බඩු මිල පාලනයට නිෂ්පාදන වැඩි කළ යුතුයි

බඩු මිල පාලනයට නිෂ්පාදන වැඩි කළ යුතුයි

ඩබ්ලිව්. ඩී. ජේ. සෙනෙවිරත්න - රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු ඇමැති

2011 අයවැය යෝජනාව මේ වන විට ඉදිරිපත් කර තිබේ. එමගින් රටේ සංවර්ධනයට ලැබෙන දායකත්වය රටේ ජනතාවගේ එදිනෙදා ප්‍රශ්න විසඳිමට මෙවර අය වැය සමත් වෙනවාද යන්න පිළිබඳවත් රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු අමාත්‍ය ඩබ්ලිව්. ඩී. ජේ. සෙනෙවිරත්න මහතා සමඟ කළ සාකච්ඡාවකි.

රටේ ජනතාව දෙවැනිවරටත් ජනාධිපතිවරයා බලයට පත් කරන්නේ රටේ සංවර්ධනයක් ඇති කිරීමටයි. දෙවැනි පදවි ප්‍රාප්තියෙන් පසු ගෙන එන අය වැය රටේ සංවර්ධනය සඳහා වූ අය වැයක් ලෙසයි රජය ප්‍රකාශ කරන්නේ. ඒ සංවර්ධනය සඳහා රට තුළ අත්‍යවශ්‍ය සාධක මේ වන විට සම්පූර්ණ වී තිබෙනවා යයි ඔබ සිතනවා ද?

මේ අය වැය වාර්තාවේ ප්‍රධාන තේමාව රටේ සංවර්ධනයට තුඩුදෙන වාතාවරණයක් ඇති කිරීම සඳහා නිෂ්පාදන වැඩිදියුණු කිරීම, ජන ජීවිත ශක්තිමත් කිරීම පොදුවේ සිදුවිය යුතුයි යන්නයි.

මේ අයවැයෙන් බලාපොරොත්තුවන රටේ ඉදිරි සංවර්ධනයට අවශ්‍ය පරිසරය, අඩිතාලම මේ වන විට බොහෝදුරට නිර්මාණය කර තිබෙනවා.

පසුගිය වසර පහ තුළ බලශක්තිය පැත්තෙන් ගත්තාම නොරොච්චෝල, කෙරවලපිටිය, ඉහළකොත්මලේ වැනි බලාගාර පමණක් නෙමෙයි විකල්ප විදුලි බලය නිපදවීමට ද අවශ්‍ය පියවරගෙන තිබෙනවා.

ඒ වගේ ම ඈත එපිට ගම්මානවල පවා මාර්ග සංවර්ධනය කර විදුලිබලය ලබා දී පානීය ජල ප්‍රශ්නය විසඳා දී ඒ ජනතාවට හොඳ ආර්ථිකයක් ගොඩනගා ගැනීමට අවශ්‍ය පසුබිම නිර්මාණය කර දී තිබෙනවා.

 අද ඒ ගම්වල කුඩා තේවතුවල තේදළු දුෂ්කරතාවකින් තොර ව කර්මාන්ත ශාලාව වෙත ප්‍රවාහනය වෙනවා.

ගමේ ජනතාවගේ දැනුම වර්ධනය කිරීමට, රටේ ලෝකයේ සිදුවන දේ දැක ගැනීමට හා දැක බලා ගැනීමට රූපවාහිනි, අන්තර්ජාල පහසුකම් ලබා ගැනීමට අද ඔවුන්ට හැකියාව ලැබී තිබෙනවා විදුලි යෝජනාක්‍රම හරහා.

ඒ වගේ ම රටේ මුහුදු තීරයේ වරාය පහක් සංවර්ධනය වෙමින් අනාගත ස්වයංපෝෂිත රටකට නිරායාසයෙන් අවශ්‍ය වන ආනයන අපනයන පහසුකම් පුළුල් කරනවා. දැදුරු ඔය මොරගහකන්ද වැනි වාරිමාර්ග යෝජනා ක්‍රම හරහා තවත් විශාල බිම් ප්‍රමාණයක් සංවර්ධනය කිරීමට හැකි තත්ත්වයක් උදා වී තිබෙනවා.

ඔබ සඳහන් කරන මේ සාධක දියුණු සංවර්ධනයක් කරා රට මෙහෙයවීමට මේ අය වැය ලේඛනයේ ශක්තිමත් යෝජනා තිබෙනවාද?

අයවැයෙන් ප්‍රකාශ කර තිබෙන පරිදි මේ වන විට රැකියා වියුක්තිය 5.8% දක්වා අඩු වී තිබෙනවා. 2005 වසරේ දී වී කිලෝවක් රු. 10ට අලෙවි කර ගැනීමට නො හැකි වුණත් අද රු. 26 ට අලෙවි කර ගැනීමට හැකියාව ලැබී තිබෙනවා.

මේ තත්ත්වය තුළ ඉදිරි සංවර්ධනය උදෙසා අයවැයෙන් ශක්තිමත් යෝජනා රාශියක් ඉදිරිපත් කර තිබෙනවා.

රටේ නිෂ්පාදන ක්‍රියාවලියේ අපනයන පුළුල් කිරීමටත් ආනයන ආදේශන කිරීමටත් මේ අයවැයෙන් යෝජනා ඉදිරිපත් වී තිබෙනවා. සියලු අමුද්‍රව්‍ය හා අර්ධ නිමි භාණ්ඩ අපනයනය සඳහා සෙස් බදු පනවා නිමි භාණ්ඩ පමණක් සෙස් බද්දෙන් නිදහස් කරන්න යෝජනා වී තිබෙනවා.

මෙයින් අපේ රටේ රැකියා වියුක්තියට විශාල පිටුවහලක් ලැබෙන අතර නිමි භාණ්ඩ පමණක් යැවීමෙන් වැඩි ආදායමක් ලබාගත හැකි වෙනවා.

එමෙන් ම අපේ කර්මාන්තකරුවන්ට අවශ්‍ය කරන යන්ත්‍ර උපකරණ හා අමුද්‍රව්‍ය සඳහා තීරු බදු හා අනෙකුත් බදු අඩු කිරීමට අයවැයෙන් යෝජනා කර ඇති අතර මෙයින් එම කර්මාන්ත කරුවන්ට තමන්ගේ නිෂ්පාදන ජාත්‍යන්තර මට්ටමට නගා සිටුවා ගැනීමට ද හැකියාව ලැබෙනවා.

දේශීය අගය එකතු කිරීම සඳහා එම බද්ද 15% සිට 10% දක්වා අඩුකර තිබෙනවා. දේශීය නිෂ්පාදනවල නිෂ්පාදනය වැඩිදියුණු කිරීම සඳහා එම නිෂ්පාදකයින්ගේ ලාභයෙන් දිය යුතු ආදායම් බද්ද 35% සිට 28% දක්වා අඩුකර තිබෙනවා.

ඒ වගේ ම අපේ රටේ හොඳ ඵලදායිතාවයක් ලබාගත හැකි ක්ෂේත්‍රයක් ලෙස සංචාරක ක්ෂේත්‍රය හඳුනාගෙන තිබෙන අතර සංචාරකයන් ඇද ගැනීමට අවශ්‍ය දර්ශනීයත්වය, දේශගුණය, අලංකාර මුහුදු වෙරළ වැනි අංගයන් අපේ රටේ එමට යි.

මෙය තේරුම් ගෙන සංචාරක ව්‍යාපාරය වැඩි දියුණු කිරීම සඳහා පුළුල් යෝජනා කීපයක් කර තිබෙනවා. 2016 වන විට වැඩියෙන් විසඳුම් කරන සංචාරකයන් මිලියන 2.5ක් සඳහා අවශ්‍ය පහසුකම් සැලසීමටත් මේ අය වැයෙන් යෝජනා වී තිබෙනවා.

සංචාරක කර්මාන්තයෙන් අය කරන බද්ද 15% සිට 12% දක්වා අඩු කිරීමටත් ඒ අතර යෝජනා කර තිබෙනවා. එමෙන් ම සංචාරකයන්ට ප්‍රවාහන පහසුකම් සැපයීම සඳහා අවශ්‍ය වාහන ගෙන්වීමට තීරු බදු 25%කින් අඩු කිරීමට යෝජනාවක් ඉදිරිපත් වී තිබෙනවා.

මේ රටේ ඉතාම වැදගත් අපනයන කර්මාන්තයක් වන මැණික් කර්මාන්තයේ යෙදෙන්නන්ට අගය එකතු නො කළ මැණික් පිටරටින් මේ රටට ගෙනඒම සඳහා දැනට ඉඩදී ඇත්තේ ඇමරිකන් ඩොලර් දස දහසක් වටිනාකමින් යුතු ප්‍රමාණයක් පමණයි.

ඒ ප්‍රමාණය ඇමරිකානු ඩොලර් පනස් දහස දක්වා වැඩි කිරීමට යෝජනා වී තිබෙනවා.

මේ රට කෘෂිකාර්මික රටක් ලෙසයි තවමත් පිළිගැනීම තිබෙන්නේ. මේ අය වැය හරහා කෘෂිකර්මාන්තය දියුණු කිරීමට මොන විදිහේ යෝජනා ද ඉදිරිපත් වී තිබෙන්නේ.

වැවිලි ක්ෂේත්‍රයේ තේ, පොල්, රබර් වැවීම සඳහා සහ ව්‍යාප්ත කිරීම සඳහා ඉතා වැදගත් යෝජනා කීපයක් ඉදිරිපත් වී තිබෙනවා.

වැවිලි කර්මාන්තයේ අපනයන ආදායම දෙගුණ කරගැනීමේ ඉලක්කය මත කුඩා තේ වතු වැවිලිකරුවන්ට දෙනු ලබන සහනාධාරය හෙක්ටයාරයකට රු. 50000 දක්වා වැඩිකිරීමට යෝජනා වී තිබෙනවා.

එයින් වසරකට හෙක්ටයාර 1500ක් අලුතින් වගා කිරීමට බලාපොරොත්තුයි.

ඒ වගේම එම වගාවන් අයත් වතුවල වගාකරුවන් වන සමාගම්වලට වගා නො කරන වල්බිහි වී ඇති ඉඩම් මාස 6ක් ඇතුළත වගා නො කළොත් එම ඉඩම් කුඩා වැවිලිකරුවන් අතර බෙදාදීමට යෝජනා කර තිබෙනවා.

මෙය දැනට සමාගම් අත්හැර ඇති ඉඩම් උපරිම ප්‍රයෝජනයට ලක් කිරීම සඳහා අනිවාර්යයෙන් ම කළ යුත්තකි.

බොහෝ දෙනා අපේක්ෂා කළේ එදිනෙදා ජන ජීවිතයට සහනයක් ලබා ගැනීමයි. ජීවන වියදම පාලනය පිළිබඳව කෙබඳු අවදානයක් යොමුකර තිබෙනවාද?

බඩුමිල අඩු කිරීම සඳහා මෙතෙක් අය කළ රටේ සංවර්ධන බද්ධ වැනි බදු අඩුකර තිබෙනවා. දැනට රටේ පවතින බඩුමිල පාලනය කළ හැක්කේ නිෂ්පාදන වැඩි කිරීමෙන් පමණයි.

ඒ සඳහා සංවර්ධනය සමඟ අත්වැල් බැදගත් ඵලදායිතාව වැඩි කිරීමේ වැඩපිළිවෙළකට අප යා යුතුයි.

එහෙත් අද රටේ හරතදිග්භාගයේ සිදුවන සුවිශාල සංවර්ධන ව්‍යාපෘති හේතු කරගෙන ජනතාව ඒ වායේ ප්‍රතිඵල වශයෙන් වඩාත් හොඳ ජීවන මාර්ගයකට අවතීර්ණ වීමට ඉදිරියේ දී ඉඩ ලැබෙන බව අප බලාපොරොත්තු වෙනවා. ඒ බලාපොරොත්තු මේ අය වැය හරහා ඉටු කරගත හැකි බව මගේ විශ්වාසයයි.

ජනතාව බලාපොරොත්තු වූ ආකාරයට යම් තරමකින් හෝ පඩි වැඩිවීමක් සිදුවුණා. රාජ්‍ය අංශයේ පමණක් පඩි වැඩිවීම සාධාරණ නැහැ නේද?

රජයට ඍජුවම කළ හැකිවන්නේ රාජ්‍ය සේවයේ පඩි වැඩි කිරීම යි. පෞද්ගලික අංශයෙන් ඉල්ලීමක් කළ හැකි නමුත් බලපෑමක් කළ නො හැකියි. රජයේ සේවකයන්ට 5% ක පඩි වැඩි කිරීමක් දී ඇති අතර ජීවන අංක දීමනාවක් ලෙස රු. 600ක් ද එකතු කර තිබෙනවා.

යුද්ධය අවසන් වී තවම මාස 18 යි. රටේ සංවර්ධනය, යටිතල පහසුකම් සැලසීම, සෞඛ්‍ය අධ්‍යාපනය යන සියලු අංශ ශක්තිමත් කරමින් තමයි මේ රාජ්‍ය සේවකයන් පිළිබඳවත් සැලකිල්ලක් දක්වා තිබෙන්නේ.

වෙනත් අවස්ථාවන්හිදී පඩි වැඩිවීම සිදු වුණේ නිශ්චිත මුදලකිනි. එහෙත් මෙවර වැඩි වන්නේ වැටුපෙන් සියයට ගණනකි. මෙසේ ප්‍රතිශත වශයෙන් පඩි වැඩි කිරීම එක් එක් පාර්ශවයන්ට එක් එක් හැන්දෙන් බෙදීමක් නොවේ ද?

සාමාන්‍යයෙන් රැකියාවේ තරාතිරම තීරණය වෙන්නේ උගත්කම, අත්දැකීම්, පළපුරුද්ද ආදි සුදුසුකම් අනුවයි. ඒ අනුව ඒ අයගේ පඩිය අඩු වැඩි වීමක් ඕනෑම ශිෂ්ට සමාජයක දක්නට ලැබෙනවා. ඒ නිසා ඒ යෝජනාවේ අසාධාරණයක් නැහැ.

ගුරු සංගම් ප්‍රකාශ කරන්නේ ඔවුන්ගේ වැටුප් වැඩිවීමක් හෝ වැටුප් විසමතා ඉවත්වීමක් හෝ හිඟ වැටුප් ගෙවීමක් හෝ මේ අයවැයෙන් සිදු නොවන බවයි?

ගුරු සංගම් සම්බන්ධයෙන් පැහැදිලි ප්‍රකාශයක් මේ අයවැයෙහි දක්නට ලැබෙනවා. ඒ තමයි ඒ අයට මුහුණ දීමට සිදුවී තිබෙන සියලු ඌනතා මගහැරෙන ආකාරයට ඔවුන්ගේ වැටුප් ක්‍රමය සකස් කරන බවයි. ඒ අතර ඔය කියන දේවල් සිදුවෙනවා.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා