍යයකු මෙනි. වෙනසකට වූයේ ඉංග්‍රීසි සාහිත්‍ය පිළිබඳ හසල දැනුම හා නව නාට්‍ය චින්තාවන්, සංකල්පයන් පිළිබඳ පැවැති පර්යේෂණාත්මක අදහස් පමණි. ඔහුගේ ජීවිතයෙන් වැඩි කාලයක් මහමඟට වැයවූයේ අන් කිසිවක් නිසා නොව ඔහු සතු අත්දැකීම්, සාමාන්‍ය ජීවිතයෙන් උරා ගැනීමට ගත් උත්සාහයයි.

සිසුන් පිරිවරාගෙන සම්භාව්‍ය ඉංග්‍රීසි චිත්‍රපට හා නාට්‍ය නැරඹීම, සාහිත්‍ය නාට්‍ය වැඩමුළු සඳහා උචිත තානාපති කාර්යාල කරා පියනැගීම, පුවත්පත් කාර්යාල, ගුවන් විදුලිය, ලුම්බිණි රඟමඩල, ගම් නියම්ගම්, වෙල්එළි, කමත්, ගොවීන්, කම්කරුවන්, සාමාන්‍ය ජනතාව මෙකී නොකී පරිසරයන් හා පුද්ගලයන් මුණගැසී ඔහුටත්, සිසුන්ටත් ළඟා කර දුන් අත්දැකීම් අපමණය.

1966 දළුගම විශ්වවිද්‍යාලයේ ප්‍රථම කලා උළෙලේ නාට්‍ය තරගයට පෙර වදනක් සපයමින් සරසවි සිසුන් කිහිප දෙනෙකු එක්රැස් කර ගෙන ජී. කේ. සර් “කොබෙයි රැළක් රංචු ගසා නගින්නේ...// නිල් අහස කඩා යන පිළිහුඩුවා....// වනයේ ගිරවා හොට රතු කෙරුවා...// කොබෙයි රැළක්....” යන කෙටි නාට්‍යෝචිත කෙටි පිවිසුම අවසන් වනවිට මහ සිසු කැළ අත්පොලසන් දෙමින් ගෞරවය පල කළ සැටි අද මෙන් මතකයට නැගේ. එතුමාගේ වීදි නාට්‍යවල මූලාරම්භය මෙය බව ඊට සහභාගි වූ මා සමඟ එතුමා කීපවාරයක් පවසා තිබේ.

නවසිය හැට ගණන්වල විදුලකර සරසවියේ ක්‍රිකට් ක්‍රීඩාව ශක්තිමත් කිරීමට එතුමා ශ්‍රමයත්, ධනයක් නොතිබුණු සිය වේතනයත් කැප කළේය. 1966/67 විදුදය – විදුලකර මහා ක්‍රිකට් ගැටුමේ විදුලකර ක්‍රීඩකයන් ප්‍රදර්ශනය කළ ශක්තිමත්භාවය එකල පුවත්පත්වල පළවීමේ ගෞරවය එතුමාට හිමිවේ. Jaffna College සමඟ කළ ක්‍රිකට් සටන්, Daily News Trophy  ක්‍රිකට් සටන් සදා අමතක නොවේ.

1973 මා අනුරපුර විදුහලක උගන්වන අවදියේ ජී. කේ. සර්. පරාක්‍රම නිරිඇල්ලගේ කළමනාකාරිත්වයෙන් එච්. ඒ. පෙරේරා, දීපානී සිල්වා, හෙට්ටිආරච්චි ආදීන්ගේ සහභාගිත්වයෙන් පුන් පොසොන් පෝ දින සඳඑළියේ හරිස්චන්ද්‍ර ක්‍රීඩාපිටියේ සහ ජනාකීර්ණ අනුරාධපුර දුම්රියපොළේ රඟ දැක්වූ වීදි නාට්‍ය සංදර්ශන ආරම්භක සංදර්ශන ලෙස ඉතිහාසයේ සනිටුහන් වී ඇත.

මෙම අසාමාන්‍ය සත්පුරුෂයාට මා පෙර සඳහන් කළ පරිදි බුද්ධිය හා ඔහුගේ ගෝලබාලයන්ගේ, සොයුරියන් හා දරු දෙදෙනාගේ (දැනට ඕස්ට්‍රේලියාවේ ගත කරන) සත්කාර හැර අන්කිසි දේපළක්, වත්කමක් නොවීය. ඔහු මනරම් මාලිගා තැනූ බ්‍රේස්ලට්, මාල පැළඳූ යානවාහන හිමිකරුවකු නොවීය. ඔහු සතු වූයේ ඔහුම පමණි.

නමුත් අගය කළ යුත්තක් ඇත. විදුලකර සරසවියේ මේ අන්දමට ගෙවී ගිය ස්වර්ණමය යුගයේ සිටි ජ්‍යෙෂ්ඨයන් හා වත්මන් පාලක මණ්ඩලය මෙතුමා මියයන්නට පෙර මෑත අතීතයේ පැවැත් වූ උපාධි ප්‍රදානෝත්සවයේදී එතුමාට ආචාර්ය උපාධියක් පිරිනැමීම කොපමණ අගය කළ යුත්තක්ද කෘතගුණ සැලකීමක්ද!

ශ්‍රී ලංකා ද්වීපයට වීදි නාට්‍ය හඳුන්වා දී එය සංස්කෘතික අංගයක් බවට පත්කිරීමට වෙරදැරූ අපේ ගුරුතුමාට නිවන් සුව අත්වේවා!


ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත‍්‍ර සමාගම
© 2010 සියලු හිමිකම් ඇවිරිණි.
ඔබගේ අදහස් හා යෝජනා අපි අගයන්නෙමු
[email protected]