මාතලේ රජු මමයි

මාතලේ රජු මමයි

බලාපොරොත්තු සුන්වූ මේ ප්‍රහාරයෙන් වඩාත් ප්‍රකෝපයට පත් වූයේ වීර පුරන් අප්පු දේශප්‍රේමියාණන් ය. පසුදිනට පහන් විය. ගොංගාලේගොඩ බණ්ඩාර රජතුමාගේ සොහොයුරු හඟුරන්කෙත මැණික්රාළ ඇල්කඩුවාවට යැවීම . හුන්නස්ගිරියේ කෝපි වතු අල්ලා ගැනිමටත් විනාශ කිරීමටත් කරෝ අප්පු සෙන්පතියා ද පිටත් කළේ ය. දිනිිස් සෙන්පතියා ලග්ගල කෝපි වතු අල්ලා ගැනීමට යැවීය. මාතලේ නගරය අල්ලා ගැනීමේ ස්ථාන වීරපුරන් අප්පු සැලසුම් කරමින් තමන් පදිංචිව සිටි ලෙනදොරට පැමිණ සිංහල හමුදා ශක්තිමත් කළේ ය.

1848 ජූලි 29 දිනට පහන් විය.

සිංහලේ හමුදාව දඹුල්ලේ නාලන්දේ හා ලෙනදොර රැස්ව සේනා සංවිධාන කරන බවට මධ්‍යම පළාත් ඒජන්තට ආරංචි විය. මහනුවර අල්ලා ගැනීම සිංහලේ හමුදාවන්ගේ එකම අරමුණ වග වටහා ගත් බුලර් වහාම පොලිස් නිවේදනයක් නිකුත් කළේය. මෙම නිවේදනය පොලිස් ගැසට් පත්‍රයක් සහ අණබෙරකරුවන් මගින් ප්‍රචාරය කරන ලදී. නිවේදනය මෙසේය. කරෝ අප්පු, පුරන්අප්පු හා දීනිස්යන තිදෙනා නීති විරෝධි දාමරිකයන් බැවින් දිවි ඇතිව හෝ නැතුව අල්ලා දෙන ඕනෑම කෙනෙකුට රන් පවුම් සියයක තෑග්ගක් දෙන බවයි.

ඒ පමණක් නොවේ. 1818 ඌවේ කැරැල්ල මෙන් ඉංග්‍රීසි ආණ්ඩුව බලවත් අපහසුතාවකට පත් වෙතැයි ආණ්ඩුකාරයා ප්‍රමුඛ හමුදා නායකයෝ සැකයෙන් භීතියට පත්ව සිටියහ. මධ්‍යම පළාත් හමුදා නායක කර්නල් ඩුප්ට් කොළඹ සිට අතිරේක හමුදා ලබා දෙන්න යැයි ආණ්ඩුකාරයාට වහා දැන්වීය. ටොරිංටන් ආණ්ඩුකාරයා විසින් වඩාත් බියපත් මදුරාසියේ ආණ්ඩුකාරයාට හමුදා ආධාර ඉල්ලා වහා පණිවුඩ යවන ලදී. නාවික යුද සරඹ අභ්‍යාස පුහුණුව ලබා අවි ආයුධවලින් සන්නද්ධව සිටි ඉංග්‍රීසි හමුදාව සිංහලේ වීරෝදාර හමුදාවට කෙතරම් බිය වීද යනු මේ සිද්ධිවලින් අනාවරණය වේ.

ගොන්ගාවෙල සහ අගලකොටුව යන ගම් දෙකට එකල පැරැණි මාතලේ නගරය සීමා වී තිබුණි. මාතලේ නගරය පුරා යුද්ධ නීතිය ක්‍රියාත්මකව තිබුණි. ලෙනදොර සහ ඇල්කඩුවෙන් සිංහලේ හමුදාව ශක්තිමත් සේනාධිපති වීර පුරන් අප්පු ප්‍රධාන නායකයෝ එදින රාත්‍රිය පළාපත්වල ගත කළහ. හිරු රැස් මහ පොළඹ සිප ගන්නටත් පළමු ඔව්හු මාතලේ අල්ලා ගැනීමට සේනාවක් සමඟ පිටත් වූහ. හුන්නස්ගිරිය හා ලග්ගල කෝපි වතු අල්ලා ගැනීමට සේනාවක් සමඟ පිටත් වූහ. හුන්නස්ගිරිය හා ලග්ගල කෝ්පි වතු අල්ලා ගැනීමට අනෙක් නායකයෝ තම සේනා මෙහෙය වූහ.

වීර පුරන් අප්පුගේ සේනාව ඉදිරියෙන් ඔසවා ගෙන යන ලද්දේ රණදැල් කොඩිය බව දැක්වේ. මාතලේ පැරැණි කොඩියට නෑකම් කියන ඉරහඳ සහ රන් හැට්ටය එම කොඩියෙහි සංකේතවත් විය. දහසකට වඩා සේනාවක් පිරිවරා ගෙන වීර පුරන් අප්පු මාතලේ ට නැඟෙනහිර දෙසින් ඇතුළු වූයේ ය. 1803 දී පමණ ගොඩනඟා තිබුණු හික්ගොල්ල, කොටුව, සැක්සන් පැක්, මැක්ඩොවල් කොටුව යන මාතලේ වීදියට නැඟෙනහිරින් ආරම්භ වන ස්ථානයට මඳක් ඈතින් පිහිටි පැරැණි යුද්ධ භූ®මියේ දී තමන් මාතලේ රජු වශයෙන් ප්‍රකාශ කෙළේ ය. මේ සිද්ධිය සම්බන්ධව ඉතිහාසඥයෝ විවිධ මත පළ කරති. මාතලේ නගරය සම්පූර්ණයෙන්ම ආක්‍රමණය කර තමන් මාතලේ රජු යැයි අභීතව ප්‍රකාශ කළ වගක් ද සඳහන් වේ.

මාතලේ ප්‍රදේශයට ඇතුළුවන දකුණු දොරටුවේ ගං ඉවුරේ එගොඩ වන රොදෙහි සිංහල හමුදාවෙන් පිරිසක් ඔහු විසින් රැකවල් පිණිස යොදවන ලදී. ආක්‍රමණකාරී ඉංග්‍රීසි හමුදාව මාතලේ නගරයට ඇතුළු වන තැන වශයෙන් එතැන සලකුණු කර ගෙන තිබුණි. මේ මුර සේනාවට භාර වූ ප්‍රධාන කාර්යය වූයේ ඉංග්‍රීසි හමුදාවේ ගමන් මඟ අවහිර කිරිම ය.

වීර සෙන්පති පුරන් අප්පු ඉන් පසු තමන්ගේ සැළසුම ක්‍රියාත්මක කෙළේ ය. ඉංග්‍රීසින්ට අයත්ව තිබූ ස්ථාන වටලා විනාශ කිරිම ඊළඟ කාර්යය විය. මාතලේ තානායම, සිවිල් බෙහෙත් ගබඩාව, මහේස්ත්‍රාත් ලේඛනාගාරය, සහ රට බීම ගබඩාව ආක්‍රමණය කිරීම ඉන් පසු සිදු කෙරිණි. ලේඛනාගාරයේ ලිපි ලේඛන මාතලේ නගරය පුරා විසුරුණි. සමහර ලේඛන ගින්නට දමන ලදී.

බේත් ගබඩාව සුණු විසුණු විය. දින ගණනක් පුරා වෙහෙස මහන්සි වී සිටි සිංහලේ හමුදා භටයෝ රට බීමවලින් හැකි තරම් විඩාව සන්සිදුවා ගත්හ. එදින උදේ 10.00 - 11.00 පමණ මාතලේ නගරයේ එක දු සුදු ජාතිකයෙකු වත් නොවීය. සියලුම සුදු ජාතිකයෝ රැකවරණ සොයා ගොස් සිටියහ.

නිවෙස්හිමි සුද්දන්ගේ නිවාස තුළ තිබුණු ලට්ට ලොට්ට ඉවතට ඇද දැමූහ. ගිනි තබන්නට සූදානම් නොවූහ. පොදු දේපොළ විනාශ කිරීමට සිංහලේ හමුදා පියවර නොගත්හ. ඉංග්‍රීසි ආණ්ඩුවේ කාර්යාල ගොඩනැඟිලි ඔව්හු විනාශ කළහ. ඉංග්‍රිසි හමුදාව මෙන් සිංහලයන් අධම ලෙස පියවර නොගත්ත බැව් රාජකීය කොමිෂමේ සාක්ෂිවලින් ද අනාවරණය වන බැව් සඳහන් වේ. ඉංග්‍රීසි හමුදාව මාතලේ ඇතුළු වන ගඟ හරහා දමා තිබූ එල්ලෙන පාලම පවා ගලවා දැමීමට සිංහල නායකයෝ පියවර නොගත් බැව් සඳහන් වේ.

එසේ වුවත් ඉංග්‍රීසින් කැරළි නායකයන්ට චෝදනා කිරීමේ දී බොහෝ අවස්ථාවල මං පැහැරීම්, සොරකම් කිරීම්, ගිනි තැබීම් ආදී අසත්‍ය කරුණු සහ වෙනත් බාහිර කරුණු එකතු කළ වග අසත්‍යයක් නොවේ. කිසියම් ලෙසකින් මාතලේ එල්ලෙන පාලම සිංහල හමුදාව විසින් සුණු විසිණු කෙළේ් නම් කැරැල්ලේ ප්‍රතිඵල වෙනස් වන්නට ඉඩ තිබුණි.

ලබන සතියට

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා