මංජුල කුමාර ශ්‍රී ලංකා ධජය අද ඔසවයිද ?

ලෝක සූරයාත් සමඟ චමින්ද විජේකෝන් පරදී

මංජුල කුමාර ශ්‍රී ලංකා ධජය අද ඔසවයිද ?

 චමින්ද විජේකෝන් 6වැනියා ලෙස තරගය නිමා කරමින් ඡායාරූපය – ප්‍රින්ස් ගුණසේකර

චීනයේ ගුවැංෂුහි පැවැත්වෙන ආසියානු ක්‍රීඩා උළෙලේ ඊයේ පැවැති මලල ක්‍රීඩා ඉසව්වලින් ශ්‍රී ලංකාවට අමිහිරි අත්දැකීම් එක්විය.

පදක්කමක් දිනාගනු ඇතැයි බොහෝ දෙනා විශ්වාසය තැබූ චමින්ද විජේකෝන් මීටර් 1500 තරගයේදී මූලික වටයෙන්ම ඉවතට ගියේය. එමෙන්ම මීටර් 400 කාන්තා තරගයේදී චන්ද්‍රිකා සුභාෂිනී 8 වැනි ස්ථානයට පත්වූ අතර එහි පිරිමි ඉසව්වේදී ප්‍රසන්න අමරසේකර 6 වැනි ස්ථානයට පත්විය.

වත්මන් ලෝක සූරයා වන බහරේනයේ කාමෙල්ෂාඩ් යුෂුප්ද මූලික වටයෙන්ම ඉවතට විසිවී ගිය මීටර් 1500 තරගයේදී චමින්ද ගතකළ කාලය වූයේ විනාඩි 3:55:25 කි. ඔහු මීටර් 1500 තරගයේ ක්‍රීඩකයන් 20 කින් 14 වැනියා විය. ලෝක සූරයා 15 වැනියා වූයේ විනාඩි 3:58:80 කිනි. චමින්ද විජේකෝන් මෙයට මාසයකට කලින් නිමාවූ නවදිල්ලි පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේදී මීටර් 1500 විනාඩි 3:40:78 කින් නිම කිරීමට සමත්වූ ක්‍රීඩකයෙකි.

චන්ද්‍රිකා සුභාෂිනී මීටර් 400 තරගය තත්පර 55:05 කින් නිම කළාය. ඇය ද නිමාවූ පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා තරගාවලියේදී මේ ඉසව්ව තත්පර 52:97 කින් නිමකළ ක්‍රීඩිකාවකි. ප්‍රසන්න අමරසේකර ද මාසයකට පෙර දැක්වූ දක්‍ෂතාව (තත්. 46.89) ඊයේ දිනයේදී දැක්වීමට අපොහොසත් වූ අතර, ඔහුගේ කාලය වූයේ තත්පර 47.05 කි.

මෙතෙක් නිමාවූ මලල ක්‍රීඩා ඉසව්වලදී ශ්‍රී ලංකාව දැඩි පසුබැසීමකට ලක්ව තිබීම කැපී පෙනේ.

අවසන් තරගයට සුදුසුකම් නොලැබූ චමින්ද විජේකෝන් පැවැසුවේ තරගය අතරතුරදී විලුඹ අසල ඇතිවූ දැඩි වේදනාව පරාජයට හේතුව වූ බවය. තරගයෙන් අනතුරුව ඇවිදගැනීමට නොහැකිවූ චමින්ද රෝද පුටුවක ආධාරයෙන් පැමිණ ගිලන්රියක නැගී ක්‍රීඩා ගම්මානයට පැමිණියේය. එහිදී ඔහුව ‘එක්ස් රේ’ පරීක්‍ෂණයකට ද ලක් කෙරුණි. ක්‍රීඩාංගණයේ සිට ක්‍රීඩා ගම්මානයට පැමිණෙද්දී ශ්‍රී ලංකා කණ්ඩායමේ නිලධාරීහු කිසිවෙකු ඔහු අසල නොසිටීම කැපී පෙනුණි. බලවත් සිත් වේදනාවෙන් කතා කළ චමින්ද පැවසුවේ ජයග්‍රහණයේදී තමා වටා සිටින බොහෝ දෙනා පරාජයේදී නොමැති බවය.

මංජුල පදක්කමක් දිනයිද?

ශ්‍රී ලංකා පිලේ පදක්කම් බලාපොරොත්තුවක් වන මංජුල කුමාර උස පැනීමේ අවසන් තරගයට අද පිවිසෙයි. ඔහු මීටර් 2.15ක දක්‍ෂතාවයකින් අවසන් තරගයට සුදුසුකම් ලැබුවේය. දුර පැනීමේ කාන්තා තරගයට එන්. සී. ඩී. පි‍්‍රයදර්ශනී හා මීටර් 100 x 4 කාන්තා පිරිමි මූලික වටයේ තරගද අද පැවැත්වේ.

ෂෙහාන් සහය දිවීමටත් නෑ

මීටර් 100 x 4 සහය දිවීමේ තරගයට එක්වන බව කලින් සිට ප්‍රකාශ කළ ෂෙහාන් අඹේපිටිය ඊයේ පැවැසුවේ එම ඉසව්වටද සහභාගී නොවන බවය. චීන වෛද්‍ය උපදෙස් මත ෂෙහාන් තරගයට එක් නොවන්නේ පාදයේ වලලුකර අසල අස්ථියක බිඳීමක් නිසාවෙනි.

ආසියාවේ වේගවත්ම මිනිසා සහ ගැහැනිය

ආසියාවේ වේගවත්ම මිනිසා ලෙස චීනයේ යාඉලාඕ හා වේගවත්ම කාන්තාව ලෙස ජපානයේ චිෂාටෝ ෆුකුෂිමා සම්මානයට පාත්‍රවූහ. 25 හැවිරිදි ලාඕ මීටර් 100 තරගය නිමකිරීමට තත්පර 10.24 ක කාලයක් ගතකළ අතර 27 හැවිරිදි ෆුකුෂිමා ගත කළ කාලය තත්පර 11.33 කි.

පාපැදි පල්ලම් බහී

කිලෝමීටර් 180ක් දුරැති පිරිමි ඒකළ පාපැදි තරගයේදී ලක්‍ෂ්මන් විජේරත්න පැය 4:15:04 කින් තරගය නිමකර 17 වැනිය විය. පළමු ස්ථානය දිනාගත් හොංකොං හි වැන්ග් කැම් පැය 4:14:54 කින් තරගය නිම කළේය.

සත් සාමාජික රගර් පිලට පළමු ජය

ශ්‍රී ලංකා රගර් ක්‍රීඩකයෝ ඉන්දියාව ලකුණු 42 – 12 කින් පරාජය කළ අතර, කොරියාවට 43 – 0 කින් පරාජය විය. ඉන්දියාවට එරෙහි තරගයේදී ශ්‍රීනාත් සූරියබණ්ඩාර ට්‍රයි 2ක්, අනුරුද්ධ විල්වරා ට්‍රයි 2ක් හා සාලිය හදපාන්ගොඩ, ෂෙනාල් ඩයස් ට්‍රයි, බැගින් වාර්තා කළහ.

මෙතෙක් තරග 3 කට එක්වී තරගයකින් ජයගෙන සිටින ශ්‍රී ලංකා රගර් පිල අර්ධ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා ඇත. හොංකොං සමඟ එම තරගය අද පැවැත්වේ. ජපානය, හොංකොං හා චීනය මෙතෙක් සහභාගිවූ තරග 3 බැගින් ජයගෙන ඉදිරියෙන්ම සිටිති.

ස්කොෂ් පිලට තවත් පරාජයක්

ශ්‍රී ලංකාව හා පාකිස්තානය අතර, පැවැති ස්කොෂ් කණ්ඩායම් තරගයේදී ශ්‍රී ලංකාවට 3 – 0ක පරාජයක් හිමිවිය මේ කණ්ඩායම් තරඟයට ගිහාන් සුවාරිස්, නලීන් සමරසිංහ හා බිනුර ජයසූරිය ක්‍රීඩා කළහ.

දුණු විදීමෙනුත් පරදී

ශ්‍රී ලංකාව හා චීනය අතර පැවැති කණ්ඩායම් තරගයේදී ශ්‍රී ලංකාවට 221 – 201ක පරාජයක් හිමිවිය. දුණු විදීමේ කණ්ඩායම් තරගයට නිපුන් සෙනෙවිරත්න, ලක්මාල් රාජසිංහ හා ඉන්ද්‍රජිත් පෙරේරා ක්‍රීඩා කළහ.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා