ආසියානු ක්‍රීඩා උළෙල අද ඇරැඹේ

‘ක්‍රීඩාවේ වින්දනයෙන් සාමකාමී ආසියාවක් ’

ආසියානු ක්‍රීඩා උළෙල අද ඇරැඹේ

“ ක්‍රීඩාවේ වින්දනය තුළින් සාමකාමී ආසියාවක්” යන තේමාව යටතේ 16 වැනි ආසියානු ක්‍රීඩා උළෙල චීනයේ ගුවැංෂු නගරය ආසන්නයේ පර්ල් නදිය අසල හැයිෂින්ෂා දූපතේදී අද ආරම්භ කෙරේ. රටවල් 45 ක ක්‍රීඩක ක්‍රීඩිකාවෝ 12000ක් පමණ සහභාගිත්වයෙන් පැවැත්වෙන ආසියානු ක්‍රීඩා උළෙල අද සිට මේ 27 වැනිදා දක්වා ගුවැංෂුහිදී පැවැත්වීමට කටයුතු සැලසුම්කොට ඇත.

චීනයේ බීජිංහිදී 2008 වසරේ ඔලිම්පික් උළෙල පවත්වා ලද සියලු අත්දැකීම් ඒකරාශීකොට විශ්මිත සමාරම්භක උළෙලක් නිර්මාණය කිරීමට පියවර ගෙන ඇතැයි සංවිධායකයෝ පවසති. එම ඔලිම්පික් උළෙලේ ආරම්භක හා සමාප්ති උත්සව නිර්මාණය කිරීමට දායකත්වය සැපයූ චෙන් වෙයියා මහතා ආසියානු ක්‍රීඩා උළෙලේ ද සමාරම්භක අවස්ථාව නිර්මාණකරණයේ අධ්‍යක්ෂකවරයා ලෙස කටයුතු කරයි.

ගුවැංෂු නුවර ප්‍රධාන ක්‍රීඩාංගණය සහ ක්‍රීඩා ගම්මානය

චීනයේ සම්ප්‍රදායානුකූල ක්‍රීඩා ලෙස සැලකෙන වුෂු, රගර්, චෙස් හා මවුන්ටන් පාපැදි ක්‍රීඩා සංකලනයකොට අසාමාන්‍ය සමාරම්භක මහෝත්සවයක් අද දින පවත්වන බවට මාද්‍ය මගින් ඉඟි පළකොට ඇත. තරගාවලිය යහපත් කාලගුණික තත්ත්වයක් යටතේ පැවැත්වීම සඳහා නවීන තාක්ෂණය යොදාගෙන තිබීම විශේෂත්වයකි.

කාලගුණය පාලනය කරගැනීම උදෙසා වැහි මුහුණතට විහිදුවන රොකට් හා වැහිවලාකුළු විනාශ කරන රසායන ද්‍රව්‍ය විසිරුවන ගුවන් යානා 5 ක් ඉහළ අහසේ ක්‍රියාත්මක කරවීමට ගුවාංෂු නගරය පිහිටා ඇති ගුවැංඩන් පළාතේ කාලගුණ කාර්යාංශය ඊයේ කටයුතු කළේ ය.

මේ තත්ත්වය මත වර්ෂාවෙන් ඉදිරි දින කිහිපයේදී තරගාවලියට කිසිදු බාධාවක් නොවනු ඇතැයි විශ්වාසය පළ වේ. ආසියානු ක්‍රීඩා තරගාවලියේදී ජයග්‍රාහී ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට රන් පදක්කම් 476 ක් ප්‍රදානය කෙරේ.

මෙතෙක් ආසියානු ක්‍රීඩා තරගාවලි ඉතිහාසයේ චීනය වැඩිම පදක්කම් ප්‍රමාණයක් දිනා ඉදිරියෙන් සිටී. ජපානය හා කොරියාව දෙවැනි හා තෙවැනි තැන සිටිති. අවසන් වරට දෝහාහි පැවැති ආසියානු තරගාවලියේදී චීනය රන් පදක්කම් 153 ක්, කොරියාව රන් පදක්කම් 51 ක් හා ජපානය රන් පදක්කම් 49 ක් දිනා ගත්හ. ශ්‍රී ලංකාව එම තරගාවලියේදී රිදී පදක්කමක් හා ලෝකඩ පදක්කම් 2ක් දිනා ගත්තේ ය.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා