බිත්තර ආනයනය කරන්න ගත්තට පස්සෙ මට කනක් ඇහෙන්න නැහැ

බිත්තර ආනයනය කරන්න ගත්තට පස්සෙ මට කනක් ඇහෙන්න නැහැ

ජොන්ස්ටන් ප්‍රනාන්දු සමූපකාර හා අභ්‍යන්තර වෙළඳ කටයුතු පිළිබඳ අමාත්‍ය

* උත්සව සමයේදී අඩු මිලට ඕනතරම් බඩු දෙන බව ඔබ ප්‍රකාශ කළා. එහෙත් නත්තලට බඩු දෙන්න බැරි වුණා නේද?

නත්තල් සමයේ භාණ්ඩ බහුතරයක්, හිඟයකින් තොරව ලබා දෙන්න හැකි වුණා. කුකුල් මස් , බිත්තර, බී ලූණු සහ පොල් පමණයි නියමිත වේලාවට දෙන්න බැරි වුණේ. නමුත් ඊට හේතු තිබුණා. අමාත්‍යාංශයේවත් රජයේවත් වරදකින් නත්තලට ඒවා දෙන්න බැරිවුණා නොවෙයි.

* එහෙනම් වරද කාගේද? ප්‍රමාදය මොකක්ද?

දේශීය නිෂ්පාදකයාට තැනක් දෙන්න ඕන නිසා , අපි බිත්තර ආනයනය කිරීමට හිතුවේ නැහැ. එහෙත් දේශීය ව්‍යාපාරිකයන් උත්සව කාලය ආසන්න වනවිට බිත්තර මිල ඉහළ දැම්මා. වරෙක බිත්තරය රුපියල් 12.00 ට දෙන්න කැමති වූ ඔවුන් උත්සව කාලය වනවිට රුපියල් 17 දක්වා උපක්‍රමශීලිව වැඩි කිරීමට පියවර ගත්තා. අපි කීවා සහන මිලට දෙන්න කියලා. නමුත් ඔවුන්ගේ තීරණය තුළම සිටි නිසා බිත්තර ආනයනය කළා. අපට මීට කලින් බිත්තර ආනයනය කරන්න තිබුණා. එහෙත් කුරුලු උණ ප්‍රශ්නය නිසා ඉන්දියාවෙන් බිත්තර ආනයනය කිරීම මීට මාස 6කට පෙර දක්වා තහනම් කර තිබියදී අපේ රටේ පශු සම්පත් මණ්ඩලය කුරුලු උණ ප්‍රශ්නය නිසා පසුගිය දෙසැම්බර් 2 දක්වා බිත්තර ආනයනය තහනම් කර තිබුණා. එම තහනම නොතිබුණා නම් මීට මාස 6 හතරක් හෝ පහකට පෙර අපි බිත්තර ආනයනය කරනවා.

* බිත්තර ව්‍යාපාරිකයන්ගේ සංගමය කියනවා බිත්තර හිඟයක් නැහැ කියලා. ආනයනය කිරීම වැරැදියි කියලා.

හිඟයක් නැතිනම් ඇයි ඔවුන්ට රුපියල් 12 ට දෙන්න බැරි. බිත්තර නිෂ්පාදනයට යන වියදම හා සසඳන විට බිත්තරය රුපියල් 12 ට දෙන්න පුළුවන්. පුංචි ගොවිපලවල් වලින් පවා අඩු මිලට බිත්තර එකතු කරන මහා පරිමාණ ව්‍යාපාරිකයෝ ඔවුන් විශාල ලාභයක් තියාගෙන බිත්තර බෙදා හරිනවා. මේක පාරිභෝගිකයාට කරන විශාල අසාධාරණයක්.

* බිත්තර ආනයනය නවත්වන්න කියා මහා පරිමාණ ව්‍යාපාරිකයන් ඔබෙන් ඉල්ලීම් කරනවා

බිත්තර ආනයනය කරන්න ගත්තට පස්සෙ මට කනක් ඇහෙන්න නැහැ. දුරකතන ඇමතුම් දෙමින් කන්නලව් කරනවා බිත්තර ආනයනය නවත්වන්න කියලා. නමුත් මම කියන්නේ බිත්තර 12 ට දෙන තෙක් මම නවත්වන්නේ නැහැ කියලා. මොනම දේක හෝ සාධාරණයක් තියෙන්න ඕනෑ.

* ආනයනික බිත්තරවලට පාරිභෝගික ඉල්ලුම තිබෙනවාද?

ඇයි නැත්තේ බිත්තර ස.තො.ස. පමණක් නොවේ පෞද්ගලික වෙළෙන්දන්ටත් බෙදා දුන්නා. පැයක් දෙකක් යනවිට බිත්තර ලක්ෂ හතක් අටක් ඉවර වෙනවා. සතියකට බිත්තර ලක්ෂ 60ක් පමණ ආනයනය කරන්න අප කටයුතු යොදා තිබෙනවා.

* පොල්මිල තවමත් ඉහළයි?

පොල් ත්‍රිකෝණයේ සිටින මමත් ඔබත් දන්නවා දෙසැම්බර් වනවිට පොල්වල තත්ත්වය. මේ රටේ ඉතිහාසයේ මේ වකවානුවේ පොල්මිල අඩුවූ දවසක් තිබුණේ නැහැ. එක්සත් ජාතික පක්ෂය පොල් බෑයක් විකුණපු කාලයක් තිබුණා. එහෙත් මොනම ප්‍රශ්නයක් මධ්‍යයේ හෝ අපි පහුගිය නත්තලටත් පෙර සිට පොල් රුපියල් 30 බැගින් ස.තො.ස. හරහා බෙදා දුන්නා. රජයේ වතු වලින් පොල් ලබාගෙන ඒ පහසුකම් සැපයුවා. තවත් පැත්තකින් වර්ෂාව. වර්ෂාව නිසා පොල්වතු වල ඵලදාව නෙළන්න අපහසුයි. ළූණු වලටත් බලපෑවේ එවැනි තත්ත්වයක්. අපේ දේශීය ගොවියාගේ ළූණු වගාව ආරක්ෂා කිරීමට අවශ්‍ය නිසා අපි ආනයනය කළේ නැහැ. එහෙත් , පසුගිය වර්ෂාව කාලේ ළූණු ගොවියාගේ ගොවිතැන් සියයට 40ක් පමණ විනාශ වුණා.

ඉන්පසු අපි පාකිස්ථානයෙන් ළූණු ගෙනාවා. ළූණු ප්‍රශ්නය ඉන්දියාව ඇතුළු ලෝකයේ බොහෝ රටවලට බලපෑවා. ස්වාභාවික ප්‍රශ්නවලට රජයට අමාත්‍යාංශයට නොවේ විපක්ෂයටවත් විසඳුම් දෙන්න බැහැ.

* කුකුල් මස් ව්‍යාපාරිකයන්ගේ සංගමයේ සභාපතිවරයාත් ප්‍රකාශ කරනවා කුකුල් මස් අතිරික්තයක් තිබෙන බව.

බිත්තරයි, කුකුල් මසුයි ඔය දෙගොල්ලම කියන්නේ කරන්නේ එකම දේ තමයි. ඒ සභාපතිවරයාට කුකුල් ගොවි පලක් තියා ගෙදර කුකුලෙක් කිකිළියක්වත් නැහැ. ඔහු එම සංගමයේ සභාපතිවරයා ලෙස වැඩ කරන්නේ වාසියකට පමණයි.

මස් අතිරික්තයක් තිබෙනවා නම් රුපියල් 350 ට කිලෝව දෙන්න බැරි ඇයි? පසුගිය රාමසාන් උත්සව කාලයේදී කුකුල් මස් කිලෝව රුපියල් 600 දක්වා ගියා. ඔවුන් එම ව්‍යාපාරයෙන් අධික ලාභ ලබනවා. උත්සව කිට්ටු වෙද්දී මිල වැඩි කරනවා. ඇයි ඔවුන් දන්නවා කීය දීල හරි ඒවා ගන්නවා කියලා. නමුත් අතිගරු ජනාධිපතිතුමා අපට උපදෙස් දීලා තියෙන්නේ කෙසේවත් පාරිභෝගිකයාට අසාධාරණයක් වෙන්න ඉඩ දෙන්න එපා කියලයි. අපි බ්‍රසීලයෙන් මස් ගෙනාවා. එතකොට විපක්ෂය, සහ ජ.වි.පෙ. කීවා ඒවා සෞඛ්‍යට හොඳ නැහැ කියලා. කඩා වැටුණ ඔය පක්ෂ දෙකමත්, බිත්තර ළූණූ නැතුවම ඒක විවේචනය කරනවා. පිටරටින් ගෙනෙන විට සෞඛ්‍යයට හොඳ නැහැ කියනවා. මේ රටේ බඩු මිල ඉහළ දමා පාරිභෝගිකයා සූරා කන කූඨ වෙළෙන්දෝ එක්කයි විපක්ෂය ජීවත් වෙන්නේ. බඩුමිල ඉහළ දම්මවන්න විපක්ෂය කටයුතු කරනවා. කුමන්ත්‍රණය කරනවා. මේ රටේ ජතාව ඒක දැනගන්න ඕනෑ. අපි ආනයනය කළ කුකුල් මස් රුපියල් 300 - 350 අතර මිලකට දෙනවා. ඉදිරියේදීත් දිගටම මෙම වැඩ පිළිවෙළ කරගෙන යනවා.

* පසුගිය කාලේ කැකුලු සහල් රුපියල් 43 ට තිබුණා. දැන් 60 වෙලා. මේ තවත් වැඩිවීමක් නේද?

ආහාර සුරක්ෂිත කිරීමේ කමිටුවේ තීන්දුවක් මත මේ රජය මීට පෙර සහල් මිල පාලනය ඉවත් කළා. රුපියල් 43 ට නෙවේ 37ට සහල් තිබූ කාලයක් තිබුණා. ඒකට හේතුව මේකයි. ඒ කාලේ වී කිලෝව රුපියල් 12, 15, 16 අතරේ තිබුණෙ. වී ගොවියාට ආදායමක් ලැබුණේ නැහැ. ඇතැම් ගොවීන්ට ආදායම් නැතිව වහ බොන්න පවා සිදුවුණා. නමුත් මේ රජය වී ගොවියාට පසුගිය කන්නේ ඉහළ මිලක් දුන්නා. වී කිලෝවට රුපියල් 30 - 32 අතර ගණනක් ගෙව්වා. කළුකඩ මුදලාලිලාට , අතර මැදියන්ට තැනක් නොතබා අප ඍජුවම ගොවියා සොයාගෙන ගොස් වී මිලදී ගත්තා. සජිත්ගේ තාත්තගේ කාලයෙ විකුණා තිබූ වී අලෙවි මණ්ඩලය ගබඩා සියල්ල යළි ගොඩ ගත්තා. දේශීය ගොවියා විශාල වශයෙන් ආදායම් ලැබුවා. පිටරටින් සහල් කන්න අවශ්‍ය වුණේ නැහැ. විශාල වී සංචිතයක් ඉතුරු වී තිබෙනවා.

සහල් කිලෝවක් හදන්න වී කිලෝ 2ක් පමණ යනවා. වී කිලෝව 30 - 32 අරගෙන සහල් කිලෝව 43 ට දෙන්න බැහැ. අපි මේ කතා කරන්නේ සුපිරි සහල් වර්ග ගැන නෙවෙයි. සාමාන්‍ය පාරිභෝගිකයා පාරිභෝජනයට ගන්නා සහල් ගැනයි. පසුගිය දවස්වල කළුකඩ මුදලාලිලා සහල් මිල වැඩි කරනවිට අප රජයේ ගබඩාවල වී කොටා සහල් සපයමින් පාලන මිල නැවත දැම්මා. දැන් වෙළඳ පොලේ සහල් ප්‍රශ්නයක් නැහැ. අද රට සහලින් ස්වයංපෝෂිතයි. අතිගරු ජනාධිපතිතුමා ආදර්ශමත් නායකයෙක් ලෙස අපට උපදෙස් දෙමින් ක්‍රියා කළ නිසා අද රට ස්වයංපෝෂිත තත්ත්වයට පැමිණ තිබෙනවා.

* රටක බඩු හිඟ වුණාම, මිල ඉහළ යන විට අප්‍රසාදයට පත් වෙන්නේ රජය නේද?

ඔව්. ඒ තත්ත්වය ඇති වෙනවා. ඒ නිසයි අප වෙළඳසල් වෙනසක් වෙනවිට ඒවා ආනයනය කර පාරිභෝගිකයාට ඕනෑ තරම් සහන මිලට ලබා ගන්න පරිසරය ඇති කළේ, වෙළඳ ඇමැතිවරයා වශයෙන් මා ඉතා වගකීමෙන් මේ කටයුතු කරගෙන යනවා. විශාල ලෙස බාධක එනම්, පෞද්ගලික අංශ පාරිභෝගිකයා සූරා කන්න උත්සාහ කරද්දී අප ඔවුන් රැක ගනිමින් දේශීය පුංචි නිෂ්පාදකයාත් රැක ගනිමින් කටයුතු කරගෙන යනවා. මෙම ආහාර තොග පිට රටින් ගෙන්වීම සඳහා අමාත්‍යාංශ නිලධාරින් දිවා රෑ නොබලා වැඩ කළා. එහි ප්‍රතිඵලයක් වශයෙන් අවුරුදු කාලය තුළ හිඟයකින් තොරව අවශ්‍ය දෑ ගන්න ඔවුන්ට හැකි වුණා.

පසුගිය වසර බලද්දී සමස්තයක් වශයෙන් මෙවර බඩු මිල හුඟාක්ම අඩුයි. අවශ්‍ය නම් ඒ බඩු මිල මට ඉදිරිපත් කරන්න පුළුවන්. එම නිසා මා ඉදිරියේදීත් සද්භාවයෙන්, දූෂණයෙන් තොරව මේ අමාත්‍යාංශය හරහා පාරිභෝගිකයාට විශාල සහනයක් සපයනවා.

* ලබන අප්‍රේල් නැවත අවුරුදු කාලය මේ උත්සව සමයේ සිට ඒ දක්වා අතර කාලයේ නැවත පාරිභෝගිකයාට ප්‍රශ්න ඇති වෙයිද?

මේ ගෙන යන වැඩ පිළිවෙළ කෙසේවත් අතර මඟ නවත්වන්නේ නැහැ. සිංහල, දෙමළ , මුස්ලිම් අවුරුදු කාල, උත්සවවලට පමණක් නෙවෙයි සෑම දිනකම මේ ආකාරයට වෙළඳ පළ හොඳ තත්ත්වයකින් පවත්වාගෙන යාමට පාරිභෝගිකයෝ රැක ගැනීමට කටයුතු කරගෙන යන බව කිව යුතුයි. දේශීය ව්‍යාපාරිකයන් සහන මිලට භාණ්ඩ සපයන තෙක් ආනයනය කිරීම නවත්වන්නේ නැහැ.

* දේශීය ගොවියා ආරක්ෂා කරන්න ගියොත් පාරිභෝගිකයාට අසාධාරණයක් වෙනවා නේද?

දේශීය ගොවියාත් පාරිභෝගිකයාත් යන දෙදෙනාම අපේ. ඔවුන් දෙදෙනාම අප ආරක්ෂා කළ යුතුයි. දේශීය ගොවිතැන දිරි ගැන්වීම සඳහා අතිගරු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා බොහෝ දේ ලබා දී තිබෙනවා. පොල්මිල ඉහළ යන්නේ ආදායම අඩුවන විටයි. එම නිසා ඉදිරියේදී ආදායම වැඩි කරගන්න පොහොර ලබාදී ඒ සෑම උපකාරයක්ම කරනවා. පසුගිය එක්සත් ජාතික පක්ෂ කාලේ පොල්ගස් කැපුවා. වික්කා. ඔවුන් ඒ සිදු කළ පාපකර්මවල ප්‍රතිඵලය විඳින්න වෙලා තියෙන්නේ මේ රටේ ජනතාවට. දේශීය ගොවියා අපට අවශ්‍ය ඔවුන්ගේ නිෂ්පාදන අප ඉහළ මිලකට ගෙන ඇතැම් විට ලාභයක් නැතිවම සහන මිලට පාරිභෝගිකයාට ලබා දෙනවා. මේ දෙදෙනාම ආරක්ෂා කර ගනිමින් කටයුතු කිරීම රජයේ අරමුණයි.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා