මුද්‍රණය සඳහා

 
දානයේ අනුසස්

දානයේ අනුසස්

ඡත්‍ර කුඩ පූජාවේ ආනිශංස

ඡත්තේ සුගතෙ දත්වා
සංඝේ ගණවරුත්තමේ
අට්ඨානිසංසේ අනුභෝමි
කම්මානුච්ඡවිකේ මම

බුදුරජාණන් වහන්සේ ප්‍රමුඛ ලක්ෂයක් මහරහතන් වහන්සේලාට සියක් දිනක් පුරා දහස දහස බැගින් දන්දීමේ අලංකාර ඡත්‍ර - කුඩ එක නමට එක බැගින් සවි කෙළෙමි. එයින් මම සසර පුරා ආනිශංස අටක් සෑම ආත්මභාවයකදී ම මේ ඡත්‍ර පූජාවෙන් ලැබූවෙමි.

සීතං උණහං න ජානාමි – රජෝජල්ලං න ලිම්පති
අනුපද්දවෝ අනීතී ච - හෝමි අපචිතෝ සදා

කිසිම ආත්මයක දී සීතෙන් හෝ උෂ්ණත්වයෙන් පීඩා නො ලැබූවෙමි. කවදාවත් අධික සීත ඇති රටක, කවදාවත් දැඩි ඌෂ්ණය ඇති රටක උපතක් සිදු නොවිනි.

මාගේ ශරීරයෙහි කුණු ඇලෙන ගතියක් නැත. ඒ නිසා දහදිය වැගිරීමක් ද නැත. උවදුරකට මුහුණ දීමට සිදු නොවිනි. සැමදා ගිය ගිය තැන සැමගේ ගෞරව ලබන කෙනෙක්වම සිටියෙමි.

සුඛුමච්ඡවිකෝ හෝමි – විසදං හෝති මානසං
සත්ත සතසහස්සානි – භවේ සංසරතෝ මම

ඉකුත් කල්ප ලක්ෂය පුරාම පින්කම නිසා උපනුපන් ආත්මභාවයන්හිදී සිනිදු එසේම පිරිසිදු වර්ණවත් ශරීරයක්ම ලැබීමි.

උපනුපන් තන්හිදී අලංකාර ඡත්‍ර, අලංකාර නිවාස ලැබීමට මේ පුණ්‍යකර්මය මට හේතු විය. ප්‍රධානÀවය – මූලිකත්වය සැමතැනදී ම ලදිමි.

සිවුරු - වස්ත්‍ර දානයේ අනුසස්

දස්සානි සුගතේ දත්වා
සංඝේ ගණවරුත්තමේ
අට්ඨානිසංසේ අනුභොමි
කම්මානුච්ඡවිකේ මම

ඒ පදුමුත්තර බුදුරජාණන් වහන්සේ ප්‍රමුඛ ලක්ෂයක් මහා සංඝයා වහන්සේට දිනකට දහස බැගින් දිනපතා සියක් දිනක් පුරා දන් දීමේදී සෑම භික්ෂූන් වහන්සේ නමකටම චීවර සඳහා වස්ත්‍ර පූජා කෙළෙමි. ඒ පිනේ බලයෙන් උපනුපන් ආත්මභාවයන්හිදී ආනිශංස අටක් ඒ කුශල කර්මයට අනුරූපව මට ලැබුණේය.

සුවණ්ණ වණ්ණෝ විරජෝ
සප්පහාසෝ පතාපවා
සිනිද්ධං හෝති මේ ගත්තං
භවේ සංසරතෝ මම

උපනුපන් ආත්මභාවයන්හිදී රන්වන් පාටින් යුත් ශරීර ඇත්තෙක් වීමි. ප්‍රතාපවත් වූ ද සිත් පිනවන පි‍්‍රයශීලී ස්වරූපයකින් යුක්ත වූ ද ශරීර ලැබීමි. එනිසාම හැම තැනකදී ම ජනාදරයට පත්වූ පුද්ගලයෙක් වීමි.

දුස්සසතසහස්සානි
සේතා පීතා ච ලෝභිතා
ධාරෙන්ති මත්ථකේ මය්හං
දුස්සදානස්සිංද ඵලං

භවයෙහි උපත ලද සෑම ආත්මභාවයකදී ම වර්ණවත් විවිධ පාටින් යුත් අගනා වස්ත්‍ර ලක්ෂ ගණනින් මට ලැබෙන්නට විය. එයින් ප්‍රමාණවත් පරිදි මම ද පරිහරණය කරමින් අඹුදරු ඥාති මිත්‍රාදීන්ට අගහිඟකම් ඇති අයට ද පරිත්‍යාග කෙළෙමි. එයින් මා ලද මානසික සහනය කියා නිම් හිම් කළ නොහැකි තරම් ය.

ආහාර පාත්‍ර - භාජන පිදීමේ අනුසස් දහය

පත්තේ සුගතේ දත්වා
සංඝේ ගණවරුත්තමේ
දසානිසංසේ අනුභෝමි
කම්මානුච්ඡවිකේ මම

බුදුරජාණන් වහන්සේට ද මහා සංඝයා වහන්සේට ද පාත්‍ර සහ ආහාර ගැනීමේදී උවමනා කරන අනෙකුත් භාජන උපකරණ පූජා කිරීම නිසා ඊට අනුකූල වූ ආනිශංස දහයක් සසර උපදින උපදින ආත්මභාවයක් පාසා ම ලැබුවෙමි.

1. රන් රිදී භාජන සහ අගනා පිඟන් කෝප්පාදී භාජන ලැබීම
2. ආහාර පාන ගැනීමේදී කැස්ස - හිරවීම, දිව තොල හැපීම් බඳු උපද්‍රව ඇති නොවීම.
3. ඉතා පහසුවෙන් ආහාර පානාදිය ලැබීම.
4. සැමදා කාගේත් ගෞරවයට පාත්‍රවීම.
5. දේපළ ගින්නෙන්, ජලයෙන්, කෘමීන් ආදී සතුන්ගෙන් විනාශ නොවීම.
6. චංචල බවින් තොර ස්ථිර අදහස් ඇත්තකු වීම.
7. සැමදා ධර්මයට කැමැත්තකු වීම.
8. කෙළෙස් අඩු ගතිය.
9. කාගේත් හිත් දිනාගත හැකි වීම.
10. දෙව් මිනිස් දෙගතියෙහි විවිධ සම්පත් ලැබීම.
තම ශ්‍රමය යොදා දානාදිය පිළියෙළ කිරීම නිසා ආනිශංස පහක් ලැබූවෙමි
1. කීකරු යහපත් සේවක කාරකාදීන් ලැබීම.
2. ගව මහීසාදී සම්පත් ලැබීම.
3. තමනට ලැදි ආරක්ෂක - මෙහෙකරුවන් ලැබීම.
4. ප්‍රණීත ලෙස ආහාර පාන පිසිය හැකි සේවක සේවිකාවන් ලැබීම, තමන්ටද ප්‍රනීත ලෙස ආහාර පිසීමට හැකිවීම.
5. පිරිසිදු දර්ශනීය ආහාර පිසින මුළුතැන්ගෙවල් ලැබීම. අන් අය යොදා නම නියම නො කොට ඔවුනුත් සමඟ තමාත් වෙහෙසීමෙන් දන් පිළියෙළ කිරීම නිසා ලැබූ ආනිශංස පස මෙයින් කියැවේ.

බෙහෙත් පිදීමේ ආනිශංස දහය

භේසජ්ජං සුගතේ දත්වා
සංඝේ ගණවරුත්තමේ
දනානිසංසේ අනුභෝමි
කම්මානුච්ඡවිකේ මම

ආයුවා බලවා වීරෝ - වණ්ණවා යසවා සුඛී
අනුපද්දවෝ අනීතීච - හෝමි අපචිතෝ සදා
න මේ පියවියෝගත්ථි – තස්ස නිස්සන්දතෝ මම

බුදුරජාණන් ප්‍රමුඛ මහා සංඝයා වහන්සේට අවශ්‍ය බෙහෙත් වර්ග පූජාකිරීමේ බලයෙන් ආනිශංස දහයක් භවයේදී ලැබූයෙමි.

1. දීර්ඝායු සම්පත් ලැබීම.
2. ශරීර ශක්තිය ලැබීම.
3. ධෛර්ය සම්පන්න පුද්ගලයෙක් වීම.
4. පැහැපත් වර්ණයකින් යුක්ත වීම.
5. යහපත් කීර්ති රාවයක් ඇත්තෙකු වීම.
6. ශරීර සැපය ලැබීම.
7. කවර උපද්‍රවයකටවත් හසු නොවන්නෙකු වීම.
8. අන් අයගේ දෝෂාරෝපණයන්ගෙන් වැළකුණු කෙනෙක් වීම.
9. කාගේත් ගෞරවයට ලක්වූ කෙනෙක් වීම.
10. තම දරුවන්, බිරිඳ සහෝදර සහෝදරියන්, මව්පියන් අකාලයේ මරණයට පත් නොවීම – එවැනි පි‍්‍රය විප්‍රයෝග දුකකට පත් නොවීම.

පාවහන් පූජාවේ ආනිශංස පහ

1. උපනුපන් ආත්මභාවයන්හිදී අශ්වවාහන, ඇත්වාහන සහ දෝලා, සිවිකාදිය ද ගමන් බිමන් සඳහා ඒ ඒ කාලවලදී පැවති විවිධ යාන වාහන ලැබීම.
2. පයට පහසුව ගෙනදෙන අගනා පාවහන් ලැබීම.
3. කිසිදු ආත්මභාවයකදී දෙපයේ සහ පතුල්වල රෝගාබාධයක් ඇති නොවීම.
4. අහසින් යාම බඳු සෘද්ධි බල ලැබීම.
5. උපනුපන් ආත්මභාවයන්හිදී දර්ශනීය පාද යුග්මයක් ලැබීම.

සැරයටි, කිහිලිකරු, රෝද පුටු පූජා කිරීමේ අනුසස් හය

පුත්තා මය්හං බහු හොන්තී – තාසෝ මය්හං න විජ්ජති
අප්පසය්හෝ සදා හෝමි - සබ්බාරක්ඛේහි රක්ඛිතෝ
ඛලිතම්පි න ජානාමි – අහන්තං මානසං මම

1. සෑම ආත්මභාවයකදීම යහපත් කීකරු දරුවන් ලැබීම.
2. කවර කරුණක් නිසාවත් තැතිගැනිමක් ඇති නොවීම.
3. සතුරන් විසින් සිදුකරනු ලබන විපත්තිවලින් වුවද තමන්ට හොඳක්ම වීම.
4. පින විසින් ම තමා ආරක්ෂා කිරීම.
5. තමන්ගෙන් තව කෙනෙකුට වරදක් නොවීම.
6. සිතේ පසුතැවිලි ගති ඇති නොවීම.

අභය දානයේ – මරණ භය නැති කිරීමේ අනුසස්
අභයදානං දත්වාන – ජත්තුනෝ භයතජ්ජිතේ
දසානිසංසේ අනුහොමි – කම්මානුච්ඡවිකෙ මම

භාග්‍යවත් බුදුරජාණන් වහන්ස, බොහෝ ආත්ම භාවයන්හිදී මම මරණයට කැප වූ, භයින් තැතිගත් සතුන් කරුණාවෙන් යුතුව මරණ භයින් මුදවාලීමි. එහි කුසල විපාක වශයෙන් සසර වසනාතුරා මේ නිවන් ලබන ආත්මය දක්වාම ආනිශංස දහයක් ලැබූවෙමි.

1. උපනුපන් ආත්ම භාවයන්හි දී කිසිදු මාරක බන්ධනයකට අසු නොවීම.
2. නිරෝගී සම්පත්තිය ලැබීම.
3. දීර්ඝායු සම්පත්තිය ලැබීම.
4. රාජ රාජ මහාමාත්‍ය සහ සිටුපවුල්වල බොහෝ සම්පත් ඇතුව උපත ලැබීම.
5. දිව්‍යලෝක, බ්‍රහ්මලෝක ආදියෙහි සම්පත් ලැබීම.
6. කීකරු පුණ්‍යවන්ත පි‍්‍රයශීලී අඹු දරුවන් ලැබීම.
7. තැනට ඔබින නුවණින් යුත් හිතවත් සේවක කාරකාදීන් ලැබීම.
8. සෑම තැනකදීම උසස් පුද්ගලයකු සේ කැපී පෙනෙන සේ ආරෝහ පරිනාහ සම්පත්තියෙන් යුක්තවීම.
9. උගත් නූගත්, දුප්පත් පොහොසත්, බලවත් දුබලවත්, එසේම කුරිරු කවර කෙනෙකුන් වුවද අවනත කරගැනීමේ ශක්තියක් ලැබීම.
10. ඒ අභය දානමය පිනේම ශේෂ වූ ආනිශංස වශයෙන් පංච අභිඥා, අෂ්ඨ සමාපත්ති ලාභීව මහරහතන් බවට පත්වීමට හැකිවීම.


ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත‍්‍ර සමාගම
© 2010 සියලු හිමිකම් ඇවිරිණි.
ඔබගේ අදහස් හා යෝජනා අපි අගයන්නෙමු
[email protected]