|
||||||||||||||||||||||||||||||||
බොදු සිත් පහන් කළ අසිරිමත් පින්කම
කඨින පිංකම සිංහල බෞද්ධයන්ගේ ආගමික ජීවිතයේ ශ්‍රේෂ්ඨ අවස්ථාවකි. එය අතීතයේදීත් එසේමය. තෙවැනි දල්ල මොග්ගල්ලාහ රජතුමා ලක්දිව සියලු ආරාමවලට කඨින චීවර පූජා කළ බව ඉතිහාසයේ සඳහන්වේ. සිංහලයන් සැබැවින්ම දහමට ලැදි ජාතියකයි යන කීර්තිය පරතෙරට ද පැතිර තිබිණි. හියුන් සං හිමියෝ සිංහලයන් ගැන මෙසේ ප්‍රකාශ කර ඇත. “ඔවුහු ශාස්ත්‍රය හා ශීලය අගය කොට සලකති. ආගමික සත්ගුණයට බොහෝ ගරු කරති. පින් රැස්කර ගැනීමට වෙහෙසෙති. පසුගිය නොවැම්බර් 05, 06 දිනවල දඹදිව ජේතවනාරාමයේ පැවැති කඨින පුණ්‍යෙත්සවය ද එහි පැවැති බුදු හරසර වන්දනාවන්ද දුටු අයෙක් වෙත්නම් ඒ අය බොහෝ සතුටු වන අතරම මීට ශතවර්ෂ ගණනාවකට පෙර හියුන් සං හිමියන් සිංහල බෞද්ධයන් පිළිබඳ දැක්වූ අදහස් අදද එසේම නොවෙනස්ව පවතින බව ප්‍රකාශ කරනු ඇත. මන්ද වසර 2300ක සිටම සිංහලයන්ගේ ආගමික භක්තියත් පිංකම් පැවැත්වීමේ ආශාවත් වෙනස්වී නැත. පහන් ලක්ෂ ගණනකින් ආලෝකවත් වූ ජේතවනාරාම පුදබිම බැබලෙන විට සාධු සාධු යැයි නොකියන කෙනෙක් නැත. පහන් ආලෝකයෙන් ඔපවත්වූ ජේතවනාරාම පින්බිම පුරා මම ඇවිද ගියේ අප්‍රමාණ බුදු බැතියක් හිතේ දරාගෙනය. මෙවන් පිංකමකට සහභාගිවීමේ හැකියාව ලැබීම සැබැවින්ම සතුට දනවන්නක් විය. අලංකාර ලෙස රෝසමලින් සරසා තිබූ එදා බුදුන් වැඩ සිටි ගන්ධකුටිය නමස්කාර කළ මම ඒ පින් මගේ මියගිය මවුපියන්ට අනුමෝදන් කළෙමි. බොහෝ උවැසි උවැසියන්ද ගන්ධ කුටිය වැඳ දෙනෙත් පියාගෙන වන්දනා ගාථා කියනු මට දක්නට ලැබිණි. දඹදිව චාරිකාවේදී සැතැපුම් දහස් ගණන් ගමන් කරමින් නොයෙකුත් පීඩාවන් ලැබුවද ඒ සියලු පීඩාවන් මේ පිංකමේ ආලෝකය නිසාම තුරන්ව ගොස් මහත් සැනසුමක් හා ශාන්තියක් ඇතිව තිබෙන බව මේ උවැසි උවැසියන්ගේ මුහුණුවලින්ම මට අවබෝධ විය. මේ ඡායාරූපවලින් දැක්වෙන්නේ ඒ මහඟු පිංකමේ විවිධ අවස්ථාවන්ය. කෝට්ටේ ශාන්ති බුද්ධ භූමි සංවිධානයට තවදුරටත් මෙවැනි පිංකම් පැවැත්වීමට හැකිවේවායි මම ඉතසිතින් ප්‍රාර්ථනා කරමි. |
||||||||||||||||||||||||||||||||
ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත‍්‍ර සමාගම
© 2010 සියලු හිමිකම් ඇවිරිණි. ඔබගේ අදහස් හා යෝජනා අපි අගයන්නෙමු [email protected] |