දැන් ඉතිං රට හදමු

දැන් ඉතිං රට හදමු

මා ඔබෙන් ලද පළමු ජනවරමෙන් ඔබ අපේක්‍ෂා කළ සාමය මම ඔබට දිනා දුන්නෙමි. එලෙස කී දේ කළ, කළ දේ කී පොදු ජන සේවකයකු වශයෙන් ඔබේ මීළඟ අපේක්‍ෂාවන්ද ඉටු කිරීම වෙනුවෙන් මා සතු අධිෂ්ඨානය ඉහළින්ම ඇත. අප සැම එක්ව අපගේ රට දියුණුවේ හිනිපෙත කරා රැගෙන යා යුතුය...

(මහින්ද චින්තන ඉදිරි දැක්ම 2010)

රුහුණු ගිරුවාය ශ්‍රී ලංකා මාතාවට දායාද කළ ඒ සුජාත පුත්‍රයා, මහින්ද රාජපක්‍ෂ නම් ජනතාවගේ මිනිසා 2005 වසරේ මේ රටේ බලයට පත් නොවන්නට සැබැවින්ම අද අපට රටක් කියා දෙයක් ඉතිරි නොවන්නට තිබුණි. ලෝකය හමුවේ අභිමානයෙන් ජීවත්වන ජාතියක් ලෙස නැගී සිටින්නට නොහැකි වන්නට බොහෝවිට ඉඩ තිබුණි. නිරන්තරයෙන් වෙඩි හඬ ඇසෙන, බෝම්බ පිපිරෙන, ලේ වැගිරෙන, මරණයේ අඳුරු සෙවණැලි අතර ජීවත්වන මිනිසුන් සිටින රටක් ලෙස දිගටම පවතින්න ඉඩ තිබුණි.

නමුත් ඒ සියල්ල අද වෙනස් වී ඇත. මේ පොදු ජනතාවගේ මිනිසාගේ අධිෂ්ඨානයට කළ නොහැකි දෙයක් නොතිබුණි. ලොවම පරාජය කළ නොහැකි යැයි කියූ කුරිරු ත්‍රස්තවාදියකු ඉතා කෙටි කලකින් ඔහු නිහඬ කෙළේ මුළු ලෝකයම විශ්මයට පත් කරවමිනි.

“මගේ සිහිනය නිවහල් ජාතියකි. නිල්ල පැතිරුණු රටකි. අටුකොටු පිරුණු හෙටකි. දැහැමි මිනිසෙකි. සිංහල, දමිළ, මුස්ලිම්, බර්ගර් ලක්මවගේ සියලු දරුවන් අපේක්‍ෂා දැල්වුණු දෑසින් අප දෙස බලා සිටින බව මම දනිමි. ඒ අපේක්‍ෂා යථාර්ථයක් බවට පත් කළ හැකිය. ඒ විශ්වාසය මා සතුව තිබේ. නිසැකවම මම එය ඉටු කරදෙන්නෙමි....”

ඒ අභීත නායකයාගේ ඒ සිහින ප්‍රාර්ථනා සියල්ල අද වනවිට ඔහු සැබෑ කර ගෙන ඇත්තේ විජයග්‍රාහී ලෙසය. ඒ නිසාම 2010 ජනාධිපතිවරණයේදී විජාතික බලවේග කුමන කුමන්ත්‍රණ, සටකපටකම් දියත් කළත්, යුද්ධයෙන් දිනාගත නොහැකි වූ දේ ඡන්දයෙන් ලබා ගැනීමට උත්සාහ කළත් රටේ පොදු මහත් ජනතාව වැඩි ඡන්ද ලක්‍ෂ දහඅටකට අධික සංඛ්‍යාවකින් යළි රට රුහුණු පුත්‍රයාට බාර දුන්නේ සැබෑව සහ බොරුව නිවැරැදිව මේ රටේ ජනතාව තේරුම් ගත් නිසාය.

ශ්‍රී ලංකා මාතාව ආසියාවේ ආශ්චර්යය බවට පත් කිරීම මේ අභීත නායකයාගේ ඉදිරි ප්‍රාර්ථනයයි. අධිෂ්ඨානයයි. සිහිනයයි. ඒ සිහිනය, ඒ ප්‍රාර්ථනය, යථාර්ථයක් බවට පත් කිරීම රටේ ජීවත්වන ශ්‍රී ලාංකීක පුරවැසියන්ගේ යුතුකම, වගකීම, විය යුතුය. ඒ වගකීම ඉටුකිරීමට ජනතාවගේ ‘හද මඬල‘ බවට පත්ව ඇති අතිගරු මහින්ද රාජපක්‍ෂ නම් ජනතාවගේ මිනිසාට අප ශක්තිය, ධෛර්යය, නිරතුරුව දිය යුතුය.

දිනපති විලස හසරැලි දී මවුබිමට
තරුපති විලස පහනක් වී පැල්පතට
සිරිපති අසිරි සිරි බලමින් රට අවට
ජනපති දිනේවා සියවස් කල් රුවට 
(- රඹුකන සිද්ධාර්ථ හිමි)

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා


සබැඳි පුවත්