ජනාධිපති කාර්ය මණ්ඩලය
නව වසරේ සිය රාජකාරී
ආරම්භ කරයි 


ජනාධිපති කාර්ය මණ්ඩලය නව වසරේ සිය රාජකාරී කටයුතු ආරම්භ කිරීම ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති ලේකම් කාර්යාලයේදී ඊයේ (03) සිදු කෙරිණි. එම උත්සවය අවසානයේ පැවැති සාදයේදී ජනාධිපතිවරයා කිරිබත් කෑල්ලක රස බැලීමට එක්ව සිටි අයුරු. ආර්ථික සංවර්ධන ඇමැති බැසිල් රාජපක්ෂ, ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග මහත්වරුද මෙහි වෙති.
ඡායාරූපය – චමින්ද හිත්තැටිය







සිසාරා යන්නට වෙබ් අඩවි . . . .


රට සංවර්ධනය කිරීමේ අභියෝගය විශාලයි

ජනාධිපති කාර්යාලය රාජ්‍ය සේවයට ආදර්ශයක්
විය යුතුයි

නව වසරේ වැඩ අරඹමින් ජනපති කියයි

රට සංවර්ධනය කිරීමේ අභියෝගයෙන් වැඩි කොටසක් පැවැරී තිබෙන ජනාධිපති කාර්යාලය අනෙකුත් රාජ්‍ය සේවකයන්ට ආදර්ශයක් විය යුතු බව ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පැවැසීය. “ජනාධිපති කාර්යාලයේ සේවය කරන්නට ලැබුණු ඔබ වාසනාවන්තයන් පිරිසක්. ඒ වාසනාවෙන් අනෙක් අයගේ ජීවිත වාසනාවන්ත කරන්නට කැප විය යුතු” යැයි ද ජනාධිපතිවරයා අවධාරණය කෙළේ ය. ජනාධිපතිවරයා මේ අදහස් පළ කෙළේ ජනාධිපති ලේකම් කාර්යාලයේ නව වසරේ රාජකාරී කටයුතු ඇරැඹීමේ අවස්ථාවට ඊයේ (3) එක් වෙමිනි. සර්ව ආගමික වතාවත් මධ්‍යයේ නව වසරේ රාජකාරී කටයුතු ඇරැඹුණේ “මෙත් සිතින් රාජ්‍ය සේවයේ යෙදෙමු” යන්න පෙරදැරි කර ගෙන ය. ත්‍රස්තවාදය ජය ගැනීමේ අභියෝගයට වඩා රට සංවර්ධනය කිරීමේ අභියෝගය විශාල බව පැවැසූ ජනාධිපතිවරයා නව වසරේ අප හමුවේ ඇති ඒ විශාල අභියෝගය ජය ගන්නට කැප වන ලෙස ඉල්ලා සිටියේ ය.

විස්තර »

කැවුම් කිරිබත් සංග්‍රහ මැද නව වසරේ
රාජකාරි ඇරැඹේ

ශ්‍රී ලංකාව, සංවර්ධිත රටක් බවට පරිවර්තනය කිරීමට “ඔව් අපට පුළුවන්!” යන හැඟුම ඇතිව නව දශකයේ පළමු වසරේ පළමු රාජකාරි දිනය වූ ඊයේ (03) සියලු රාජ්‍ය හා පෞද්ගලික ආයතනවල පිරිස් කැවුම් කිරිබත් සංග්‍රහ මැද රාජකාරි ඇරඹූහ. මහින්ද චින්තන ඉදිරිදැක්ම වැඩපිළිවෙළ සාර්ථකව ක්‍රියාවට නැංවීමට නව වසරේ කැපවෙමු යන හැඟුම ඇතිව රාජ්‍ය අංශ සේවකයෝ ඊයේ වැඩ ආරම්භ කළහ. පෞද්ගලික අංශ දායකත්වය මතින් වඩාත් සංවර්ධිත රටක් ශ්‍රම බළකායක් ගොඩනඟමු යන්න එම අංශයේ ආයතනවල සේවක පිරිස හාම්පුත්තු වැඩඅරඹමින් ප්‍රාර්ථනා කර ගත්හ. ජනාධිපති ලේකම් කාර්යාලය, මුදල් හා ක්‍රමසම්පාදන අමාත්‍යාංශය පටන් රටේ සියලුම අමාත්‍යාංශවල ජාතිත ධජ ඔසවා නව වසරේ රාජකාරි ඇරඹීමේ කෙටි උත්සව පැවැත්විණි. ඊට අමතරව ඒ ඒ අමාත්‍යාංශවලට අයත් විවිධ දෙපාර්තමේන්තු සංස්ථා, ව්‍යවස්ථාපිත මණ්ඩල, හා සෙසු සියලු ආයතනවල වැඩ ඇරඹීමේ උත්සව සභා පැවැත්විණි.

විස්තර »

ජී.එස්.පී. සහනය අහිමිවීම තාවකාලික තත්ත්වයක්

අමෙරිකාවේ ශ්‍රී ලංකා තානාපති

ජී. එස්. පී. බදු සහනය අහිමි වීම තාවකාලික තත්ත්වයක් මෙන්ම එය ශ්‍රී ලංකාවට පමණක් බලපාන තත්ත්වයක් නොවන බව අමෙරිකා එක්සත් ජනපදයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය පවසයි. සෑම වසරකම දෙසැම්බර් මාසයේදී අමෙරිකානු කොංග්‍රස් මණ්ඩලය මගින් ඊළඟ වර්ෂය සඳහා ජී. එස්. පී. සහනය දීර්ඝ කිරීමක් සිදු කරන අතර අදාළ වැඩසටහන සඳහා ලෝකයේ රටවල් 100 කට වඩා වැඩි ප්‍රමාණයක් සම්බන්ධ වී සිටින බව අමෙරිකා එක්සත් ජනපදයේ ශ්‍රී ලංකා තානාපති ජාලිය වික්‍රමසුරිය මහතා සඳහන් කරයි.

විස්තර »

බීමත්කමින් රෝහල් ගතවන අයගේ බිල අය කරන චක්‍රලේඛය නිකුත්වේ

බීමත්කම නිසා හදිසි අනතුරුවලට ලක්ව රෝහල්ගතවන රෝගීන්ගෙන් රෝහල් බිල අය කර ගන්නා චක්‍රලේඛය ඉදිරි සති දෙක තුළදී නිකුත් කෙරේ. බීමත්කම නිසා රෝගී වන පුද්ගලයන්ගෙන් මුදල් අයකර ගැනීමේ යෝජනාව ක්‍රියාත්මක කිරීමේ ප්‍රථම අදියර ලෙස බීමත්ව හදිසි අනතුරුවලට ලක්වන පුද්ගලයන්ගෙන් මෙසේ මුදල් අයකර ගැනීමට සෞඛ්‍ය අමාත්‍යාංශය තීරණය කර ඇතැයි සෞඛ්‍ය ඇමැති මෛත්‍රීපාල සිරිසේන මහතා ප්‍රකාශ කරයි. මාලිගාවත්ත වෘක්කවේද කාන්දු පෙරීම සහ වකුගඩු බද්ධ කිරීමේ ජාතික මධ්‍යස්ථානයේ පැවැති උත්සවයක් අමතමින් ඇමැතිවරයා මේ බව ඊයේ (3දා) පැවැසුවේය. හදිසි අනතුර සිදුවීමට හේතුව බීමත්කම යැයි වෛද්‍යවරයා තීරණය කළොත් එම රෝගියාට ප්‍රතිකාර ලබාදෙන රෝහල් බිල මෙසේ අයකර ගනියි. මෙලෙස අයකර ගන්නා මුදල රෝහල් සංවර්ධන අරමුදලට බැර කරන බව ද ඇමැතිවරයා කීය.

විස්තර »

හොර පාරෙන් කැනඩා ගිය  තව 4කගේ කොටි පුල්ලි මතුවේ

සන් සී නෞකාවෙන් නීති විරෝධී ලෙස කැනඩාවට සංක්‍රමණය වූ ශ්‍රී ලාංකිකයන්ගෙන් තවත් සිවු දෙනෙකු විවිධ ජාවාරම්වලට සම්බන්ධ වූවන් හා කොටි ක්‍රියාකාරීන් බවට තහවුරු කරගෙන ඇත. කැනේඩියානු සංක්‍රමණික හා සරණාගත මණ්ඩලයේ මෙහෙයවීම මත එරට ආරක්ෂක අංශ මේ නීති විරෝධී සංක්‍රමණිකයන් සම්බන්ධයෙන් පුළුල් පරීක්ෂණයක් ආරම්භ කර ඇති අතර එය තවදුරටත් ක්‍රියාත්මක බව තානාපති ආරංචි මාර්ග පවසයි. කැනේඩියානු ජාතික ආරක්ෂාවට මේ පිරිස තර්ජනයක් වන බැවින් ඔවුන් තවදුරටත් රඳවා ගන්නවාද නැද්ද යන්න සම්බන්ධයෙන් ඉදිරියේදී තීරණයක් ගන්නා බවද එරට ආරක්ෂක අංශ ප්‍රකාශ කර ඇත.

විස්තර »

බස්නාහිර පළාතේ තවත් උපාධිධාරීන් 469කට
ගුරු පත්වීම්

බස්නාහිර පළාතේ තවත් උපාධිධාරීන් 469 දෙනෙකුට ගුරු පත්වීම් ප්‍රදානය කිරීමට බස්නාහිර පළාත් අධ්‍යාපන අමාත්‍යාංශය පියවර ගෙන තිබේ. ඒ සඳහා වන පත්වීම් ලිපි ප්‍රදානය අද (4) පස්වරු 2.30ට බස්නාහිර පළාත් ප්‍රධාන ඇමැති ප්‍රසන්න රණතුංග මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ මහජන පුස්තකාල ශ්‍රවණාගාරයේ දී සිදුකෙරේ. මෙවර වාණිජ , කලා හා විද්‍යා අංශවලින් උපාධිය හැදෑරූ උපාධිධාරීන් සඳහා මෙම පත්වීම් ලබාදීමට පළාත් අධ්‍යාපන අමාත්‍යාංශය කටයුතු යොදා ඇත.

විස්තර »

පාර්ලිමේන්තුව අද රැස්වේ

පාර්ලිමේන්තුව අද (04) ප. ව. 1.00 ට කතානායක චමල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් රැස් වේ. පළාත් පාලන ආයතන සහ පළාත් පාලන ඡන්ද විමසීම පිළිබඳ විශේෂ විධිවිධාන පනත් කෙටුම්පත් අද දින විවාදයට ගැනීමට නියමිතය.

“මහජනතාව රට ගොඩනඟන සංග්‍රාමයේ ශ්‍රම බලකායයි”

ජනාධිපති මහින්ද රාජපක්‍ෂ
2010 සැප්තැම්බර් 24 කොළඹ දී



වෙළඳ දැන්වීම් . . . .

 
යුද්ධය තියෙද්දී බිත්තර හරි ලාබයි
යුද්ධය තියෙද්දී පොල් එහෙමත් ලාබයි
යුද්ධය තියෙද්දී හැම බඩුවම ලාබයි
ඇයි බං අමතකද මරණෙත් හරි ලාබයි