මාළුවා වෙනුවට බිලී පිත්තක් දෙන්න !

මාළුවා වෙනුවට බිලී පිත්තක් දෙන්න !

රාජ්‍ය නායකයාගේ දේශපාලන දර්ශනය හා ආර්ථික වැඩපිළිවෙළට සමගාමී ලෙස රටක වාර්ෂික අයවැය ලේඛනය සකස් වේ. දැක්මක් හා ප්‍රතිපත්තියක් ඇති රාජ්‍ය නායකයන්ගේ පාලනය සහිත ස්වාධීන රාජ්‍යයන් හි අයවැය ලේඛනය සකස් වනුයේ ඒ අනුව ය. කිසියම් රාජ්‍යයක් විදේශාධිපත්‍යයට හෝ ලෝක බැංකුවට හෝ යටත් ව සිය පාලනය ගෙන යන්නේ නම් ; ඉහත කී කාරණය වෙනස් වී ලෝක බැංකුව හෝ බලවත් රාජ්‍යය හෝ කියන අයුරින් අයවැය ලේඛනය සකස් වේ. ශ්‍රී ලංකාව යනු පෞරුෂයක් සහිත දුරදක්නා ඥානයකින් සමන්විත රාජ්‍ය නායකයකුගේ පාලනයක් ඇති ස්වාධීන රාජ්‍යයෙකි. ඒ අනුව අපගේ අයවැය ලේඛනය සකස් වනුයේ ඉදිරි දැක්මක් සහිතව ය. ඉදිරි දැක්ම යනුවෙන් අදහස් වන්නේ අනාගත සංවර්ධනය යි.

2011 සඳහා වූ අයවැය ලේඛනය ඊයේ ඉදිරිපත් කිරීමට නියමිත ව තිබිණි. මේ තීරුව ලියන අවස්ථාව වන විට එම ලේඛනයේ ගණන්හිලව් පිළිබඳ නිශ්චිත වැටහීමක් අපට තො තිබිණි. ඒ වන විට අයවැය ලේඛනය ඉදිරිපත් කර නො තිබූ බැවිනි. එහෙත් අයවැය ලේඛනය පිළිබඳ පූර්ව හා මූලික වැටහීමක් අප සතු වේ. ජනාධිපතිවරයාගේ දෙවැනි ධුර කාලය මුළුමනින්ම පාහේ වෙන් ව ඇත්තේ රටේ සංවර්ධනය සඳහා ය. වෙනත් වචනයකින් කිවහොත් ශ්‍රී ලංකාවේ ජනතාවගේ අනාගත සමෘද්ධිය සඳහා බරපතළ වැඩ කොටසක් ඉටුකිරීම රාජ්‍ය නායකයාගේ අපේක්ෂාව වී තිබේ. එහි ප්‍රතිඵලය වනුයේ ඉතා කෙටි කාලයක් තුළ ශ්‍රී ලංකාව ආසියාවේ ආශ්චර්යවත් රාජ්‍යයක් බවට පත් වීම ය.

බුද්ධිමත් ජනතාවගේ අපේක්ෂාව වනුයේ තාවකාලික සහන හා පැලැස්තර විසැඳුම් නො වේ. එහෙත් විරුද්ධ පක්ෂයේ අරමුණ වන්නේ අයවැය ලේඛනයේ කොනක් අල්ලාගෙන ජනතාව කුලප්පු කිරීම ය. රනිල් වික්‍රමසිංහ මහතාගේ අදහස වන්නේ රාජ්‍ය සේවක වැටුප් රුපියල් දස දහසකින් වැඩි නො කොළොත් ඊට විරුද්ධ වන බව යි. ජනතා විමුක්ති පෙරමුණෙහි අදහස වන්නේ රාජ්‍ය සේවක වැටුප් රුපියල් නව දහසකින් වත් වැඩි නො කළහොත් උද්ඝෝෂණ ඇති කිරීම ය. මේ අදහස් දෙක ම රටේ ඉදිරි ගමනට බාධා වෙකි. තව අතෙකින් තර්ජනයෙකි.

වැටුප් වැඩි කිරීම හා රටේ ආර්ථිකය අතර බරපතළ ගැටලු රැසක් පවතී. රුපියල් දස දහසකින් රාජ්‍ය සේවක වැටුප් වැඩි කළ ආණ්ඩුවක් ශ්‍රී ලංකාවේ තිබී නැත. එය කළ නො හැක්කකි. රුපියල් දස දහසින් රාජ්‍ය සේවක වැටුප් වැඩි කළහොත් දහතුන් ලක්ෂයකට එය ලබා දිය යුතු ය. විශ්‍රාමිකයිනට ද ඊට සමගාමී ලෙස විශ්‍රාම වැටුප් වැඩි කළ යුතු ය. පෞද්ගලික අංශයේ ද වැටුප් වැඩි කිරීමට සිදු වේ. ඒ අනුව වෙළෙඳ පොළට අස්වාභාවික ලෙස මුදල් ගලා’විත් බඩුමිල තවදුරටත් ඉහළ යනු ඇත. සංවර්ධන වැඩ නවතිනු ඇත. අවසන් ප්‍රතිඵලය ලෙස රටේ මූල්‍ය අස්ථාවරභාවයක් පැන නැඟ රට බංකොලොත් වනු ඇත.

ආර්ථික විද්‍යාව අනුව බැලුවහොත් ; එක්සත් ජාතික පක්ෂයේ ඉල්ලීම මෙන්ම විවේචනය අතිශය මෝඩ එකකි. ජනතා විමුක්ති පෙරමුණේ තර්ජනය ද ඉන් එහාට ගොස් නැත. මේ පක්ෂ දෙක ම බලා සිටිනුයේ ආණ්ඩුව බංකොලොත් කිරීම සඳහා ය. ආණ්ඩුව බංකොලොත් කිරීම යනු රට වැසියා මෙතෙක් ලබාගෙන ඇති නිදහස හා ආර්ථික දියුණුව මුළුමනින් ම ආපස්සට හැරවීමෙකි. හම්බන්තොට මාගම්පුර අන්තර්ජාතික වරාය වැනි සාඵල්‍යතා සහිත දැවැන්ත ව්‍යාපෘතියක් එක්සත් ජාතික පක්ෂය කිසි දිනෙක ඉදිකර නැත. ජනතා විමුක්ති පෙරමුණ සිදු කර ඇත්තේ රාජ්‍ය සම්පත් ගිනි තබා ශ්‍රී ලංකාවේ තරුණ පරම්පරාව විනාශ මුඛයට යැවීම ය.

මේ අයවැය ලේඛනය මඟින් රාජ්‍ය සේවක වැටුප් යම් පමණකින් වැඩි කරන බව දැන ගන්නට ලැබේ. වැටුප් විසමතා පිළිබඳ ගැටලුව විසැඳීමට පියවර ගන්නා බව ද දැන ගන්නට ලැබේ. කෘෂිකර්මය, අධ්‍යාපනය, සෞඛ්‍ය ආදී ක්ෂේත්‍රවල පැවැති සහන කප්පාදු නො කරන බව ද දැන ගන්නට ලැබේ. එහෙත් ඊට වැඩි විශාල මුදලක් රටේ සංවර්ධනය සඳහා යොදවන බවට සාධක පවතී. සුබ සාධක අයවැය ලේඛන මඟින් රටක් සංවර්ධනය වන්නේ නැත. එය දේශපාලන ජනප්‍රියතාවය සඳහා යොදා ගත හැකි ය. බලය තහවුරු කර ගැනීම සඳහා ද යොදා ගත හැකි ය. එහෙත් සහන වැඩියෙන් ද ආයෝජන අඩුවෙන් ද ඉදිරිපත් වුවහොත් රටේ අනාගතය බෙහෙවින් අඳුරුවනු ඇත.

ශ්‍රී ලංකාවට ප්‍රධාන ආර්ථික අභියෝගයක් තිබේ. එනම් ; දුප්පත්කම තුරන් කිරීම ය. මාළුවකු ඉල්ලාගෙන එන තැනැත්තාට බිලී පිත්තක් ලබා දෙන්නැ’යි කොන්පියුසියස්තුමා කියා සිටියේ ය. එය දිළිඳුකම පිටු දැකීමේ හොඳම මාර්ගය යි. දිළිඳු ජනයාට ආධාර හා සහන ලබාදීම ඔහු තවදුරටත් දිළිදුකමෙහි රැඳවීමක් බව නිශ්චිත ය. දිළිඳු ජනයාට ඉපැයුම් මාර්ග ලබාදීම දුප්පත්කම තුරන් කිරීමේ හොඳ ම මාර්ගය බව පිළිගෙන තිබේ. ශ්‍රී ලංකාවේ දුප්පත්කම තුරන් කිරීමට නම් ; ආදායම් මාර්ග ඉපැදිය යුතු ය. ආදායම් මාර්ග ඉපැදවීමට ඇති එක ම මාර්ගය රට වේගවත් සංවර්ධනයකට යොමු කිරීම ය. අප දන්නා පරිදි මහින්ද චින්තනය හා එහි ඉදිරි දැක්ම ඛ්2යාත්මක වනුයේ මහජනයා වෙත වැඩි – වැඩියෙන් ආදායම් මාර්ග ලබා දීමට ය.

මහින්ද රාජපක්ෂ මහතාගේ චින්තනය හා ප්‍රතිපත්තිවලට සමගාමී ව විමර්ශනයක යෙදුණහොත් ඔහු දේශීය ආර්ථිකය නැංවීමට ප්‍රධාන බලයක් යොදනු ඇත. එලෙස ම ගෝලීය ආර්ථිකය හා ගනුදෙනු කිරීමට හැකිවන ලෙස මෙරට ආර්ථිකය ශක්තිමත් කරනු ඇත. ශ්‍රී ලංකාව පුංචි කොදෙව්වක් නො වන බව ද මෙරට ජනතාව බෙලහීන ජාතියක් නො වන බව ද ඔහු සනාථ කරනු ඇත. ඒ ගමන් මඟෙහි එක් සන්ධිස්ථානයක් ලෙස මෙවර අයවැය ලේඛනය හැඳින්විය හැකි ය.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා