කෑගල්ල මිරිස්හේන පාර මැද විදුලි සහ දුරකථන කණු සිටුවලා

කෑගල්ල මිරිස්හේන පාර මැද විදුලි සහ දුරකථන කණු සිටුවලා
 

වාහන ගමන් දැඩි අසීරුවෙන්

පාර මැද සිටුවා ඇති විදුලි කණුව සහ දුරකථන කණුව.

කෑගල්ල තටාක පාරේ දෙවැනි පටුමග කෙළවර මිරිස්හේන ග්‍රාමයට යන පාරේ විදුලි සංදේශ (ටෙලිකොම් ආයතනය) හා ලංකා විදුලිබල මණ්ඩලය කණු හිටවීමෙන්.  එම ග්‍රාමයට ප්‍රවේශවන මාර්ගයේ ත්‍රිරෝද රථයකටවත් ගමන් කිරීමට නොහැකි තත්ත්වයක් උදාවී තිබේ.

මිරිස්හේන ගමට යන මාර්ගය මෑතකදී සිමෙන්ති ගල් අතුරා පාර වැඩිදියුණු කර ඇත. මේ මාර්ගය හැර විකල්ප මාර්ගයක් මේ ජනපදයට ප්‍රවිශ්ටවීමට නොමැත. මීට වසර කිහිපයකට පෙර මාර්ගය කැඩීගොස් තිබූ නිසා විදුලිබලය ලබාදීම සඳහා මාර්ගය මැද විදුලි කණුවක්ද සවිකර ඇත.

ටෙලිකොම් ආයතනයද ඒ ආශ්‍රිතව කණුවක් සිටුවා ප්‍රදේශයට දුරකථන පහසුකම් ලබා දී ඇත. මේ අරුම පුදුම කණු සිටුවීම් හේතුවෙන්. එම ප්‍රදේශයේ පදිංචි ජනතාවට වාහනයකින් ගමන් කිරීමට දැඩි දුෂ්කරතා මතුව තිබේ.

මාර්ගය කෑගල්ල නගර සභාවේ ප්‍රතිපාදන වලින් ඉදිවී ඇති අතර මේ විදුලි කණුව සහ ටෙලිකොම් කණුව පාර මැද තිබියදීම මාර්ගයේ ප්‍රතිසංස්කරණ කටයුතු නගර සභාව විසින් සිදුකර ඇත්තේ මේ සඳහා විකල්ප ක්‍රමවේදයක් නොතිබුණු නිසාය.

මේ ගැන අදහස් දැක්වූ ප්‍රදේශයේ පදිංචි කරුවකුවන විල්වල තිලකරත්න මහතා.

මේ කණු දෙක නිසා අපි ත්‍රිවිලර් රථයකින් වත් ගමන් කරන්නේ බොහොම අපහසුවෙන්. මේ පාර අපේ ගමට හදා දීම නගරාධිපතිතුමාට බොහොම පින්, ඒත් අපිට ඒ සංවර්ධන වැඩවල නියම භුක්තිය තවම විදින්නට බැහැ. මේ පාරේ මෝටර් බයිසිකල් එනවා. ත්‍රිවිලර් බොහොම අපහසු වෙන් යනවා.

අපි ලංකා විදුලි බල මණ්ඩලයෙනුත් ටෙලිකොම් ආයතනයෙනුත් ඉල්ලා සිටින්නේ හැකි ඉක්මනින් මේ විදුලි කණුවයි. ටෙලිකොම් කණුවයි ඉවත් කර දෙන ලෙසයි.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා