මුද්‍රණය සඳහා

 
ලක් කිතුනු සසුනට කුමරෙක් ලැබූ වගයි

ලක් කිතුනු සසුනට කුමරෙක් ලැබූ වගයි

පාප් පදවියට පමණක් දෙවෙනි, කාදිනල් ධුරය ලබාගන්නා බිෂොප්වරුන් සභා භාෂාවෙන් හඳුන්වන්නේ “කුමාරවරු”(ර්‍ථපඪදජඥඵඵ) ලෙසයි.

ඒ අනුව බෞද්ධ ලංකාවට නැවතත් රතු පැළඳි රන් කුමාරයෙක් ලැබී ඇත. දිනක් නැසීගිය අතිගරු ජනාධිපති ප්‍රේමදාස මැතිතුමා, එවකට අගරදගුරු වූ (1990) අති උතුම් නිකලස් මාකස් ප්‍රනාන්දු මාහිමි බැහැදුටු අවස්ථාවේ හිටපු කාදිනල් බෙන්ජමින් කුරේ මාහිමියන්ගේ ඡායාරූපයක් බලමින් “අපටත් නව කාදිනල් තුමෙක් කවදා ලැබේදැයි?” ඇසීලු.

වසර 21ක හිඩැස පුරවමින් අද අති උතුම් දොන් ඇල්බට් මැල්කම් රංජිත් හිමිපාණෝ සිරිලක දෙවෙනි කාදිනල් ලෙස අභිෂේක ලබා ඇත. තම 63 වැනි උපන් දිනට (15දා) උන්වහන්සේට නව පදවිය යස තිළිණයකි. මෙතුමා ගැන මෙතෙක් පළ නොවූ වැදගත් විස්තර ටිකක් ලක්වාසීන්ගේ දැනගැනීම සඳහා මෙසේ සටහන් කරමි.

නව කාදිනල් හිමියන්ගේ මෙතෙක් ආ ගමන් මග සැරසූ මග සලකුණු පෙළගැසූ සැටි අපි බලමු. අද වතිකානු නුවර බබළවන මෙතුමා වසර දශක පහකට පමණ පෙර, ශුද්ධාශනයට පිවිසියේ අහම්බෙනි. එක්තරා කාලවකවානුවක දී (1958) ජාති කෝළහාල ඇතිවිය. මෙතුමාගේ මීසමේ පියතුමා ද්‍රවිඩ ජාතිකයෙක් වූයෙන්, තිබූ පරිසරය අනුව, එතුමාට දේවස්ථානයෙන් පිටවීමට සිදුවිය.

රදගුරුතුමා පල්ලිය වසා දමා, ඉරිදින මෙහෙය සඳහා පමණක් බොරැල්ලේ රදගුරු නිවසින් යැවීය. එක් ඉරිදාවක එහි ගියේ ගරු චාර්ල්ස් ද සූසා නමැති ද්‍රවිඩ සම්භවයක් ඇති පියතුමාය. මීසම්වාසීන් ඔහුට අකමැත්ත දැක්වීමට දෝ මෙහෙය වර්ජනය කළෝය. අල්තාරයට පිවිසි එතුමා පූජාවට උදව්වීමට ඉදිරියෙන් සිටි එක්තරා කුඩා පිරිමි ළමයෙකුට ඇරයුම් කළේය. ඒ දරුවා අද කාදිනල් ධුරය ලැබූ අතිඋතුම් මැල්කම් රංජිත් මිස, අනෙකකු නොවේ.

අතිපූජ්‍ය මැල්කම් රංජිත් හිමිපාණන්ගේ දිගු ගමන ගැන අනාගත වාක්‍යයන් වදාළ තිදෙනාට පූජක පක්ෂයේ අය වීම විශේෂ සිද්ධියකි. වසර 50කට පමණ පෙර, වන්නි දිස්ත්‍රික්කය හරහා දැඩි සුළි සුළඟක් හමා ගියේය. රජයේ නිල දරුවෙක් කුණාටුවෙන් වූ අලාභ, ජීවිත හානි ගැන පරීක්ෂණයක් සඳහා එහි ගොස් මඩු කඳවුරේ නවාතැන් ගැනීමට සිදුවිය. ඔහුගේ භාර්යාවත්, ඥාති පුතෙකුත් එහි ගියෝය.

දරුවා එවකට මඩු සිද්ධස්ථානය භාරව සිටි ගරු ඇල්ෆ‍්‍රඩ් මොයිල් (ජ්. ඒ. ර්ධභඪතතඥ) පියතුමාගේ දිනපතා පූජාවට උදව් විය. රාජකාරි අවසානයේ පියතුමාගෙන් සමුගැනීමට ගිය දවසේ එතුමා පුංචි මැල්කම්ට මඩු මෑණි ප්‍රතිමාවක් දෙද්දී, නැන්දා මෙසේ කීවාය. “පුතා ලොකුවුනාම ස්වාමි කෙනෙක් කරනවා අපි.” එවිට පියතුමා “ඔබ පූජකයෙක් වී පසුව රදගුරුකෙනෙක් ලෙස මෙහි පැමිණ මංගල්‍යය මෙහෙය පවත්වන ලෙස මා පතමි”යි කීය. හරියටම වසර හැටකට පමණ පසුව එතුමා ගිය වසරේ නිකිණි මංගල්‍යය පූජාව පැවැත්වූයේ අගරදගුරු පදවි ප්‍රාප්තියේ පළමු නිල ගමන ලෙසයි.

දෙවෙනි පෙර ප්‍රකාශයට පසුබිම මෙලෙස සඳහන් කළ හැක. මෙතුමා ගරු සහෝදරයෙකු ලෙස සිටි අවදියේ, (පූජාත්වරයට පෙර) ගරු ක්ලෝඩ් ලෝරන්ස් පියතුමා නව පූජක දෙපලක් සමඟ සාකච්ඡාවක යෙදී සිටිය දී මෙතුමා කථාව ඇසෙන දුරින් සිටියේය.

අගරදගුරු පදවියේ ප්‍රශ්නයක් ගැන වූ ඒ සාකච්ඡාව නිගමනයකින් තොරව අවසන් වෙද්දී ලෝරන්ස් පියතුමා මැල්කම් සහෝදරතුමා වෙත හැරෙමින් අපේ බ්‍රදර් පියතුමෙක් වී, අගරදගුරු පත්වීම ලැබූ පසු මේ ප්‍රශ්නය නිරාකරණය කරාවි” කීවේය.

එය ද අකුරටම ඉටුවිය. තෙවෙනි ප්‍රකාශය ගරුතර භික්ෂුන් වහන්සේ නමක් අතින් සිදුවීම විශේෂිත දෙයකි. රත්නපුර පදවි එඬේරා ලෙස රාජකාරියෙන් සමුගනිද්දී (රෝමයේ නව පදවියක් භාරගැනීම සඳහා) පැවැත් වූ උළෙලේ දී විශේෂ ආරාධිතයා වූ රත්නපුර ශ්‍රී විශුද්ධාරාමාධිපති පූජ්‍ය කෙසෙල්ඕවිටිගම තිස්ස හිමි එතුමාට ශුභාශිංසනය කළේ, “අපේ රදගුරුතුමා නැවත ලක්දිවට එන්නේ කොළඹ අගරදගුරු පදවි ලබා බව මට විශ්වාසයි” වදාළහ.

අද දේවධර්මාචාර්යවරයෙකු වූ අප කාදිනල් තුමා, එදා පාසැලේ දී ඔහුගේ පංතියේ (මගේ ඥාතියෙක්) ළමෙකුගෙන් මෙවැනි ප්‍රශ්නයක් ඇසීය. “අපි ශුද්ධගිනිස්ථානයට ඉංගී‍්‍රසියෙන් කියන්නේ මොකක්ද?” එදා එම ප්‍රශ්නය ඇසූ ඔහු අද ෂඩ්භාෂා පරමේෂ්වර තලය ද ඉක්මවා භාෂා 10ක් ප්‍රගුණ කළ විද්වතෙකි. අපේ නව කාදිනල් තුමා ඉතා නිහතමානි, කාගෙත් සිත් ඇදගැනීමේ භාග්‍ය හිමි, සමයාන්තර සහයෝගීතාව අගයන උත්තම පුරුෂ රත්නයකි.

එතුමා මගේ ගමේ (මෝදර) මගේ පාසැලේ (ද ලා සාල් විදුහල) පමණක් නොව, මගේ නමටත් නෑකමක් ඇති අයෙක් වීම මගේ භාග්‍යයක් ලෙස මම සලකමි. වතිකානුයේ සසුන් පියා අතින් එතුමා අද (21දා) නව දුරාවලිය ලබාගත් සේක. ආසියා මහද්වීපයෙන් තේරුණු එකම තැනැත්තා වූ මෙතුමා, කොළඹ පදවියේ 9 වෙනි පුදැදුරාණන් ලෙස පදවි ප්‍රාප්ත වූයේ 2009 නිකිණි 5 වෙනිදාය. එතෙර මෙතෙර පදවි කීපයක විවිධ තලවල සේවාවන්හි නියුක්ත වූ මෙතුමාගේ විචක්ෂණ බුද්ධියද, ප්‍රඥාව ද ;හ්තුවෙන් විශ්ව සභාවේ කැපී පෙනෙන පුද්ගලයකු ලෙස ඉදිරියෙන් සිටී.

කලක් “සෙත්සරණ” අදියුරු ලෙස සිටි මෙතුමා, ධර්මදානය පිළිබඳ සසුන් නියෝජන සම ලේකම්, විශ්වාස වර්ධන දූත සංගමයේ සභාපති, ඉන්දුනීසියාවේ අපෝස්තලිත තානාපති සහ දිව්‍ය සක්‍රමේන්තු විනය කමිටු මහලේකම් අද තනතුර පසුකරමින්, අද පාප්තුමාට පමණක් දෙවෙනි වූ ස්ථානයක සිටී. නොසත්‍රාදාමුස් (ව්ධඵබපචඤචථභඵ) නම් ප්‍රංශ ජාතිකයාගේ අනාවැකි කීපයක් දැනටමත් ඉටුවී ඇත. අවසන් යුගයේ පාප් පදවිය දරන්නේ යුරෝපා ජාතිකයෙක් නොවන බවට ඔහු අනාවැකියක් කියා ඇත. අප දැන් සිටින්නේ අන්තිම කාල වකවානුවේ බව ශු. බයිබලීය විශාරදයින්ගේ මතයයි. අනාවැකි ඉටුකිරීමේ ප්‍රවණතාවයක් ඇති අප නව කාදිනල්තුමා නොසත්‍රාදාමුස්ගේ අනාවැකියට හිමිකම් කියයි යනු මගේ ඒකායන විශ්වාසයයි. එතෙක් අපට කළ හැක්කේ නව කාදිනල් තුමාට දේවාශිර්වාදය පැතීමයි.


 

රතු පැළඳු අති උතුම් ආචාර්ය දොන් ඇල්බට්

මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණෝ...

දෙවිඳුන්ගේ රැළ තුළ යහපත් එඬේරකු වන ඔබ කෙරේ විශ්වාසය තබා තිබේ. දෙවියන් වහන්සේට ඔබව විශේෂ ආකාරයෙන් අවශ්‍ය කර තිබේ. කවරදාකටත් කවර කණ්ඩායමකටවත් එරෙහි නොවී ඒකාධිපතියකු නොවී සමස්ත රැළට ආදර්ශයක් වෙමින් ජේසු තුමන් අනුගමනය කළ යහපත් එඬේරාණෙනි, ඔබතුමන් මහිමයේ කිරුළ පැළඳ ඇත.

දෙමව්පියන්ගෙන් ලද ආභාෂය නිසාම දේවමාතාවන් කෙරෙහි සුවිශේෂී වූ භක්තියත් ආදරයත් මේ තාරුණ්‍යයේ සිටි පූජක සිසුවා තුළද පැවතිණි. 1965 මාර්තු මස 15 වන දින පූජකවරය පතා කොළඹ අගරදගුරු පදවියේ හදවත බඳුවූ බොරැල්ලේ සාන්ත ඇලෝසියස් කුඩා දෙව්සත්හලට ඇතුලු විය. හලාවත ස්වර්ගස්ථ වූ විශ්‍රාමික රදගුරු අතිඋතුම් ප්‍ර‍්‍රෑන්ක් මාකස් ප්‍රනාන්දු හිමි එවකට බොරැල්ල සාන්ත ඇලෝසියස් දෙව්සත්හලේ අධ්‍යක්ෂ පියතුමා ලෙස සිසු ලියාපදිංචි පොතට අලුත් නමක් එකතු කළේය.

1369 වන ලියාපදිංචි අංකයට අදාළව දොන් ඇල්බට් මැල්කම් රංජිත් මෝදර මීසමෙන් දෙව්සත්හළට ඇතුළත් විය යනුවෙයි. ඊට වසරකට පසුව එනම් 1966 ජුනි මස 04 දින කොළඹ විශ්‍රාමික අගරදගුරු අති උතුම් නික්ලස් මාකස් හිමි එම වසරේ දෙව්සත්හල් අධ්‍යක්ෂ පියතුමා ලෙසින් මෙලෙස සටහනක් තැබීය. එම පොතේම දොන් ඇල්බට් මැල්කම් රංජිත් පූජක සිසුවා අම්පිටිය ජාතික දෙව්සක්හලට ඇතුළත් කරන ලදී යනුවෙන් තැබීය.

නායකත්ව ගුණ

ජාතික දෙව්සත්හලේ තෙවසරක් දර්ශනවාදය හැදෑරූ අතර එහි අධ්‍යක්ෂව සිටි ගරු ඩැල්ස්ටන් තෝම්ස් පියතුමා මැල්කම් රංජිත් පූජක සිසුවා පිළිබඳව ලබා දී තිබූ වාර්තාවේ මෙසේ සඳහන් කරන ලදී.

“මැල්කම් රංජිත් සිසුවා පන්තියේ විශිෂ්ඨතම සිසුන් අතරින් කෙනෙකි. ශ්‍රේෂ්ඨයන් සමඟ විවෘතව හා අවංකව කටයුතු කරන නායකත්ව ගුණාංග සහිත අන්‍යයන් සමඟ හොඳින් මුහුවන්නට සමත්ය. යමක් ආරම්භ කර එය දියුණු කිරීමට අභිලාෂයක් පවතී. එහෙත් සමහර විටෙක යම් අධිවිශ්වාසයක් පවතින අතර අනාගතය පිළිබඳව මේ නිසාම යම් ස්ථිර සහතිකයකින් පසුවේ”

මෙතුමාණන්ගේ පූජක දිවිය ඇරඹීමත් සමඟම ද මේ දක්වාම ආරම්භ කළ සෑම ව්‍යාපෘතියක්ම ඉතාමත් සාර්ථකව පවතින්නටත් සීඝ්‍ර වර්ධනයකින් ව්‍යාප්තවන්නට හේතුවිය හැක්කේ මේ විශ්වාසය හා අභිලාෂයම වේ. මේ ව්‍යාපෘතීන් මුලු සිරිලක පුරාම හා ලෝකය තුළ ද අද ව්‍යාප්ත වී පවතිනුයේ ක්‍රියාකාරී ලෙසිනි.

1970 වර්ෂයේදී අගරදගුරු තුමන්ව සිටි කාදිනල් හිමිපාණන් විසින් මැල්කම් රංජිත් පූජක සිසුවා තුළ තිබූ අධ්‍යාපන හැකියාව වඩාත් මැනවින් වටහාගෙන දේව ධර්මය හැදෑරීම සඳහා රෝමයේ ලෝක පූජිත ශුද්ධෝත්තම පියතුමාගේ අධීක්ෂණයට අයත් වූ රෝමයේ උර්බානු සරසවියට යවන ලදී. අධ්‍යාපනික කටයුතු සාර්ථකව නිමාකළ මෙතුමා සයවන පාවුලු ශුද්ධෝත්තම පියාණන් විසින් 1975 වසරේ ජුනි 29 වන දින සාන්ත පීතර මහා බැසිලිකා දෙව් විමනේ දී පූජකවරය ලබා පසුව අති උතුම් කාලෝ මොන්ටිනි සහ වැනෝයි කාදිනල් හිමි උතුමන්ලාගෙන් බයිබලීය දැනුමද ප්‍රගුණ කොට තම පූජක මෙහෙවර සඳහා යළි සිය මව් රට බලා පැමිණියේය.

1978 වර්ෂයේ පමුණුගම මීසමේ සහයක පියතුමන් ලෙස පත්වී ධීවර ගම්මානයක් වූ කැපුන්ගොඩ කිතුණු සංඝයේ සේවය ඇරඹීය. ඉන්පසුව තවත් කිතුණු ධීවර ගම්මානයක් වූ පයාගල මීසම් පාලක ලෙස වැඩ බාර ගත්තේය. මෙහි වෙහෙසෙන මිනිසුන්ගේ හදගැස්ම මනාව හඳුනාගනිමින් ඔවුනගේ දිවි මගට සැබෑ අස්වැසිල්ලක් වූයේ ප්‍රායෝගික ව්‍යාපෘති ගණනාවක් දියත් කරමිනි.

අසරණ සරණ

මීසම් සේවයේ යෙදී සිටි කාලය තුළදී ජන ජීවිත සමාජයේ යම්කිසි ස්ථාවර තත්ත්වයකට ගෙන ඒම වෙනුවෙන්ම ඉටුකළ මෙහෙවර නිසා දුගී අසරණ ජනතාව අතර ඉමහත් ප්‍රසිද්ධියක්ම මෙතුමා ඉසිලීය. අන් අය කෙරෙහි හදපත්ලෙන්ම සංවේදීව ගෞරවය දක්වන මෙතුමා අගරදගුරු පදවියේ දුගී මගී අසරණ ජනතාව ආර්ථික අහේනියෙන් මුදවා තම දෙපයින් නැගී සිටින්නට හැකි ක්‍රමවේදයන් හඳුන්වා දුන්නේය. මෙම අපූර්වතම ගුණ දහම් සමුදාය වටහා ගත් එවකට අගරදගුරු වූ නික්ලස් මාකස් හිමිපාණන් පදවිය තුළ මානව සංවර්ධනය පිළිබඳව අධ්‍යක්ෂ ලෙස 1984 වසරේදී ගරු මැල්කම් රංජිත් පියතුමන් පත්කෙරිණි.

ඉන් අනතුරුව මානව සංවර්ධන කාර්යාලයක් ලෙස මේසයක් යතුරු ලියනයක් සහිතව ඉතා සුලුවෙන් ඇරඹි “සෙත්සරණ” ආයතනය ඉතිහාසයේ සටහන් වේ. මෙහි ප්‍රථම ව්‍යාපෘතිය වූයේ උතුරු නැඟෙනහිර යුද්ධයෙන් අවතැන් වූ සරණාගතයින් සඳහා අඩුපහසුකම් සහිත නිවාස තනාදීම හා ස්වයං රැකියා ලබාදීම ආරම්භ වීමයි. අන් අයගේ අවධානය සහ රැකවරණය සහ සහය ලැබිය යුතු දිළිඳුවූවන් සඳහා මෙන්ම ධීවර පවුල් නගාසිටුවීම සඳහා විශේෂ ව්‍යාපෘති රැසක් දියත්විණි. 1984 දී ඇරඹි මානව කාර්යාලය සඳහා සෙත්සරණ නම යෙදුනේද මෙතුමාණන්ගේ සහ එවකට රදගුරුව සිටි ඔස්වල්ඩ් ;ගීමිස් හිමිපාණන්ගේ අදහසකට අනුවය. ප්‍රේමය, සමාවදීම, සාමය සහ සමානාත්මතාවය යන සුවිශේෂීය වටිනාකම් මත පදනම් විය. ජාති ආගම් භේද නොතකා එම වටිනාකම් ජීවත් කරන්නා වූද ආරක්ෂා කර වර්ධනය කරන්නා වූද සාධාරණ ශ්‍රී ලාංකීය සමාජයක් ගොඩ නැගීමේ දර්ශනය පෙරමුණු කරගෙන ජේසුන් වහන්සේට සාක්ෂි දරමින් ආදරය, කරුණාව, දයාව යන කිතුණු වටිනාකම් මත ආත්ම විශ්වාසයෙන් යුතුව පූර්ණ මානව සංවර්ධනයක් ලඟාකර ගැනීමටයි.

1984 වර්ෂයේ දී ශ්‍රී ලංකාවේ ශුද්ධෝත්තම පියතුමාගේ ධර්මදූතාධාර සංගම් භාර ජාතික අධ්‍යක්ෂව සිටියේ ගරු මැල්කම් රංජිත් පියතුමාය. 1987 වර්ෂයේ තායිලන්තයේ බැංකොක් නුවර පැවති ආසියානු කලාපීය ධර්මදූත ළමා සමාජ අධ්‍යක්ෂවරුන් ගේ සමුළුවට ආරාධනා ලැබූ මැල්කම් රංජිත් පියතුමාගේ එම සහභාගිත්වයෙන් පසු ශ්‍රී ලංකාව තුළ ධර්මදූත ළමා සමාජය ගොඩනැගීමට එතුමා තුළ ආශාවක් ද අධිෂ්ඨානයක් ද ඇතිව සෙසු පියවරුන්ගේ අදහස් විමසූ එතුමා 1987 වර්ෂයේ දී අග භාගයේ දී අනුරාධපුර පදවියේ හිඟුරක්ගොඩ මීසම් ශාලාවේ දී ධර්මදූත ළමා සමාජ ප්‍රථම නායකත්ව පුහුණු කඳවුර පැවැත්විණි. ඒ තුළින්ම මුළු සිරිලක පුරාම පදවි 10 තුළටම ව්‍යාප්ත කිරීමේ කාර්යය මූල්‍ය වගකීම දැරුවේ ද මෙතුමාණන්ය.

ළමා ධර්මදූත සේවා

මෙතුමාගේ තවත් දැක්මක් වූයේ ධර්මදූත ළමා සජීවක සජීවිකාවන් පුරුදු පුහුණු කර සිය අධීක්ෂණය යටතේ කටයුතු කිරීමයි. ධර්මදූත ළමුන් ඒ සජීවක සජීවිකාවන් තුළින් පුරුදු පුහුණු වීමට සැලසූහ. එය එදා ඒ අයුරින්ම සිදුවිය. ධර්මදූත ළමා සමාජයට එතුමා දැක්වූ ආදරය කෙතරම් ද කීවොත් උන්වහන්සේ තම සුව පහසුකම්, කෑම බීම, නිදහස නොබලා ම ධර්මදූත ළමා සමාජ කටයුතුවලම නිරත වුණි. තමා ලද නිවාඩු දින වලදී හිමිදිරියේම කොතරම් දුර බැහැර පදවියක ස්ථානයකට වුවද ගොස් ළමා සමාජ ඒකක හා දිසා හෝ පදවි රැස්වීම් වලට සහභාගි වූහ. අතරමග දී හෝ උදේ දිවා ආහාරය වූයේ බටර් තවරාගත් පාන් පෙති දෙකක් හෝ සැන්ඩ්වීචස් දෙකක් පමණි. එය එතුමා විසින්ම සකස් කරගෙන වාහනය, මගේ මතකය අවදි කළහොත් කොළපාට ජීප් රථය එතුමා විසින්ම පදවාගෙන අද තරම් පහසුකම් නොමැති දුෂ්කර මාවත්වල දුෂ්කර වූ ප්‍රදේශවලට ගමන් කළ බැව් ආදරයෙන් බැතියෙන් සිහිපත් කරමි. එදා ඒ මැදිවියට වත් නොපත් ගරු මැල්කම් රංජිත් පියතුමාගේ මතකය ළමා ළපටි මනසේ ආදරණීයව සදාතනිකව රැඳී ඇති බව සතුටින් සටහන් කරමි. ඒ දූ පුතුන් අද ලොව දස දෙස බැබළෙන්නේ යහපත් වූ අධ්‍යාත්මයෙන් පිරි උගතුන් වියතුන් ලෙසිනි. එහි උපහාරය ද හිමිවිය යුත්තේ ද අප ආදර හිමිපාණන්ටමය. ජාතික අධ්‍යක්ෂ පියතුමා ලෙසට තම වගකීම් සාක්ෂාත් කරගනිමින් කුඩා සංගමයක් ලෙස ඇරඹී මෙය වර්තමානයේ ජාතික ව්‍යාපෘතියක් බවට පරිවර්තනය වී ඇත.

1995 දී රත්නපුර පදවියේ රදගුරු තුමන් වශයෙන් සිටියදී රදගුරු සමුළුවේ පොදු ලේකම් ධූරයන්, සාධාරණත්වයක් හා සාමය පිළිබඳ රදගුරු කොමිසමේ සභාපති ධූරයන් තුළදී එම කොමිසමේ උප සභාපති වශයෙන් කටයුතු කළ මන්නාරම් පදවියේ රදගුරු අතිගරු රායප්පු ජෝශප් හිමිපාණන් සමඟ එක්ව කොළඹ රජය හා සම්බන්ධව ද්‍රවිඩ කොටි සංවිධානය සාකච්ඡා මේසය වටා ඒකරාශී කිරීමට ද මෙතුමාණෝ මහත් වෙහෙසක් දැරූහ. එය සටන් විරාම දක්වා වර්ධනය කර බෞද්ධ භික්ෂූන් වහන්සේලා 26 නමක් කොටින්ගේ පාලන ප්‍රදේශය වෙත ගෙනගොස් ඒ තුළින් එතුමාණන් අපේක්ෂා කළේ භික්ෂුන් හා කොටීන් අතර තිබූ එදිරිවාදිකම් තුරන්කර යම්කිසි සාමකාමී වාතාවරණයක් ගොඩනැගීමටයි. තිරසාර වූ ආත්ම විශ්වාසයකින් යුතුව කිතුණු නායකයෙකු කළ මේ උතුම් ක්‍රියාව කිතුණුවන් වශයෙන් අප අගය ක යුතු ප්‍රශංසනීයම කටයුත්තකි.

අප දේශයෙහි සැබෑ සහජීවනයක් ඇතිකිරීමට නම් අන්තර් සාමාජික සබඳතා තිරසාර ලෙස සිදුකිරීමෙන් ආගම් – ආගම් අතර ඇති මතභේද සමනය කරන්නට හැකි බවය. ඒවාහි ප්‍රතිඵල විපුලය. මේ සියලු සිදුවීම් ඔස්සේ ම මෙතුමාණන් ප්‍රගුණ කොට තිබූ දැනුම් සම්භාරය නිසාමය. මැල්කම් රංජිත් රදගුරු තුමාණන් ශුද්ධාසනයේ වගකීම් දරන්නට තරම් පූර්ණත්වයක් ලබා තිබීම වටහාගත් ශුද්ධාසනය මුලින්ම රෝමයේ ධර්මදූත කටයුතු සම්බන්ධ නිකායේ අනුබද්ධ මහා ලේකම් තුමාණන් ලෙසද ඉන්පසුව ඉන්දුනීසියාවේ වතිකාන තානාපති උතුමන් ලෙසද පසුව රෝමයේ ජනවන්දනා සහ සක්‍රමේන්තු භාර කොමිසමේ මහා ලේකම් කටයුතු සපුරාලමින් සිටියදී කොළඹ අගරදගුරු පදවියේ ප්‍රධාන එඬේරාණන්ගේ තානාන්තරය ප්‍රදානය කළ හෙයින් ඉහත සියලු වගකීම් සමුදායෙන් හට සමුදෙන්නට එතුමාණන් හට සිදුවිය.

2009 වසරේ අගරදගුරු පදවියේ ඇරඹෙන යුගයේ නවයුගය අති උතුම් මැල්කම් රංජිත් හිමිපාණන්ගේ පත්වීමත් සමඟම නවෝදයක් උදා වූ බව කාහටත් නොරහසකි. ශ්‍රී ලංකාවේ දහම් නවෝදය තුළින් මේ වර්ෂය වන විට පදවි තුළ මීසම් තුළ සැබෑ අධ්‍යාත්මික පෝෂණයක් සිදුවෙමින් පවතී. ඒ සියල්ල තුළ මා දකිනුයේ දිළිඳුන්ගේ සහනයේ පියා ලෙස මෙතුමා සමානාත්මතාවයෙන් යුක්තව කළ කටයුතු වඩාත් අර්ථවත් ලෙස නිම කරන්නට හැකිවූ අයුරුයි. කෙතරම් උසස් නිලතල හෙබවුවද නිල කාර්යයන් තුළ මෙතුමාණන් කාර්යය බහුල වුවද සැහැල්ලු ලෙස සැමට එකසේ තම හද පත්ලෙන්ම නැඟෙනා නිර්මල වූ සිනහවෙන් පිරි වතින් යුතුව සංවේදීව දයාබරත්වයෙන් යුතුව සෑම අයෙකුවම පිළිගැනීම සහාය වීම අපේ ගිහි පැවිදි පූජක පරපුරටත් අප සැමටත් මහඟු වූ ආදර්ශයක් ලෙසිනුයි.

අති උත්තම මැල්කම් රංජිත් කොළඹ අගරදගුරු හිමිපාණන් ඇතුළු ලොව විවිධ රටවලින් නම් කරන ලද නව කාදිනල් හිමිපාණන් විසිහතර නම නොවැ. 20 වන දින ශ්‍රී ලංකා වේලාවෙන් ප.ව. 3.00ට වතිකානයේ සා. පීතර බැසිලිකාවේ දී අති උත්තම සොළොස්වන බෙනඩික් ශුද්ධෝත්තම පියතුමාණන් අතින් “බිරෙට්ටා” නමින් හැඳින්වෙන රතු හිස් වැසුම් පළඳනා ලබා ගත් කොළඹ අගරදගුරු අති උතුම් ආචාර්ය දොන් ඇල්බට් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණනි, මහ ප්‍රදැදුරාණෙනි, සදාතනිකවම නිර්මල වූ සිනහව පිරි වතින් මුළු සිරිලකම බබළවනු මැනවි...! නිරෝගිමත් සවිමත් දිගු දිවි ගමනට සුබාශිංසනය...!! ඔබ වහන්සේට නිදුක් නීරෝගී, චිරජීවනය පතමි...!


අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් අගරදගුරු හිමිපාණෝ- ජීවන තොරතුරු

සම්පූර්ණ නම - පටබැඳීගේ දොන් ඇල්බට් මැල්කම් රංජිත්

උපන් දිනය හා ස්ථානය - 1947 නොවැම්බර් 15 , පොල්ගහවෙල දී.

පියා - පටබැඳීගේ දොන් විලියම්

මව - හෙට්ටිආරච්චිගේ මේරි විනිෆී‍්‍රඩා

ප්‍රසාද ස්නාපනය ලැබීම - පොල්ගහවෙල ලුර්දු දේවමාතා දෙව්මැදුර.

ප්‍රාථමික අධ්‍යාපනයේ පළමු පාසැල - කොළඹ මෝදර ශා. අන්ද්‍රේ රෝමානු කතෝලික පාසල.

දෙවන පාසල සා.පෙළ දක්වා - මෝදර ද ලාසාල් මධ්‍ය මහා විද්‍යාලය.

පූජක වරම් ලබාගැනීම සඳහා පියනැගීම - පළමු අදියර - 1965 මාර්තු 15 දින ශා. ඇලෝසියස් කුඩා දෙව්සත්හල, බොරැල්ල.

දෙවන අදියර - 1966 ජුනි 04 දින අම්පිටිය මහනුවර ශ්‍රී ලංකා අප ස්වාමිදුවගේ ජාතික දෙව්සත්හල

තෙවන අදියර -1971 දී රෝමයේ උර්බානියානු සසුන් පිය දෙව්සත්හලට ඇතුළුවීම.

පූජකවරම් ලැබීම - 1975 ජුනි 29 දින අති උත්තම 6 වන පාවුළු ශුද්ධෝත්තම පියතුමා විසින් පූජක වරම් දානය කරන ලදී.

මව් බිමට පෙරලා පැමිණීම - 1978

පළමු පත්වීම - එවකට පමුණුගම මීසම පාලනාධිපති ගරු මොයිස් පියතුමාගේ මීසම් සහයක 1980 දක්වා

දෙවන පත්වීම - 1981 පයාගල මීසම් පාලක

තෙවන පත්වීම - 1983 කළුතර මීසම් පාලක

1980 සිට 1991 දක්වා වසර 11 ක සේවය කෙටියෙන්

. ධීවර අමාත්‍යාංශයේ ආධාර මත පමුණුගම කැපුන්ගොඩ බේරුවල ධීවරයන්ට ධීවර නිවාස හා දැල් ආම්පන්න සහනාධාර යටතේ ලබා දීම.

. ශාන්ත පීතර අපෝස්තුළුවරයාගේ සංගමයේ ජාතික අධ්‍යක්‍ෂ

. වින්සන් ද පාවුලා සමිති අධ්‍යක්‍ෂක

. අගරදගුරු පදවියේ මානව සංවර්ධනය පිළිබඳ අධ්‍යක්‍ෂක වශයෙන් කටයුතු කිරීම

. දේශීය පූජක පුහුණු අරමුදලක් ආරම්භ කිරීම

. ධර්මදූත ළමා සමාජ ස්ථාපිත කිරීම

. සෙත් සරණ ආයතනයේ ප්‍රථම නියමුවා වීම

. විවිධ රට රාජ්‍යය වලදී අති උතුම් දෙවන ජුවාම් සුදතුම් පියා වෙත දේව ජනතාව එල්ල කරන ලද ප්‍රශ්න අළලා එතුමන් විසින් දුන් පිළිතුරුර්‍ථර්‍ණර්‍ථඡ් ඒව්ඉඑඡ්අඉ නැමැති සුප්‍රසිද්ධ ග්‍රන්ථය සිංහලට නැගීම සඳහා ඉදිරිපත් වීම මින් සමහරකි.

රදගුරු අභිෂේකය - 1991 අගෝස්තු 31 වැනි දින අති උතුම් නිකලස් මාකස් ප්‍රනාන්දු කොළඹ අගරදගුරු හිමිපාණන් විසින් තේවත්ත ජාතික බැසිලිකා සිද්ධස්ථානයේදී රදගුරු වරම් ලබාගත්තේය.

සබරගමු පළාතේ නව රදගුරු හිමි - 1995 නොවැම්බර් 02 දින අලුතින් බිහිවූ රත්නපුර පදවියේ ආත්මික එඩේරාණන් හැටියට මෙතුමා තෝරා පත්කර ගන්නා ලදී.

රත්නපුර පදවියෙන් සමුගැනීම - 2001 ඔක්තෝම්බර් 01 දින

ශුද්ධාසනය මගින් විශ්ව කිතුනු මෙහෙවර සඳහා ඇරයුම් ලබයි.

2001 ඔක්තෝම්බර් අගදී රෝම නුවරට නැවතත් කැදවනු ලැබූ අති උතුම් මැල්කම් රංජිත් රදගුරුහිමිපාණන් වෙත 2 වන ජුවාම් පාවුළු ශුද්ධෝත්තම පියාණන් විසින් ජනතා ධර්ම දානය පිළිබඳ සසුන් නියෝජනයේ සම ලේකම් ධුරය පවරන ලදී. මෙවන් නිලයකින් පිදුම් ලද එකම ශ්‍රී ලාංකිකයා මෙතුමා වු අතර ආසියා අපි‍්‍රකා මහද්වීප වෙනුවෙන් මෙතුමා විසින් කරන ලද සේවා අති විශිෂ්ටය.

2004 අපි‍්‍රයෙල් 29 දින ඉන්දුනීසියාවේ සහ නැගෙනහිර ටිමෝරයේ අපෝස්තලික තානාපති වශයෙන් ද පත් කරනු ලැබිණි. මේ සමයේදී මැල්කම් රංජිත් රදගුරු හිමි උමරියාට්කෝහි නාමධාරී අගරදගුරු නිලයට උසස් කරන ලදී.

. 16 වෙනි බෙනඩික්ට් ශුධොතුම් පියාණන් විසින් තවත් උසස් නිලයකට පත්කරයි.

2005 දෙසැම්බර් 10 දින අති උතුම් 16 වන බෙනඩික්ට් සසුනිසුරාණන් විසින් මෙතුමා ජනවන්දනාව හා සක්‍රමේන්තු කටයුතු පිළිබඳ සසුන් නියෝජනයේ සම ලේකම්ධූරයට ඔසවන ලදී.

.පෙර අපර දෙදිග භාෂා කීපයක් කතා කිරීමේ හා ලිවීමේ මහඟු හැකියාවක් අප නව අගරදගුරු හිමිපාණන් සතුව ඇති බවද කිව යුතුය.

. අති උතුම් දේවධර්මාචාර්ය පී. දොන් ඇල්බට් මැල්කම් රංජිත් කොළඹ පදවියේ 9වන අගරදගුරු හිමිපාණන්ගේ පදවි ප්‍රාප්තිය 2009 අගෝස්තු 05 දින කොටහේන ශා. ලුසියා ආසන දෙව්මැදුරේදී සිදුකෙරිනි.

. 2010 ඔක්තෝම්බර් 24 වන ශුද්ධොත්තම පියතුමන් විසින් අති උතුම් මැල්කම් රංජිත් අගරදගුරු හිමිපාණන් කාදිනල්වරයට එසවීමට - වතිකානුවේ සිට ප්‍රකාශ කිරීම.

2010 නොවැම්බර් 20 වන දින කාදිනල් හිස්වැසුම ප්‍රදානය සමගින් සාන්ත පීතර බැසිලිකාවේදී අති උතුම් මැල්කම් රංජිත් අගරදගුරු හිමිපාණන් කාදිනල්වරයට පත්වීම.

. 2010 නොවැම්බර් 21 වන දින පෙ.ව. 09.30ට එතුමන් සාන්ත පීතර බැසිලිකාවේදී ශුද්ධෝත්තම පියතුමන් සමඟ හවුල් දිව්‍ය යාගයට සහභාගී වීම.

. 2010 නොවැම්බර් 23 වන දින එතුමන් ශ්‍රී ලාංකික ජනතාව වෙනුවෙන් දිව්‍ය පූජාව පැවැත්වීම.


කාදිනල් ධුරයෙන් පිදුම් ලබන හෙළ පුත් රුවන

ලෝකය පුරා විසිරී පැතිරී සිටින කෝටි සංඛ්‍යාත කතෝලික ළබ්ධිකයන්ගේ අසහාය සහ එකම දුර්ශමාන නායකයා වන්නේ ශුද්ධෝත්තමපියාණෝය. මෙතුමාට උපදෙස් දීමට සහ පරිපාලනය වශයෙන් සහය වීමට උත්තරීතර කාදිනල් මණ්ඩලයක් සිටී. මේ කාදිනල් මණ්ඩලයේ දැනට සාමාජිකයන් 180 ක් සිටින අතර ඔවුන් අතරින් වයස අවුරුදු 80ට අඩු කාදිනල්වරු 120 දෙනෙක් ශුද්ධෝත්තම පියතුමන් පත් කර ගැනීමේ කාර්යභාර්යට සහභාගි වෙති. මෙම කාර්දිනල්වරු ලොව පුරා පැතිරී සිටින විවිධ භාෂා කථා කරන විවිධ ජාතිවලට අයත් වූවන් වෙති.

ශුද්ධොත්තමපියතුමාගේ අභිප්‍රායට අනුකූලව අවස්ථානුකූලව කලින් කලට එතුමෝ මෙ කාදිනල්වරු පත් කරති. මෙවර 2010 ඔක්තෝම්බර් මස 20 වන බදාදා දින ශුද්ධෝත්තමපියාණෝ නව කාර්දිනල්වරු 24 දෙනෙකු පත් කරන ලදී. ඔවුන් අතරින් ආසියාවෙන් නම් කරන ලද එකම කාදිනල්තුමා වූයේ ශ්‍රී ලංකාවේ බස්නාහිර පළාතේ මහ පුදදුරාණන් වන අති උතුම් දෙව්දහම් විශාරද ආචාර්ය දෙන් ඇල්බට් මැල්කම් රංජිත් මාහිමිපාණෝය.

විශ්‍රාමලත් දුම්රිය ස්ථානාධිපතිවරයකු වූ නැසීගිය පටබැඳිගේ දොන් විලියම් සහ නැසීගිය හෙට්ටිආරච්චිගේ මේරි විනිප්‍රඩ් යුවළගේ කුළුඳුල් හා එකම පුත් රුවන ලෙස 1947 නොවැම්බර් මස 15 නව දින දොන් ඇල්බට් මැල්කම් රංජිත් කුල කුමරුවා මෙලොව එළිය දැකීමේ වරම් ලැබීය. පොල්ගහවෙල ලූර්දු දේවමාතා දෙව්මැදුරෙන් ප්‍රසාද ස්නාපනය ලද මැල්කම් රංජිත් කුමරුවා කොළඹ 15 සාන්ත අන්ද්‍රේ රෝ. ක. පාසලින් තම ප්‍රාථමික අධ්‍යාපනය හැදැරිය. 5 වන ශ්‍රේණියේ සිට අ.පො.ස. (සා.පෙ) දක්වා මෝදර ද ලාසාල් මධ්‍ය මහා විදුහලින් අධ්‍යාපනය ලැබූ අතර ද ලාසාල් මහා විදුහලින් අධ්‍යාපනය ලබන අවධියේදී ඔහු එහි පූජා සහයක සමිතියේ සාමාජිකයකු ද විය. දෙමාපියන්ගේ අභාසය නිසා මැල්කම් රංජිත් සිසුවා තුළ දෙව් මවුන්ට විශේෂ භක්ති ආදරයක් විය.

දේව කැඳවීම

මේ නිසාම තම සහෝදර සිසුන් සංවිධානය කොට ගෙන සෑම වසරකම මඩු හා තලවිල සිද්ධස්ථාන වෙත වන්දනා ගමන් යෑමට ඔහු පුරුදු වී සිටියේය. මේ වන්දනා ගමන් වලදී ස්වර්ගස්ථ වී වදාළ රදගුරු අති උතුම් ප්‍රෑන්ක් මාකස් හිමිපාණන් කීප විටක්ම මුණ ගැසීමට ඔහුට අවස්ථාව ලැබුණි. එතුමා සමග කථාබස් කිරීම නිසා ඔහු තුළ දේව කැඳවීමේ බීජය රෝපණය වූ බව පැවසේ.

එසේම පාසල් රජයට පවරා ගන්නා අවස්ථාවේදී පාසල් සිසුවකු වශයෙන් මැල්කම් රංජිත් සිසුවා තම වැඩිහිටියන් සමග උරෙනුර ගැටී විරෝධතා පෙළපාලිවලට සහභාගි විය. අ.පො.ස (උ.පෙ) හැදෑරීම සඳහා ඔහු පසුව කොටහේනේ සාන්ත බෙනදික් විදුහලට ඇතුළුවිය. නිතරම මුවග රැඳී සිනා රැල්ල නිසාත්, අධ්‍යාපනයේ දක්ෂයකු වූ නිසාත්, නිතරම අන් අයගේ අවශ්‍යතාවයන් සොයාබැලූ නිසාත් ඔහු පාසල් සිසුන් අතර ජනපි‍්‍රයම සිසුවා විය.

දෙව්සත්හල් ජීවිතය

එවකට ලුණු පොකුණ මීසම් සේවක සිටි ස්වර්ගස්ථ වූ ගරු එච්. දොන් ඇන්සලම් පියතුමන්ගේ මග පෙන්වීම යටතේ තරුණ මැල්කම් රංජිත් 1965 මාර්තු මස 15 වන දින පූජකවරයා පතා කොළඹ පදවියේ හදවත බඳු බොරැල්ලේ සාන්ත ඇලෝසියස් කුඩා දෙව්සත්හලට ඇතුළු විය. තමා තුළ දෙව් කැඳවීමේ බීජය රෝපණය කළ ස්වර්ගස්ථ වී වදාළ සලාපුර රදගුරු අතිඋතුම් ප්‍රෑන්ක් මාකස් හිමිපාණන් එවකට එහි අධිපති විය.

මැල්කම් රංජිත් පූජක සිසුවා දෙව්සත්හලට ඇතුළු වී නොබෝ දිනකින් ප්‍රෑන්ක් මාකස් හිමිපාණන් සලාපුර රදගුරු වශයෙන් පත්වී ගිය බැවින් කොළඹ විශ්‍රාමික අගරදගුරු අති උතුම් නිකලස් මාකස් හිමි දෙව්සත්හල් අදියුරු තනතුරට පත්විය. විශ්‍රාමික කොළඹ රදගුරු අති උතුම් ඔස්වල්ඩ් ගෝමස් හිමි එවකට දෙව්සත්හලේ භාණ්ඩාගාරික වූ අතර මැල්කම් රංජිත් පූජක සිසුවාගේ ආත්මික පියා ද විය. මැල්කම් රංජිත් වසරක පමණ කාලයක් මෙම කුඩා දෙව්සත්හලේ අධ්‍යාපනය ලැබීය.

ඉන් පසුව හපුතලේ සුන්දර, රමණීය පරිසරයක පිහිටි සාන්ත එමාඩ් දෙව්සත්හල වෙත යනු ලැබූ මොහු එහි මාස කිහිපයක පුහුණුවීමෙන් පසු 1966 ජුනි මස 04 වන දින දර්ශනවාදය හැදෑරීම සඳහා, ශ්‍රී ලංකාවට පූජක පුතුන් බිහි කරන තෝතැන්න වන මහනුවර, අම්පිටියේ පිහිටි ශ්‍රී ලංකා අප ස්වාමිදුවගේ ජාතික දෙව්සත්හල වෙත යවනු ලැබීය. වසර 4 ක් දර්ශනවාදය හැදෑරීමෙන් පසු සමාජ අත් දැකීම් ලබා ගැනීම සඳහා ඔහු වසර 2ක කාලයක් සඳහා දෙව්සත්හලින් සමුගෙන සමාජය වෙත පිය නැගීය. මෙම වසර 2 ක තුළ ඔහු කොළඹ ‘ සෙඩෙක්’ ආයතනයේ ක්ෂේත්‍ර නිලධාරියෙකු වශයෙන් ද කෝට්ටේ සාන්ත තෝමස් විදුහලේ ආචාර්ය වරයෙකු වශයෙන් ද සේවය කළේය.

සාන්ත තෝමස් විදුහලේ ගුරුවරයකු වශයෙන් සේවය කරන අවධියේ දී කුඩා දරුවන්ගේ ජීවිතවලට වඩාත් සමීප වීමට ඔහුට හැකිවිය. කුඩා දරුවන්ට විශේෂ ආදරයක් දැක්වීමට මෙම කාලය තුළදී පුරුදු වූ මොහු පසුව කුඩා දරුවන්ගේ යහපත සඳහා විශේෂ ව්‍යාපෘතීන් කිහිපයක් ඇරඹීමට ද මූලික විය. මේ වසර 2ක අවසානයේ දී සමාජ අත්දැකීම් රැසක් කරපින්නා ගෙන ඔහු නැවතත් දෙව්සත්හලට ඇතුළු විය.

මැල්කම් රංජිත් පූජක සිසුවාට රන් වන් අනාගතයක් ඇති බව ඉවෙන් මෙන් දැනගත් එවකට කොළඹ අගරදගුරුව සිටි ස්වර්ගස්ථ වූ අති පූජ්‍ය තෝමස් කාදිනල් කුරේ හිමිපාණන් විසින් මෙතුමාව දේව ධර්මය හැදෑරීම සඳහා රෝමයට යවන ලදී. රෝමයෙ දී පූජක පුහුණුව අවසන් කළ මෙතුමා 1975 ජුනි මස 29 වන දින එවකට කතෝලික සභා සසුනිසුරාණන් ව සිටි 6 වන පාවුළු සුද්‍රෙතුම් පියාණන් අතින් පූජකවරය ලැබීය. ඉගෙනීමට ඇති හැකියාව නිසාම පූජක වරයෙක් පසුව රෝමයේම නැවතී ශුද්ධ ලියවිල්ල හැදෑරීමට කාදිනල් තුමා මෙතුමාට නියම කළේය. පසුව ශුද්ධ ලියවිල්ල පිළිබඳව පශ්චාත් උපාධිය දිනාගැනීමෙන් පසු 1978 දී තම නිජබිම වන ශ්‍රී ලංකාවට සැපත් විය.

ශ්‍රී ලංකාවට පැමිණිමෙන් පසු ගරු මොයිස් පියතුමා යටතේ පමුණුගම මීසම් සහයක වශයෙන් මෙතුමාව පත් කරන ලදී. එතැනින් 1980 දී කළුතර පලාතොට ‘ දහම් සෙවන’ දෙව්සත්හලේ ආත්මික අධ්‍යක්ෂ වශයෙන් පත් කළේය. 1981 දී පයාගල මීසම් සේවක වශයෙන් ද 1983 දී කළුතර මීසම් සේවක වශයෙන් ද මෙතුමා පත්වීම් ලැබීය. කළුතර දිස්ත්‍රික්කයට මෙතුමාගෙන් සිදුවූයේ අමිල සේවයකි.

ලංකා බැංකුවෙන් ආධාර ලබාගෙන ධීවරයන්ට පයිබර් ග්ලාස් බෝට්ටු බෙදා දීමේ ව්‍යාපෘතියක් මෙතුමා ඇරඹීය. අද මෙය ශ්‍රී ලංකාව පුරාම ධීවර අමාත්‍යාංශයෙන් ව්‍යාප්ත කොට ඇත. හිසට සෙවනක් නැති අයට නිවාස තනා දීමේ ව්‍යාපාරයක් දියත් කළ මෙතුමා අද වන විට නිවාස දහස් ගණනක් තනා නිම කොට දුප්පතුන්ට භාර දී ඇත. මෙවැනි සමාජ සුභ සාධක වැඩකටයුතු රාශියක් දියත් කළ මෙතුමාගෙන් වූ සේවාව ගැන එම ප්‍රදේශවල ජනතාව අදත් සතුටු කදුළු පිරි දෙනෙතින් යුතුව කතා කරති.

1983 දී සාන්ත පීතර අපෝස්තුළු තුමාගේ සංගමයේ ජාතික අධ්‍යක්ෂ වශයෙන් මෙතුමා පත් වීම ලැබ අගරදගුරු පදවියේ වින්සන් ද පාවුලා සංගමයේ පදවි අධ්‍යක්ෂක හා අගරදගුරු පදවියේ මානව සංවර්ධනය පිළිබඳ අධ්‍යක්ෂ වශයෙන් ද එකවර පත්වීම් ලැබීය. සාන්ත පීතර අපෝස්තුළු තුමාගේ සංගමයේ ජාතික අධ්‍යක්ෂ වශයෙන් එතුමාගෙන් සිදුවු මෙහෙවර ප්‍රශංසනීය ය.

දේශීය පූජකවරුන් පුහුණු කිරීම සඳහා දේශීය අරමුදලක් පිහිටුවීමට මෙතුමා මූලික විය. අද දුප්පත් පොහොසත් බේදයකින් තොරව මෙම අරමුදල සඳහා කතෝලිකයෝ දායක වෙති. ශ්‍රී ලංකාව ධර්මද්වීපයක් බව හොඳින් වටහා ගත් මැල්කම් රංජිත් පියතුමා ධර්ම දාන කටයුතු සඳහා තම කාලයෙන් වැඩිකොටසක් කැප කළේය. අනාගත ශ්‍රී ලංකාවට කිතු සමිඳුන් හඳුන්වා දීමට නම් වත්මන් බාල පරපුර ධර්මදූතයන් වශයෙන් පුහුණු කළ යුතු බව මනාව අවබෝධ කරගත් මෙතුමා ඇත අතීතයේ සිටම පැවත එන බාලපරායේ සමිති නවීකරණය කොට ධර්ම දූත ළමා සමාජ වශයෙන් සංවිධානය කළේය. අද ශ්‍රී ලංකාව පුරා මෙම ධර්ම දූත ළමා සමාජ වල ශාඛා 2000 ක් පමණ ඇත. මෙතුමා මෙම ධර්ම දූත ළමා සමාජ නියාමකයන් පුහුණු කිරිමෙහිලා පෞද්ගලිකවම නියළුනි. මෙම ධර්ම දූත ළමා සමාජ එතුමාගේ හදවත බඳුය.

අගරදගුරු පදවි මානව සංවර්ධන අධ්‍යක්ෂ වශයෙන් මෙතුමාගෙන් වූ සේවය විශිෂ්ටය. කොළඹ අගරදගුරු පදවිය තුළ වෙහෙසෙන දුගී දුප්පත් අයගේ ජීවන තත්ත්වය නංවාලීමේ පරම අධිෂ්ඨානයෙන් යුතුව ‘ සෙත් සරණ ‘ ආයතනය මෙතුමන් විසින් ආරම්භකරන ලදී. මෙමගින් නිවාස නැති අයට නිවාස තනා දීමත්, රැකියා නැති අයට ස්වයං රැකියා ආරම්භ කිරීමට උදව් කිරීමත් විශේෂයෙන් සඳහන් කළ යුතුය. කුසට ආහාරයක් නැති, හිසට සෙවණක් නැති, ගතට ඇඳුමක් නැති නොයෙක් අය මෙතුමා සොයා පැමිණියත් කිසිදා ඔවුන් හිස් අතින් ආපසු ගියේ නැත. හැඬු කඳුලින් මෙතුමා වෙත පැමිණි සෑම කෙනෙක්ම සිනාමුසු මුහුනෙන් ආපසු තමන්ගේ නිවස්වලට ගියෝ ය. ඒ අන්කිසි දෙයක් නිසා නොව තමන්ගේ අවශ්‍යතාවයන් සපිරුණු බැවිනි.

මෙතුමා තරම් ලොව දසදෙස සංචාරය කර ඇති තවත් පියනමක් ශ්‍රී ලංකාවේ නැත. මෙතුමා නොගිය රටක් නැත. ඒ සෑම රටකදීම මෙතුමාව සාදරයෙන් පිළිගැනුනි. මෙතුමා මේ එතෙර සංචාරවල යෙදුනේ සම්මෙලන සාකච්ඡා ආදියටය. විශේෂයෙන් ශ්‍රී ලංකාවේ ධර්ම ප්‍රචාරයට ඒ ඒ රටවලින් සොයාගත් මුදල් සම්භාරය අතිමහත්ය. තමන් ලද සෑම මුදලක්ම තමන්ගේ පෞද්ගලික සැප සඳහා යොදා නොගෙන සමාජ සංවර්ධනය සඳහා යෙදවීම අප කාටත් ආදර්ශයකි. භාෂා නවයක් චතුර ලෙස කතා කරීමට හා ලිවීමට හැකි මෙතුමාට තවත් භාෂා තුනක් පමණ ලිවීමට හැකියාව තිබේ.

මේ අවධිය වන විට මෙතුමා කොළඹ අගරදගුරු පදවියේ පූජක උත්තරීතර මණ්ඩලයේ සමාජිකයකු හා අගරදගුරුතුමාගේ උප දේශක මණ්ඩලයේ සාමාජිකයකු වශයෙන් ද සේවය කළේය. මෙතුමා මුළු මහත් පූජක වරුන් අතර පමණක් නොව සමස්ත ගිහි ජනතාව අතර සුපතළ පිය නමකි. මෙතුමා තම පූජක දිවියේ කාර්්‍ය භාරය හොඳ හැටි වටහාගෙන එම කටයුතු නිසි අයුරින් ක්‍රියාත්මක කළ නිහතමානී ආදර්ශවත් සංවරශිලි පූජකයෙක් විය.

වර්ෂ 1991 ජුනි මස 17 වන දින කපර්සුස්සිහි නාමධාරි කොළඹ සහයක රදගුරුතුමන් වශයෙන් ස්වර්ගස්ථවී වදාළ දෙවන ජුවාම් පාවුළු සුදොතුම් පියාණන් විසින් නම් කරනු ලදුව 1991 අගෝස්තු මස 31 වන දින එවකට කොළඹ අගරදගුරුව සිටි දැනට විශ්‍රාමික අගරදගුරු අති උතුම් නිකලස් මාකස් ප්‍රනාන්දු හිමිපාණන් අතින් තේවත්ත ශ්‍රී ලංකා අප ස්වාමිදුවගේ සිද්ධස්ථානයේදී රදගුරු වරම් ලබා අභිසෙස් ගැන්විණි.

මෙතුමාගේ පත්වීමත් සමඟම කොළඹ අගරදගුරු පදවියේ ධර්මදාන සහ ධර්මදූත ක්‍රියාදාමය මෙතුමාගේ අධීක්ෂණයට පත් කෙරිණි. ඒ අනුව පදවියේ ගරු පියවරුන් දසනමකගෙන් සමන්විත කණ්ඩායම් දෙකක් වශයෙන් වෙන්කර අතරමංවූ අසරණ වූ බැටළුවන් සොයා යාමට මෙතුමා වෙර දැරීය. ශ්‍රී ලංකාවේ අපොස්තුළුවරයා යැයි නම් ලත් භාග්‍යවත් ජුසේවාස් මුනිඳුන්ගේ පා සෙවණ ලද කැලණි ගං මිටියාවත තෝරාගෙන මිශ්‍ර විවාහ නිසා දහම නොඅදහන සභාවෙන් ඈත් වී සිටින අය සොයා ගොස් කිතු සමිඳුන් නැවත ඔවුනට හඳුන්වා දී යහපත් කතෝලික දිවි පෙවෙතක් ගත කිරීමට අවශ්‍ය කටයුතු සැලසීය. අනාගත සභාව රැඳී ඇත්තේ කුඩා දරුවන් මත බව මෙතුමා හොඳින් වටහාගෙන තිබුණි. ඒ නිසාම කුඩා දරුවන්ගේ දහම් පිපාසය සන්සිඳුවාලමින් ධර්මදූත ළමා සමාජ ප්‍රතිස්ථාපනය කිරීමට කටයුතු කළේය. මෙසේ කොළඹ අගරදගුරු පදවියේ සෑම දෙනාගේම පැසසුම් ලබමින් තම සේවාව ඉටු කළේය.

සබරගමුව පළාත සිරිලක දකුණු පළාතෙන් වෙන්කොට නව රදගුරු පදවියක් බවට පත් කිරීම සිදුවූයේ 1995 වසරේදීය. මෙම නව රදගුරු වසමේ පළමු රදගුරුතුමා ලෙස 1995 නොවැම්බර් මස 02 වන දින පදවි ප්‍රාප්ත වූ මෙතුමා රත්නපුර පදවියට මුතු ඇටයක්ම විය. සබරගමු පළාතේ අන්‍යාගමික නායකයන් සමඟ ඉතා කිට්ටු සමීප සබඳතාවයක් පවත්වා ගනිමින් ආගමික සහජීවනයක් ඇතිකරලීමට මෙතුමා කටයතු සැලසුම් කළේය. මෙම නව පදවිය සඳහා දර්ශනීය වූ රදගුරු මැදුරක් ඉදිකිරීමට මෙතුමා කටයුතු කළේය. පදවි ධර්මෝපදේශ මධ්‍යස්ථානය මෙතුමාගේ සේවාව විදහාපාන තවත් කැඩපතක් වේ. සබරගමු පළාතේ ඉදි වූ නව දෙව්මැදුරු රාශිය මීසම් ගෘහයන් ඇතුළු අනෙකුත් ගොඩනැඟිලි මෙතුමාගේ සේවාවේ සිහිවටන වේ.

විශ්ව කිතුනු සභා මෙහෙවර

2001 ඔක්තෝම්බර් මස සිට විශ්ව කිතු සසුනේ සේවය සඳහා මෙතුමාව රෝමයට කැඳවනු ලැබීය. මෙතුමාව ශුද්ධාසනයේ ධර්මදානය සහ ධර්මදූතික කාර්යංශයේ සම ලේකම් ධුරයට 2 වන ජුවාම් පාවුළු සුදතුම් පියාණන් විසින් පත් කරන ලදී. මෙම ධුරයෙන් පිදුම්ලත් එකම ශ්‍රී ලාංකිකයා වන ;මතුමා ආසියා සහ අපි‍්‍රකානු මහද්වීප වෙනුවෙන් කර ලද සේවය ප්‍රශංසනීය ය. අමිලය.

2004 අප්‍රේල් මස 29 වන දින ඉන්දුනීසියාවේ අපෝස්තලික තානාපති වශයෙන් කටයුතු කළ මෙතුමා නැගෙනහිර තිමෝරයේ අපෝස්තලික තානාපති වශයෙන් ද සේවය කරනු ලැබීය. මේ වකවානුවේදී මෙතුමාව උම්රියාටිකෝහි නාමධාරි අගරදගුරු නිලයට උසස් කරන ලදී.

දෙවන ජුවාම් පාවුළු සුදතුම් පියාණන්ගේ ස්වර්ගස්ථ වීමෙන් අනතුරුව එම තනතුරට ඔසවනු ලැබූ 16 වන බෙනඩික්ට් සභා සනිසුරාණන් විසින් නැවත මෙතුමාව රෝමයට කැඳවනු ලැබ 2005 දෙසැම්බර් මස 10 වන දින සිට ක්‍රියාත්ක වන පරිදි සාන්ත සභාවේ ජනවන්දනාව සහ සක්‍රමේන්තු කටයුතු පිළිබඳ ශුද්ධාසන කාර්යාංශයේ මහ ලේකම් ධුරයට පත් කරන ලදී. මෙම තනතුරට පත් කරනු ලැබූ එකම ශ්‍රී ලාංකීකයා ද මෙතුමාය. මේ සමයේදී මෙතුමා ජනවන්දනාව පිළිබඳව වැදගත් සන්ධිස්ථානයකට සභාව ගෙන ඒමට කටයුතු කළේය. ශුද්ධෝත්තම පියතුමා සමඟ අත්වැල් බැඳගෙන ජනවන්දනාවේ වෙනස්කම් රාශියක් ඇති කිරීමට මෙතුමා කටයුතු කළේය.

බස්නාහිර පළාත් අගරදගුරුතුමා තම සේවයෙන් විශ්‍රාම යෑම හේතුකොටගෙන ඇති වී ඇති පුරප්පාඩුව සඳහා එනම් බස්නාහිර පළාත් අගරදගුරු තුමන් වශයෙන් 2009 ජුනි මස 16 වන දින 16 වන බෙනඩික්ට් ශුද්ධෝත්තම පියාණන් විසින් මෙතුමාව එම නිලයට පත් කරන ලදී.

පුනර්ජීවයක්

පුරා වසර 1 1/2 ක කාලයක් තුළ කොළඹ අගරදගුරු පදවියේ පුනර්ජීවයක් ඇති කරලීමට මෙතුමා සමත් විය. රාජ්‍ය තාන්ත්‍රික සබධතාවයන් ගොඩනගා ගනිමින් ජාතික ප්‍රශ්නවලදී සෘජුව කටයුතු කිරීමට මෙතුමා සමත් විය. ආර්ථික වශයෙන් කොළඹ අගරදගුරු පදවිය සවිමත් කිරීමට ද මෙතුමා මහත් වෙහෙසක් ගත්තේය. ජනවන්දනාවට මුල් තැනක් දෙමින් ජනවන්දනාව අර්ථාන්විත කිරීමට මෙතුමා ගත් උත්සාහය සුළු පටු නොවේ. දිව්‍ය සත්ප්‍රසාදය වටා තම බැටළු රැල එකමුතු කිරීමට මෙතුමා උත්සුක විය. 2010 සැප්තැම්බර් මසින් පටන් ගෙන 2011 සැප්තැම්බර් මස දක්වා වූ වසර “ දිව්‍ය සත්ප්‍රසාදය තුළින් නවෝදයක් කරා “ යන තේමාව යටතේ දිව්‍ය සත්ප්‍රසාද වසරක් ප්‍රකාශයට පත් කර දිව්‍ය සත්ප්‍රසාදය පිළිබඳ ව දැනුවත් කිරීමට සාකච්ඡා / සම්මන්ත්‍රණ පැවැත්වීමටත් දිව්‍ය සත්ප්‍රසාදය වටා ජනතාව එකමුතු කිරීමටත් මේ කෙටි කාලසීමාව තුළ මෙතුමා මහත් වෙහෙසක් ගත්තේය.

2010 නොවැම්බර් මස 20 වන දින සහ 21 වන යන දෙදින 16 වන බෙනඩික්ට් ශුද්ධෝත්තම පියතුමන්ගේ ප්‍රධානත්වයෙන් රෝමයේ වතිකානු නුවර පැවැත්වෙන විශේෂ දේවමෙහයන්හීදී මෙතුමා නිල වශයෙන් තම කාදිනල් ධුරයේ වගකීම් භාර ගැනීමට නියමිතය. 2010 නොවැම්බර් මස 20 වන දින පැවැත්වෙන ප්‍රධාන දේව මෙහෙයේදී “ බිරැට්ටාව“ නැමති නිළ හිස් පළදානාව ලබා ගැනීමට නියමිතය. ( බිරැට්ටාව යනු අටපට්ටම් හිස් වැස්මකි. මෙය රක්ත වර්ණය ) නොවැම්බර් මස 21 වන දින පැවැත්වෙන දේව මෙහෙයේදී රෝමයේ දෙව්මැදුරක නාම මාත්‍රික භාරකාරත්වය ලබා දෙනු ඇත. ( මීසම් සේවක පියතුමෙකුට මීසමක් භාරවන්නාසේම - රදගුරුතුමෙකුට රදගුරු වසමක් භාර වන්නාසේම කාදිනල් වරයෙකුට ද රෝමයේ දෙව්මැදුරක නාමමාත්‍රික භාර කාරත්වය ලබා දෙනු ඇත.)

භාෂා විශාරදයෙකු, ආචාර්යවරයෙකු සහ ශ්‍රේෂ්ඨයෙකු, ජනතා සේවකයෙකු වශයෙන් තම ජීවිතය පුරා ලද අත්දැකීම් සම්භාරයක් කරපින්නාගෙන කතෝලිකයන් බහුතරයක් වෙසෙන ශ්‍රී ලංකාවේ එකම අගරදගුරු පදවියේ නියමුවාණන් වීම ශ්‍රී ලාංකීක කතෝලිකයන් ලැබූ භාග්‍යයකි. වාසනාවකි.

ශ්‍රී ලංකා ඉතිහාසයේ නව පිටුවක් පෙරළමින් ශ්‍රී ලංකාවේ දෙවන කාදිනල් පදවියෙන් පිදුම් ලද එසේම මෙවර ආසියාවෙන් නම් කරන ලද එකම කාදිනල් පූජක උතුමාණෙනි, ලෝක ඉතිහාසය වෙනස් කරමින් ආසියාවෙන් බිහිවන පළමු වන ශුද්ධෝත්තම පියාණන් වීමේ වාසනාව ඔබට ලැබේවායි පාඨක අප සැම ඔබතුමාණන්ට ශුභාශිංසනය කරමු. ඔබට ජේසු පිහිටයි. මරිමව් සරණයි.


‘වචනය තෙමද මාංශ ගත විය’

නව කාර්දිනල් හිමිපාණන්ගේ නිල ලාංඡනය

සෑම රදගුරු තුමෙකුටම කාර්දිනල්තුමෙකුටම තමන්ට ආවේණික වූ නිල ලාංඡනයක් සහ තේමාවක් ඇත. මෙම නිල ලාංඡනයේ සහ තේමාවේ අදහස් මත තම අනාගත සේවාව අර්ථවත් කර ගැනීමට ඔහු අදිටන් කර ගනී. මෙම තේමාව සහ නිල ලාංඡනය ඔහු සකස් කර ගනුයේ තම රටේ සංස්කෘතිය, සදාචාරය සහ සභ්‍යත්වය පදනම් කර ගනිමිනි බොහෝ විට මෙම නිල ලාංඡනය දේශීය කලාවෙන් ඔපවත් වේ. මේ අනුබල බලන කල නව බස්නාහිර පළාතේ අගරදගුරු අති උතුම් දෙව් දහම් විශාරද ආචාර්ය කාර්දිනල් දොන් ඇල්බට් මැල්කම් රංජිත් හිමිපාණන්ගේ නිල ලාංඡනයද ඉහත කී අයුරු නිර්මාණය වී ඇත.

නව කාර්දිනල් හිමිපාණන්ගේ නිල ලාංඡනය වටකොට එක පසකට ගැට පේළි පහ බැගින් දෙපස ගැට පේළි දහයකි. ( සාමාන්‍ය රදගුරුතුමෙකුට මෙවැනි ගැට පේළි එක පසකට තුන බැගින් දෙපස දොළහකි. අගරදගුරුතුමෙකුට ගැට පේළි හතර බැගින් අටකි. කාර්දිනල්තුමෙකුට එක පසකට ගැට පේළි පහ බැගින් දෙපස ගැට පේළි දහයක් ඇත.)

නව කාර්දිනල් තුමාගේ නිල ලාංඡනය ඉහළින්ම ඇත්තේ හිස්වැස්මකි. මෙම හිස්වැස්ම සෑම කාර්දිනල් තුමෙකුට ශුද්ධෝත්තම පියතුමා විසින් පිරිනමනු ලබයි. මෙය පැළඳිය නොහැකි හිස්වැස්මක් වන අතර මෙය කාර්දිනල් ධූරයේ සංකේතයකි. මෙය ධීවරයාගේ හිස්වැස්ම වශයෙන් හදුන්වයි. එය එසේ හදුන්වන්නේ ශු. පේදුරු තුමා ධීවරයෙකු බැවිනි.

මෙම කාර්දිනල් තුමාගේ නිල ලාංඡනයේ පසුබිම නීල වර්ණයෙන් යොදා ඇත. මෙමගින් මෙතුමා තුළ දේව මාතාවන්ට ඇති භක්තිය ප්‍රකාශ කෙරේ. දේව කැඳවීමේ බීජය මෙතුමා තුළ රෝපණය වී ඇත්තේ මරඳ මඬු දේවස්ථානයේදීය. මෙතුමා තුළ දෙව්මවුන්ට ඇත්තේ අනුපමේය වූ භක්තියකි. ආදරයකි. එබැවින් මරි මවු සළු සෙවණේ තම සේවාව අර්ථවත් කළ ගැනීමට තමන් අපේක්ෂා කරන බව මෙයින් පැහැදිලි වේ.

මෙතුමාගේ ලාංඡනයේ ඉහළින්ම ඇත්තේ අගරදගුරු කුරුසයකි. මෙ අගරදගුරු කුරුසිය පෙරදිග කිතුනු සභා නායකයන් භාවිතා කරති. මෙම අගරදගුරු කුරුසිය මගින් තම සහෝදර රදගුරුතුමන්ලා සමඟ සහයෝගයෙන් කුරුසියේ විජයග්‍රහණය සිරිලක පුරා ප්‍රචලිත කරන බව හඟවයි.

එසේම මෙතුමාගේ නිල ලාංඡනයේ හරි මැද තවත් අගරදගුරු නිලය හඳුන්වන කුරුසයකි. ශ්‍රී ශුද්ධ වූ කුරුසියේ දිවි පිදූ ජේසු සමිඳුන්ව තම අගරදගුරු පදවියේ සෑම අයෙකුගේම හදවත වෙත ගෙන යාමට දිවි හිමියෙන් තමන් කැප වන බව මෙයින් සංකේතවත් කෙරේ. මෙතුමාගේ නිල ලාංඡනයේ මැද කොටසේ රන්වන් පැහැති හංසයෙකි. එසේම රක්ත වර්ණයෙන් යුත් හංසයෙකි රන්වන් හංසයා දෙවිදුන් නියෝජනය කරන අතර රක්ත වර්ණ හංසයා මනුෂ්‍ය වර්ගයා නියෝජනය කරයි. ඔවුන් ගෙලින් එකට සම්බන්ධ වී ඇත. එමගින් දෙවියෝ මාංශ ගත වූ බව හඟවයි. මෙතුමාගේ නිල තේමාව VERBUM CARO FACTUM EST එනම් වචනය තෙවද මාංශ ගත වුනේය. යන්නයි. කිතු සමිඳුන් මනුෂ්‍ය වර්ගයාගේ ගැලවීම උදෙසා ජනතාව අතර මාංශ ගත වූ සේම තමන්ද ජනතාව අතර මාංශ ගත වන බව පෙන්නුම් කරයි. මෙම මාංශ ගතවීම වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම එතුමාගේ ජීවිතයෙන් මනාව පැහැදිලි වේ.

මෙතුමා සහයක මීසම් සේවක වශයෙන් කැපුන්ගොඩ මීසමේ සේවයේ යෙදී සිටියදී කුඩා ආම්පන්න ධීවරයන්ගේ ගැටලුවලට විසඳුම් ලබා ගැනීමට ධීවරයන් පෙළ ගස්වා කැපුනගොඩ සිට මීගමුව දක්වා ඔවුන් සමඟ පා ගමනින් මීගමුවට ගමන් කොට ධීවර කොමිසන් සභාව ඉදිරියේ කරුණු දක්වා එම ධීවරයන්ට සහන රැසක් ලබා දුනි.

මෙතුමා පයාගල මීසම් සේවකව සිටි සමයේ ධීවර ප්‍රජාවට ෆයිබර් ග්ලාස් බෝට්ටු හඳුන්වා දී ඒවා ඔවුන් අතර නොමිලයේ බෙදා දුනි. මෙතුමා සමාජ සංවර්ධන කේන්ද්‍රයේ අධ්‍යක්ෂව සිටි සමයේ හිසට වහලක් නැති දුගී දුප්පත් අසරණ අයට ගෙවල් දහස් ගණනක් බෙදා දුනි. ධර්මදූත ළමා සමාජ අදියුරු පියාණන් වශයෙන් කටයුතු කරද්දී එම ධර්මදූත ළමා සමාජ නියාමකයන් සාමාජිකයන්ගේ විවාහ - අවමඟුල් කටයුතුවලට දිවා රෑ නොබලා දුර බැහැර ගෙවා සහභාගි විය. මෙතුමා හමුවීමට ආ කිසි අයෙකු හිස් අතින් නොගියේය. එබැවින් මෙතුමාගේ ආදර්ශ පාඨය අනුව සැබැවින්ම මෙතුමා ජනතාව අතර මාංශ ගත වී ඇත. අනාගතයේදී තව තවත් මාංශ ගත වනු ඇත.

මෙම නිල ලාංඡනයේ අදහස් හා තේමාව අනුව ජන සේවයට කැපවීමට නව කාර්දිනල් හිමිපාණන්ට සමිඳු සරණය නොඅඩුව ලැබේවා! මෙතුමා ජනතාව අතර මාංශ ගත වී චිරාත් කාලයක් වැජඹේවා.

චිරං ජයතු මංගලම් කාර්දිනල් හිමිපාණෙනි.

නිල ලාංඡනය අර්ථ කථනය


ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත‍්‍ර සමාගම
© 2010 සියලු හිමිකම් ඇවිරිණි.
ඔබගේ අදහස් හා යෝජනා අපි අගයන්නෙමු
[email protected]