කට විතර ද? වැඩත් තියෙනවා!

කට විතර ද? වැඩත් තියෙනවා!

ශ්‍රී ලංකාවේ ආර්ථිකය පිළිබඳ සජීවී සංවාදයක් මේ දිනවල අසන්නට – දකින්නට ලැබේ. එය මෙරට ආර්ථිකය පිළිබඳ හරස්කඩක් සේ ද ගත හැකි ය. ආර්ථිකය පිළිබඳ විදේශීය නියෝජිතයන්ගේ අදහස්, දේශපාලකයන්ගේ විවේචන, ඒවාට ලැබෙන ප්‍රතිඋත්තර හා ආර්ථික විශේෂඥයන්ගේ විචාර හා විවේචන ද ඉහත කී සංවාදයට ඇතුළත් වේ. පාකිස්ථානයේ ජනාධිපති අසිෆ් අලි සර්දාරි මහතා මෙරට ආර්ථිකය පිළිබඳ සුබදායී චින්තනයකින් යුතු ව කතා කරයි. ත්‍රස්තවාදය අවසන් කිරීම නිසා ශ්‍රී ලංකාවට ශීඝ්‍ර ආර්ථික වර්ධනයක් ලද හැකි බව ඔහු අවධාරණය කරයි.

ශ්‍රී ලංකාවට හිතවත් වන ඕනෑ ම රාජ්‍යයක් මේ මොහොතේ ක්‍රියාකාරී සහයෝගයක් ලබා දිය යුතු බව ද පාකිස්ථානය වසර දහයක් යනතුරු වුව තම සහයෝගය ලබා දෙන බව ද සර්දාරී මහතා කියා තිබේ.පාකිස්ථානු ආයෝජකයෝ මේ වන විටත් මෙරට ආයෝජනයට සූදානමින් සිටිති. එරට ජනාධිපතිවරයා කියන ලෙස තමන් ශ්‍රී ලංකාවට පැමිණියේ මෙහි සිට ඩොලර් රැගෙන යෑමට නො වේ. පාකිස්ථානු ආයෝජකයන් මෙහි සිට කරන ව්‍යාපාරවල ලාභය ද ශ්‍රී ලංකාවෙහි ම රැඳවීමට වැඩපිළිවෙළක් යොදන බව සර්දාරි මහතා කියා තිබේ. රටක් දියුණු වීමට ව්‍යාපාර බහුල විය යුතු ය.

එම ව්‍යාපාරවල ලාභය ද රටේ වෙනත් සංවර්ධන කටයුතු සඳහා යෙදැවිය යුතුය. ඒ අතින් බලන විට සර්දාරි මහතා පැමිණ ඇත්තේ ශ්‍රී ලංකාවට අත දීමට ය. 2011 අයවැය ලේඛනය පිළිබඳ සංවාදයක් ද දැන් පවතී. කරු ජයසූරිය මහතා පාඩු ලබන ආයතන විසි ගණනක් මැති සබයට ඉදිරිපත් කළේ ය. ආණ්ඩුව, ලාභ ලබන ආයතන තිස් ගණනක් මැති සබයට ඉදිරිපත් කළේ ය. දැන් පවතින සංවාදය උණුසුම් ය. වරෙක එය දේශපාලනික වේ. තවත් වරෙක එය යථාර්තවාදී වේ.

ආර්ථික කටයුතු පිළිබඳ අමාත්‍ය බැසිල් රාජපක්‍ෂ මහතාගේ පිළිතුරු කතාව වැඩි දෙනකුගේ අවධානයට ලක් ව තිබේ. ඔහු විපක්‍ෂයට කට උත්තර නැතිවන්නට තර්කානුකූල ව කරුණු දක්වා තිබේ. රජයට සම්බන්ධ ඇතැම් ආයතන පාඩු ලබන්නට වූයේ අද ඊයේ නො වේ. එය දීර්ඝ කාලීන ක්‍රියාවලියෙකි. ජේ. ආර්. ජයවර්ධන මහතාගේ පිළිවෙත වූයේ රාජ්‍ය ආයතන වසා දමා ආර්ථිකය පෞද්ගලික අංශයට භාරදීම ය. ඔව්හු ඒ සඳහා පිඹුරු පත් සකස් කොට රාජ්‍ය ආයතන එකිනෙක පෞද්ගලික අංශයට විකුණා දැමූහ.

එක්සත් ජාතික පක්‍ෂ ආණ්ඩුවේ අවසන් කාලය වන විට එය ශීඝ්‍ර ලෙසින් සිදු විය. විවෘත ආර්ථිකයට මානුෂික මුහුණුවරක් ලබාදීමට පැමිණි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මැතිනිය එම වැඩසටහන මන්දගාමී කරමින් ඉදිරියට ගෙන ගියා ය. ජේ. ආර්. ජයවර්ධන මහතාගේ විවෘත ආර්ථිකයෙන් රටට ලැබුණු සෙතක් නැත. ඉතිරි වූයේ දූෂණය ස්ථාපිත වීම හා සදාචාරය කෙලෙසීම යි. කිහිප දෙනකු අතර මුදල් ගැවසුණු අතර බහුතරය අතිශය දුප්පත් විය.

මේ කාලයෙහි දේශීය කර්මාන්ත කඩා වැටිණි. කෘෂිකර්මය හා සත්ව පාලනය පිරිහිණි. දේශීයත්වය වෙනුවට විදේශීයකරණය මගින් රට ගිල ගනිමින් තිබිණි. රාජ්‍ය සේවාව බෙහෙවින් දුර්වල විය. රනිල් වික්‍රමසිංහ මහතාගේ ලුහුඬු ආණ්ඩු සමයේ කුඹුරු ගොඩ කිරීමට පවා අදහස් යෝජනා විය. ජනතාව මහින්ද රාජපක්‍ෂ මහතා බලයට පත් කරනුයේ ඉහත ක්‍රමය වෙනස් කිරීම සඳහා ය. 2005 දී මහින්ද චින්තනය අනුව රටේ ආර්ථිකය හැසිරෙන්නට පටන් ගත්තේ ය. එහි මූලික ස්ථානයක් ලබා ගත්තේ දේශීයත්වය යි.

දේශීය ආර්ථිකය ශක්තිමත් කිරීම සඳහා කෘෂිකාර්මික ප්‍රබෝධයක් ඇති කළ යුතු බව රාජ්‍ය නායකයා දැන සිටියේ ය. “අපි වවමු - රට නගමු” යන සටන් පාඨය යටතේ දිවයින පුරා වගා සංග්‍රාමයක් ඇති විය. එහි ප්‍රතිඵලය ලෙස සෑම ක්ෂේත්‍රයකින් ම සාර්ථක අස්වැන්නක් ලබා ගැනීමට අපට හැකිවිණි. හොඳ ම නිදසුන සහල් නිෂ්පාදනය යි.

පසුගිය වසර කිහිපය විමර්ශනය කළහොත් ආර්ථික වශයෙන් යහපත් ප්‍රගතියක් පෙන්නුම් කර තිබේ. නිදහසින් පසු අඛණ්ඩ ආර්ථික වර්ධනයක් සටහන් කළ කාලය ඒ යැයි කියැවේ. වාර්ෂික ආර්ථික වෘද්ධිය 6% ක මට්ටමේ පවත්වා ගැනීමට හැකි ව තිබේ. 2010 වසරේ මුල් කාර්තුව තුළ 7.1% ක ආර්ථික වර්ධනයක් ද, දෙවන කාර්තුව තුළ 8.5% ක ආර්ථික වර්ධනයක් ද ලබාගෙන තිබේ.

ලෝක බැංකුව මෙන්ම අන්තර්ජාතික මූල්‍ය අරමුදල ද ශ්‍රී ලංකාවේ ආර්ථික සංවර්ධනය යහපත් බව පිළිගෙන තිබේ. සංවර්ධනයේ කැපී පෙනෙන ලක්‍ෂණයක් වන්නේ විරැකියාව අව ම මට්ටමක පැවතීම ය. 2010 වන විට ශ්‍රී ලංකාවේ විරැකියාව පිළිබඳ දර්ශකය 5.1% ක් විය. මේ දර්ශකය දියුණු රටක පවතින විරැකියාවට සමානය.  ඉදිරි වර්ෂය සඳහා යෝජනා වී ඇති නව රැකියා සම්පාදනයට අනුව එය 2% හෝ 1% හෝ තත්ත්වයට පහළ බසිනු ඇතැයි පිළි ගැනේ. උපාධිධාරීන් දොළොස් දහසක් රාජ්‍ය සේවාවට බඳවා ගැනීමේ වැඩසටහනක් ද ලබන වසර තුළ ක්‍රියාත්මක ය.

ශ්‍රී ලංකාව අලුත් ආර්ථික යුගයකට ප්‍රවේශ වී ඇතැ’යි කීම අසත්‍යයක් නො වේ. ආර්ථිකයේ සෑම අංශයක ම පාහේ පිබිදීමක් දකින්නට ලැබේ. දේශපාලනික වශයෙන් විවිධ විවේචන ඉදිරිපත් වන්නට පුළුවන.  එහෙත් මේ ගමන නැවැත්විය නො හැකි ය. මක්නිසාද යත්; එය ජනතාවගෙන් බහුතරය අනුමත කරන නිසා ය.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා