නවසීලන්ත ආකරයේ සිරවූ කම්කරුවන් ගලවා ගැනීමේ අපේක්ෂා බිඳ වැටෙන ලකුණු

නවසීලන්ත ආකරයේ සිරවූ කම්කරුවන් ගලවා ගැනීමේ අපේක්ෂා බිඳ වැටෙන ලකුණු

පිපිරීමක් හේතුවෙන් නවසීලන්තයේ ආකරයක හිරවුණු කම්කරුවන් 29 දෙනා පිළිබඳ අපේක්ෂාවන් ගතවන සෑම පැයක් පාසාම වියැකී යන බව ආකර පාලකයා ඊයේ ප්‍රකාශ කෙළේ භූගත ආකරයට ළඟාවීමේ අපහසුතා හේතුවෙන් ගැලවුම් කණ්ඩායම් කනස්සල්ලෙන් පසුවද්දීය.

පිපිරීමෙන් ඔවුනට අනතුරක් නොසිදුවීමට බොහෝ දුරට ඉඩකඩ ඇතැයි නවසීලන්ත අගමැති ජෝන්කේ ප්‍රකාශකළද සෙස්සන්ගේ මතය ඊට ඉඳුරාම වෙනස් වී තිබේ.

සිද්ධියෙන් දින 4 ක් ඉකුත්ව තිබුණු ඊයේදී කම්කරුවන්ගේ ඥාතීන් එහි රැස්ව සිටියේ සතුටුදායක ආරංචියක් ලැබෙතැයි අපේක්ෂාවෙනි.

නවසීලන්තයේ දකුණු දූපතේ දුෂ්කර පෙදෙසක පිහිටි “පයික්–රිවර්” නම් මෙම පතලේ කම්කරුවන් හිරවී සිටින ස්ථානය වෙත නිරීක්ෂණ උපකරණයක් යැවීම සඳහා ගැලවුම් කණ්ඩායම් සිදුරක් කණිමින් සිටින බව වාර්තා වී ඇත. දුරස්ථ පාලකයකින් යුත් රොබෙප් කැමරාවක්ද එහි යැවීමට ඔවුන් අදහස් කර තිබේ.

එහෙත් පතලට පිවිසීම බෙහෙවින් අනතුරුදායක බව බලධාරීන්ගේ නිගමනය වී ඇත. වර්ධනය වන විස වායුවෙන් ගැලවුම් කණ්ඩායමටද ගැලවීමක් නැතිසේම සමහරවිට තවත් පිපිරුමක් ඇතිවිය හැකි බවට ද බිය පලව තිබේ.

ඉකුත් සිකුරාදා පතලේ ඇතිවූ පිපිරුමෙන් පසු දිවි ගලවාගත් දෙදෙනා රෝහල් ගතකර ඇති අතර ඔවුන් පවසන්නේ සිදුවූ පිපිරුම කෙතරම් බලවත්ද යත් ඔවුන් උඩ විසිවුණු බවය.

නවසීලන්තයේ පතලක හිරවුණු කම්කරුවන් මුදා ගැනීමේ ක්‍රියාවලිය ගැන මාධ්‍යයට තතු පහදන අගමැති ජෝ්න් කේ (දකුණේ) සමග පසෙක සිටින්නේ පතලේ ප්‍රධාන විධායක නිලධාරි පීටර් විටෝල්ය.

මේ දක්වාම හිරවී සිටින්නන් සමග සබඳතාවක් ගොඩනඟා ගැන්මද අපහසු වී ඇත. දිවි ගලවාගත් 24 හැවිරිදි ඩැනියල් රොක්හවුස්ගේ සොයුරු බෙන් තවමත් පතලේය. පිපිරුම වෙඩි හඬකට වඩා සැර වූවක් බවද ඉන් නැගුණු දුමින් පතල පිරීගිය අතර එය කාබන් මොනක්සයිඩ් වායුව බව හැඟීගිය බවද ඔහු කියා තිබේ.

ඩැනියල් පවසන්නේ සෙසු 29 දෙනාම ජීවතුන් අතර සිටිය හැකි බවයි. පතලේ ඔක්සිජන් වායුව පවතින අතර එම වායුව පිරි ප්‍රදේශයකට ළඟාවීමෙන් ඔවුන් ජීවත්ව සිටිනු විය හැකි බව ඔහු වැඩිදුරටත් පවසයි.

ගැලවුම් කණ්ඩායම් සෙ.මී. 15ක සිදුරක් කණින්නේ එමගින් වායු නියැඳී ලබාගැනීමට මෙන්ම ලේසර් උපකරණ හා වීඩියෝ කැමරාවක් මගින් එහි තත්ත්වය පිළිබඳ පැහැදිලි චිත්‍රයක් ලබාගැනීමටය.

පෙරේදා සිදුර කැණීම ඇරඹුණු අතර ඊයේ වන විට මීටර් 100 ක් දුර කැණීම් සිදුකර තිබිණ. ඊයේ සවස් වන විට ඉතිරි මීටර් 62 තරණය කළ හැකිවනු ඇතැයි ද හිරවුණු සියල්ලන් බේරාගැනීම එකම අරමුණ යැයි ද පතල් බලධාරීන් කියා ඇත.

කෙසේවෙතත් දිවි ගලවාගත් දෙදෙනා පැමිණීමෙන් පසු සෙස්සන්ගෙන් මෙතෙක් කිසිම සංඥාවක් හෝ ලැබී නැතැයි ද ඔවුහු කියති.

හිරවී සිටින 29 දෙනාගේම නම් පොලිසිය විසින් අනාවරණය කැර ඇත.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා