ඔන්න බබෝ බිල්ලෝ එනවා

ඔන්න බබෝ බිල්ලෝ එනවා

1970 දසකයේ විනෝදාත්මක සිනමාව තුළ ප්‍රධාන චරිත නිරූපණය කිරීමේ අවස්ථා බොහෝවිට උදා වූයේ පෙම්වතුන් ගේ චරිත සඳහා සහභාගී වූ රංගන ශිල්ප ශිල්පිනියන්ට ය. දුෂ්ටයා ගේ චරිතය වරින් වර ප්‍රධාන චරිත කරා ආ අවස්ථා ද තිබිණ. සෙසු සුපුරුදු චරිත සියල්ලට ම පාහේ රැඳී සිටින්නට සිදුවූයේ පෙම්වතුන්ගේ චරිත සතු යෝධ සෙවනැලි යටතේ යි.

විකට චරිත නිරූපණය කළ රංගන ශිල්ප ශිල්පීන්ට ප්‍රධාන චරිත හිමිවීම ආරම්භ වූයේ 1990 දසකයේ දී ය. හොඳම උදාහරණ ගෙන එන්නේ් රෝයි ද සිල්වා ගේ සිනමාපට යි.

වර්ෂ 1957 දී සිනමා රංගනයට අවතීර්ණ වූ පියදාස විජේකෝන් විනෝදාත්මක සිනමාව තුළ කැපී පෙණුනේ දුෂ්ට චරිත නිරූපණය කරමිනි. පසුකාලීනව ඔහු විකට චරිත කරා තල්ලු වී ගියේ රසිකයාටත් නොදැනීම ය. ‘සුරයන්ගෙත් සූරයා’, ‘එදත් සූරයා අදත් සූරයා’ බඳු සූර වීර සිනමාපට තනා ඉහළ රසික ප්‍රතිචාර ලබා සිටි ලෙනින් මොරායස් 1970 දසකයේ දී හඳුන්වා දුන්නේ ‘වෙනින් කවුරුත් නොවෙයි - ලෙනින් මොරායස්’ මැයෙනි. ඔහුගේ සිනමාපට ලාංකේය සිනමාවේ කර්මාන්තමය පදනම විශේෂයෙන් සවිමත් කළ බව පැහැදිලි ය. ඒවා සතු තාක්ෂණික මට්ටම අද ද විස්මයක් දනවන බව කිව යුත්තකි.

ලෙනින් මොරායස්ගේ වෙනස් මගක් ගත් සිනමා පටයක් ලෙසිනුයි ‘ඔන්න බබෝ බිල්ලෝ එනවා’ වර්ෂ 1974 දී සිනමාශාලා කරා පැමිණෙන්නේ. මෙහි ප්‍රධාන චරිත නිරූපණය කරන්නේ ගාමිණී ෆොන්සේකා හා ස්වර්ණා කහවිට ය. එහෙත් සිනමා පටයේ එන සැබෑ ප්‍රධාන චරිතය හිමිවූයේ පියදාස විජේකෝන් ට ය. චරිතයේ නම ‘බූ බම්බා’ යි. මේ භූතයෙකි. ගාමිණී - ස්වර්ණා ආදරයට සහය දක්වන්නේ මොහු යි. දුෂ්ටයාව පරදවන්නේ් ඔහු යි. අවසන ඔහු මේ කුරිරු සමාජයෙන් දුරස් ව සැඟවී යයි.

පියදාස විජේකෝන් සතුව තිබුණේ දැවැන්ත සිරුරකි. විනෝදාත්මක සිනමාව තුළ ඔහුට හිමි වූ පිළිගැනීම පසුපස වූයේ ද මෙම සාධකය යි. ‘බූ බම්බා’ ගේ චරිතයට හොඳින් ම ගැලපුණේ ඔහු ය. රසික ආදරය ‘බූ බම්බා’ ට නො අඩුව ලැබිණ. ළමයින්ට ද මේ මතක හිටින වර්ගයේ අපූරු චරිතයකි. ගාමිණී - ස්වර්ණා ආදර අන්දරය එහෙමට ම නොතේරුණා ද ‘බූ බම්බා’ ව හඳුනා ගන්නට ‘ඔන්න බබෝ බිල්ලෝ එනවා’ නැරඹූ ළමා රසිකයන් පොහොසත් වූ බව රහසක් නොවේ. මේ පවුලේ ප්‍රේක්ෂකයන් බුරුතු පිටින් සිනමා ශාලා කරා ආ සමයකි. සිනමාකරුවෝ ද ඒ බව තේරුම් ගනිමින් සිනමාපට තැනූහ.

‘ඔන්න බබෝ බිල්ලෝ එනවා’ සඳහා ‘පට්ටන්තිල් භූ®තම්’ (1967) නැමැති ඉන්දියානු දෙමළ භාෂීය සිනමා පටය පාදක කරගත් බව කියැවේ.

කෙසේ නමුදු ලෙනින් මොරායස් සැලකෙන්නේ මුල් සිනමාපට සිහිපත් නොවන පරිදි සිනමා අධ්‍යක්ෂණ කාර්යයෙහි නිරත වූ සිනමාකරුවකු ලෙසිනි. ‘ඔන්න බබෝ බිල්ලෝ එනවා’ හි ආ ‘මේ ජීවනයේ’, ‘පහන් තිරේ ඇවිලෙන්නේ’ යන ගී අදත් රසික ප්‍රජාව අතර ජනපි‍්‍රය ව ඇත්තේ අනුකාරක ගී වශයෙන් නොවේ.

‘ඔන්න බබෝ බිල්ලෝ’ ලාංකේය සිනමාව සතුව තිබූ තාක්ෂණික සමත්කම් ගැන පැහැදිලි අදහසක් ඉදිරිපත් කළ අවස්ථාවක් ද වේ. විශේෂ කැමරා හා සංස්කරණ ප්‍රයෝගවලට හපනකු වූ ලෙනින් මොරායස් ට මේ ලැබී ඇත්තේ අනගි අවස්ථාවකි.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා