මුද්‍රණය සඳහා

 
මම අකුරු කියවන නැකතට මහා වැසි වැටුණා

මම අකුරු කියවන නැකතට මහා වැසි වැටුණා

අත්තුඩාවේ සිරි රාහුල මහ නාහිමි

නම – අත්තුඩාවේ සිරි රාහුල මහ නාහිමි.
ගම – මාතර දිස්ත්‍රික්කයේ - අත්තුඩාව.
උපන් දිනය – 1919 දෙසැම්බර් 19 වැනි දින.
උපන් ස්ථානය - අත්තුඩාව දකුණ, පෝස්වත්ත.
පියා - ඩී. ජේ. හේවානාදුගල (පෝස්වත්තේ ලොකු මහත්තයා)
මව - ඩී. ජේ. එම්. අබේසේකර (පාතෙගම හාමිණේ)
පාසල – පාලටුව ගුණරතන විදුහල.
ගිහි නම – දයානන්ද.
පැවිදි වූ වර්ෂය - 1932
දැනට වඩැවසන ආරාමය - දොඩම්පහල, හිරිකැටිය ශ්‍රී සුභද්‍රාරාමය (හිරිකැටිය පන්සල)
ලබා ඇති සම්මාන - සාහිත්‍යසූරී, ප්‍රවචන විශාරද, පර්යත්තිධර විශාරද, ත්‍රිපිටක වාගීශ්වරාචාර්ය, සාහිත්‍ය ශිරෝමණී, රුහුණු රන්සිළු, බෞද්ධ ග්‍රන්ථකරණ සම්මානය, ගුරු උපහාර සම්මානය, නිල්වලා අබිමන්, 2550 බෞද්ධාලෝක ප්‍රණාමය

කාව්‍ය සංග්‍රහ, පරිවර්තන, දර්ශනය සම්බන්ධ සාහිත්‍ය කෘතීන්, බණ දහම් ග්‍රන්ථද ඇතුළු පොත් පණහක් පමණ ලියා ඇති අත්තුඩාවේ සිරි රාහුල මහ නාහිමියන් හෙළ සම්භාව්‍ය සාහිත්‍යාවලියේ නොමැකෙන නමක් තබා ඇති සඟගම මාහිමි, තොටගමුවේ ශ්‍රී රාහුල මාහිමි වැනි සංඝපීතෘන්ගේ නාමාවලියට එක්වන ගණයේ පඬිරුවනකි.

සියම් මහා නිකායේ ශ්‍රී රෝහණ පාර්ශවයේ මහා නායක පදවියත්, විශ්වවිද්‍යාලයක කුලපති පදවියත් එකම වකවානුවක දැරීමේ දෛවෝපගත වාසනාව හිමිකරගෙන ඇති උන්වහන්සේ සිය අතීත මතකයන් මෙසේ අවදි කළහ.

දැන් මගේ වයස අවුරුදු 92යි. මම උපන්නේ 1919 අවුරුද්දේ. ඒ අපේ, පවුලේ තුන්වන දරුවා හැටියට. මට වැඩිමල් සහෝදරයෙක් හා සහෝදරියක් ද ඇතුළුව දරුවන් ගණන අටක් වෙනව. දැනට ජීවතුන් අතර ඉන්නේ මා ඇතුළු තුන්දෙනයි.

අපේ ගෙදර තිබුණෙ මාතර, නිල්වලා ගඟ අසබඩ අත්තුඩාව කියන සුන්දර ගම්මානෙ. අද වගේ නෙවෙයි ඒ කාලෙ අපේ ගමට හරිහමන් මංමාවත් පහසුකම් තිබුණෙ නැහැ. එහෙම වුණයි කියල නැහැ මුළු ගමම හරි සරුසාරයි. ඒ වගේම එරමිණියා, දං, හිඹටු, වේරෑන ආදියෙන් පිරිච්ච ලඳු කැලෑ ගමට හරිම සුන්දරත්වයක් ලබා දුන්නා.

අපේ ගෙදර ගමේ ප්‍රධාන නිවස ලෙස ගම්මු අතර පිළිගැනීමක් තිබුණා. ගමේ වැඩිහරියක් හිටියෙ අපේ ඥාතීන්. ඒ ඥාතීන් තමන්ගෙ ප්‍රධානියා ලෙස සැලකුවේ අපේ පියා. පියා ඒ තරම් උස මහත අයෙක් නොවෙයි.

අම්මා කිසිදාක ඉස්කෝලෙ ගිහින් නෑ. ඒ නිසා අකුරු බෑ. නමුත් තුන්සරණෙ කවි, තුන් සූත්‍රය, ජනකතා, ශ්ලෝක ආදිය කට පාඩමින් කියනව. අපේ ගෙදර කුස ජාතකය, උම්මග්ග ජාතකය විදුර ජාතකය, ප්‍රත්‍ය ශතකය වැනි ශතක පොත් ආදියත් තිබුණා.

“මට ඉගෙන ගන්න බැරි වුණා. ඒ නිසා මම මගේ දරුවන්ට හොඳට උගන්වනවා” මේ අපේ අම්මා නිතර දෙවේලේ කී කතාවක්.

අපේ පියා ඉගෙනීම කර තිබුණේ පස්වන පංතියට පමණයි. ඒ බටතුඹේ පාසලේ. පහේ පංතිය සමත් උනාට පසු මොනිටර් තනතුරක් ලැබී ඒ පාසලේම මාස තුනක් උගන්වලා තියනවා. පඩිය මාසෙට රුපියල් පහයි. සිංහල භාෂාව, සාහිත්‍යය, බුද්ධ ධර්මය ගැන තාත්තාට හොඳ දැනීමක් තිබුණා.

මාසෙට රුපියල් පහේ පඩියට කාලය නාස්ති වෙනවා කියා ඒකෙන් අස්වෙලා තමන්ගේම කුඹුරු, වතුපිටි වගා කරන්න පන් අරන්. අපේ ගෙදර මීහරක් හිටියා. ලොකු න¼ගුලකුත් තිබුණා. අද කාලේ ට්‍රැක්ටරයක් දෙකක් තිබෙනවා සමානයි.

අපට මඩ කුඹුරුයි, ගොඩ කුඹුරුයි දෙවර්ගයම තිබුණා. මඩ කුඹුරු මී හරක් යොදා මඩවනවා. ගොඩ කුඹුරු හාන්නේ නගුලෙන්. අපේ ගමේ ඥාතීන්ද කුඹුරු වැඩට ඉල්ලන් ගියේ අපේ නගුල හා මීහරක්. තව ඔරුවකුත් තිබුණා. අවුරුද්දට දෙපාරක් ගංවතුර ගලනවා. ඔරුව ඒ අවස්ථාවලදී ප්‍රයෝජනවත් වුණා.

මට නැකතකට අකුරු කියවන දිනය ලඟාවෙද්දී දවස් ගණනාවක්ම මහා වැසි තිබුණා. හරියට මේ දවස්වල වහිනවා වාගෙයි. මුළු වෙල්යායම වතුරෙන් යටවුණා.

මට අකුරු කියවන්න හිටියෙ ඇටැම්පල රතනපාල හාමුදුරුවො ලවා. උන්වහන්සේ වැඩ සිටිය පන්සලටත් යන්න විදියක් නැහැ ගංවතුර නිසා. තාත්තා මාව ඔරුවෙ නංවාගෙන පන්සලට යන්න ගියා. එහෙම යන කොට “ඔරුව පෙරලුනොත් තාත්ත විපතක් වේවි” කියා මට බයකුත් ඇති උනා. ඒ එක්කම “තාත්තට නම් පීනන්න පුළුවන් නිසා බේරෙවි. මට කුමක් වේද” කියාත් හිතුනා.

ඈත ඉඳන් පාවී එන දිය රැළි ඔරුවෙ වදින කොට හරිම ලස්සනයි. අකුරු කියවනවට වඩා වැඩි විනෝදයක් එදා මා ලැබුවා.

පන්සලේ දී ඇටැම්පල රතනසාර ලොකු හාමුදුරුවො මගේ ඔලුව අතගාල “ස්වස්ති සිද්ධම්... අ ආ...” කියලා මට නැකතට අකුරු කියෙව්ව. උන්වහන්සේ එකල ඒ පළාතටම හිටිය මහා පඬිවරයෙක්. එදා මගේ ඔලුව අතගාල අකුරු කියා දුන් උන්වහන්සේගේ ශක්තිය... ආශිර්වාදය අද මට මේ තත්ත්වයට එන්න බලපෑමක් වුණා කියලයි මම විශ්වාස කරන්නේ.

මට ඉස්කෝලෙ යන්න වයස වෙනකොට ගමේ ඉස්කෝලයක් තිබුණෙ නෑ. ඒ පළාතටම තිබුණේ බටතුඹේ හා ගොඩගම මෙතෝදිස්ත සභාවේ පාසල් දෙකක්. ඒවාට තමන්ගේ ළමයි යවන්න ගමේ අය කැමති වුණේ නැත්තෙ ඒවා මිෂනාරි පාසල් නිසා.

මේ අතර අපේ වාසනාවට වගේ ඇටැම්පල ගුණරතන හාමුදුරුවො පාලටුව බෞද්ධෝදය පිරිවෙන ආසන්නයේ පාසලක් ආරම්භ කළා. ඒක කටුමැටි ගසා පොල්අතු සෙවිලි කළ කුඩා මඩුවක් හා සමානයි. ඒකට ඇතුළත් කළ මුල්ම ශිෂ්‍යයන් කීපදෙනා අතුරින් මමත් එක් අයෙක්. මුල්ම ප්‍රධානාචාර්යවරයා වුණේ ජයවර්ධන කියල මහත්මයෙක්. ඒ පාසල අද පාලටුව ශ්‍රී ගුණරතන මධ්‍ය මහා විද්‍යලය නමින් අංගසම්පූර්ණ මධ්‍ය මහා විද්‍යාලයක් බවට පත්වෙලා. බාලාංශයේ සිට අටවන පන්තිය දක්වා එම විද්‍යාලයේ ඉගෙනුම ලැබුවා. වත්මන් ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ මෑණියන් ද අපිත් සමඟ ඒ වකවානුවේ ඉගෙනුම ලැබුවා මතකයි.

තරුණ වියේදී

ඉස්කෝලෙ ඉඳන් ගෙදර ආවාම දවල් ආහාර ගත්තාට පසු කුඹුරේ වැඩට තාත්තාට උදව්වෙන්න යෑමේ පුරුද්දක් තිබුණා. දවසක් කුඹුරට ගොස් වැඩ කරන කොට නියරක් අස්සේ සිටි කුණකටුවෙක් මගේ කකුල කෑවා. තාත්තා ඔලුව බැඳගෙන හිටි තුවායෙන් මගේ කකුල ගැට ගසා කර උඩ තියාගෙන ගෙදර ගෙනැවිත් වෙදකම් කළා. ඒ වෙනකොට මට වයස අවුරුදු දහතුනක් පමණ ඇති. සිංහල බෙහෙත් කර සනීප වුණත් අවුරුද්දක් පමණ යනතුරු ඒ තුවාලෙ තිබුණා.

මගේ මවුපියන්ට පවුලේ කෙනෙක් පැවිදි කිරීමේ අදහස ඇතිවුණේ මේ කාලයේදීයි. අම්මගෙයි, තාත්තගෙයි ඥාති හාමුදුරුවරු දෙනමක් හිටියා. තාත්තගෙ ඥාති සහෝදරයෙක් තමයි හිත්තැටිය පන්සලේ අත්තුඩාවේ සීලානන්ද නායක හාමුදුරුවො. ඒ වගේම උයන්වත්තේ රේවත නායක හාමුදුරුවො අපේ අම්මගෙ මාමා කෙනෙක්.

මේ ඥාති ස්වාමින්වහන්සේලා අපේ ගෙදරට වැඩියාම පුටුවකට ඇතිරිල්ලක් දමා වැඩ ඉද්දී අපි පැදුරක වාඩි වී කතා කරනවා. දවසක් අම්ම ඇහැව්වා “කවුද බොලාගෙන් මහණ වෙන්න කැමති” කියා. මම කැමතියි කිව්වා. ‘මහණ වුණාට කමක් නෑ සිවුරු ඇරල ගෙදර එන්න එහෙම එපා”යි අම්ම කිව්වා. අම්ම යමක් කිව්වොත් ඒක ස්ථිරයි. කරන්නම ඕනෑ.

අපේ ගෙදර කිට්ටුව නා ගසක් තිබුණ ඉඩමක් තිබුණා. බෝගස් දෙකක් ද තිබුණා. ගමට පන්සලක් නොතිබුණ නිසා ගමේ අය ආගමික වතාවත් කළේ එම ස්ථානයේ. කුඩා දේවාලයකුත් තිබුණා. කුඹුරු වැඩ සාර්ථක වෙන්න කියා බාර හාර වෙන්නෙ එතන. තාත්තා ඇතුළු පිරිසක් එක්වී එතන පන්සලක් හැදුවා. වර්තමානයේ අත්තුඩාවේ සිරි රතනපාලාරාමය නමින් එය විශාල දියුණුවට පත්ව තිබෙනවා.

1932 වෙසක් මස 20 වන දින මම පැවිදි උනේ මේ පන්සලේ. පාලටුෙවේ බෞද්ධෝදය පරිවේනාධිපති ඇටැම්පල රතනපාල හිමියන්ගේ උපාධ්‍යායත්වයෙන් හා දොඩම්පහල ශ්‍රී සුභද්‍රාරාමාධිපති, බැදිගම රතනපාල හිමියන්ගේ ආචාර්යත්වයෙනුයි මා පැවිදි වූයේ. පැවිදි වීමේදී මා හැඳින්වූයේ අත්තුඩාවේ ඉන්දරතන ලෙසයි. 1940 දී මා අත්තුඩාවේ රාහුල නමින් උපසම්පදාව ලැබුවේ මල්වතු පාර්ශ්වයේ උපෝෂිත පුෂ්පාරාමයේ දී. ඒ අවස්ථාවේ මා විසින් රචනා කොට ඉදිරිපත් කළ “සිරිසරණංකර සංඝරාජාපදානං” නැමති පාලි කාව්‍ය සංග්‍රහය මල්වතු සංඝ සභාවේ පැසසුමට ලක්වුණා.

පැවිදි කාලේ මූලික අධ්‍යාපනය පාලටුව බෞද්ධෝදය පිරිවෙනෙන් ලබා පසුව ගෝනගල සුදර්මාකර පිරිවෙනට ඇතුල්වී වැඩිදුර බණ දහම් අධ්‍යාපනය ලැබුවා. පිරිවෙන්පති ලෙස හිටියේ යගිරල ශ්‍රී ප්‍රඥානන්ද නාහිමියෝයි. උන්වහන්ස් එදා ශ්‍රී ලංකාවේ සිටි මහා පඬිවරයෙක්. මගේ ජීවිතයේ විශාල පෙරළියක් කිරීමට උන්වහන්සේගේ ඇසුර හේතුවුණා.

පියදාස සිරිසේන, හේමපාල මුණිදාස, පියසේන නිශ්ශංක වැනි මහා ලේඛකයන් මෙන්ම ඩී. බී. ජයතිලක, ඩී. එස්. සේනානායක, ඇස්. ඩබ්ලිව්. ආර්. ඩී. බණ්ඩාරනායක, සී. ඩබ්ලිව්. ඩබ්ලිව්. කන්නන්ගර වැනි දේශපාලඥයන්ද නිතර නිතර මාහිමිපාණන් හමුවීමට පැමිණ විවිධ සාකච්ඡාවල නිරත වුණා. මොවුන්ගේ කතා බහ මටත් නිතර නිතර ඇහුම්කන් දෙන්න ලැබුණා. ඒ වගේම යගිරල නාහිමියන් විසින් ලියන ලද විවිධ මාතෘකා යටතේ වූ ලිපි ලේඛන පිටපත් කිරීම භාර දුන්නේත් මටයි. ඒ නිසා උන්වහන්සේගේ භාෂා සාහිත්‍ය දැනුමේ හා ලේඛන ශූරත්වයේ ආභාෂය මට ලැබුණා. මේ නිසාම මටත් හිතුනා මමත් ලියන්න ඕන කියා. ඒ අනුව මා මුලින්ම රචනා කළ “සූරියෝදය” කියන කාව්‍ය නිර්මාණය සෝමවීර චන්ද්‍රසිරි මහතාගේ කතෘත්වයෙන් පලවූ “සරසවි සඳරැස” පත්‍රයේ පලවූයේ මා සාමනේර අවධියේ හැඳින් වූ අත්තුඩාවේ ඉන්දරතන නමින්.

ඉන්පසු සිංහල බෞද්ධයා - සිළුමිණ යන පුවත්පත් වල නිතර නිතර මාගේ නිර්මාණ පලවුණා. මගේ ලේඛන දිවිය ආරම්භ වුණේ 1957 දී සමාජ ප්‍රකාශනයක් ලෙස දොරට වැඩි “බෞද්ධ දර්ශනය” පොතෙන්. මේ වනවිට මා විසින් ලියා පළකර ඇති පොත් ගණන පණහකට ආසන්නයි.

අධ්‍යාපන කටයුතු නිමා කිරීමෙන් පසු වලස්ගල සරණංකර පිරිවෙනෙන් ඇරඹූ පිරිවෙන් ගුරු දිවිය එම පරිවේනස්ථානයේ අධිපති ධුරය දක්වා සිදුකළා. රත්මලානේ පරිවේණාචාර්ය අභ්‍යාස විද්‍යාලය ආරම්භ කළ අවස්ථාවේ එහි මුල්ම ශිෂ්‍ය කණ්ඩායමට ඇතුළත්ව පුහුණුව ලැබුවා. විද්‍යෝදය විශ්වවිද්‍යාලයෙන් ගෞරව ශාස්ත්‍රවේදී උපාධිය ලබාගත්තා. ඉන්පසු 1959 දී රජයේ ගුරු තනතුරක් ලැබී අම්බලන්ගොඩ දේවානන්ද මහා විද්‍යාලය, ගොඩඋඩ මහා විද්‍යාලය, දික්වැල්ල විජිත මධ්‍ය මහා විද්‍යාලය ආදියෙහි ඉගැන්වීමේ නිරතව 1975 දී ගුරු සේවයෙන් විශ්‍රාම ලැබුවා.

මගේ ජීවිතයේ සිදුකළ වටිනාම කටයුත්ත ලෙස මා කල්පනා කරන්නේ රාජකීය පණ්ඩිත, පුරාවිද්‍යා චක්‍රවර්ති කඹුරුගමුවේ වනරතන මහා නාහිමියන් හා එක්ව ශ්‍රී රෝහණ සංඝ සභාව පිහිටුවීමේ කටයුත්ත ඉටු කිරීමයි. රුහුණේ සියම් නිකායේ භික්ෂූන් වහන්සේලාගේ ස්වාධීනත්වය හා සුව පහසුව සඳහා අද ඉන් විශාල සේවයක් සිදුවෙනවා. එහි අනුනායක ධුරය දැරූ මා වනරතන මහ නාහිමිගේ ඇවෑමෙන් අද ශ්‍රී රෝහණ පාර්ශවය ලෙස හැඳින්වෙන එම සංඝ සභාවේ මහා නායක ධුරය 1998 වසරේ සිට දරමින් ඉන්නවා.

රුහුණු විශ්වවිද්‍යාලයේ කුලපති ධුරය දෙවන වරටත් පිරිනමා තිබෙනවා. අද ඒ තනතුරත් දරමින් වත්මන් සිසු පරපුරට කිසියම් සේවයක් සිදුකරමින් මා ලබන්නේ අසීමිත තෘප්තියක්.

අපි පැවිදි දිවිය ආරම්භ කළ වකවානුවේ දැන් මෙන් පන්සල්වලට, පිරිවෙන්වලට විදුලිය, ජලනල, රූපවාහිනී ආදිය පමණක් නොවෙයි ගමනාගමන පහසුකම් පවා තිබුණේ් නෑ. සවසට දර කඩන්න ඕන. වතුර ගෙනවිත් ටැංකි පුරවන්න ඕන. පන්සල් වත්ත පිරිසුදු කරන්න ඕන. ඒ වගේම දවසට නියමිත පාඩම් කොටසක් නිසි පරිදි ඉටු කරන්න ඕන. පෝයදාට උපාසක උපාසිකාවන්ට බණ පොතින් බණ කියන්නත් ඕන. අපි දැනුම ලබා ගැනීමේ අරමුණින් ඉගෙන ගත්තේ. වෙන බලාපොරොත්තු තිබුණෙ නෑ. පිරිවෙන්වල ඉගැන්නුවෙත් නොමිලේ.

දහනායක මහත්මයා අධ්‍යාපන ඇමැති කාලෙ පිරිවෙන් ගුරුවරුන්ට වැටුපක් දෙන්න කියා මා කළ ඉල්ලීම ජනතා පත්‍රයේ විශාල ප්‍රසිද්ධියක් දී පළවුණා.

මා විසින් සංස්කරණය කළ “පිරුවානා පොත්වහන්සේ” අද සෑම පන්සලකම වාගේ ප්‍රයෝජනයට ගන්නවා. මගේ දැනුම මා පොත්පත් මගින් නැවත සමාජයට දායාද කර තිබෙනවා. අද මා ඉන් ලබන්නේ මිල කළ නොහැකි සතුටක්.


ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත‍්‍ර සමාගම
© 2011 සියලු හිමිකම් ඇවිරිණි.
ඔබගේ අදහස් හා යෝජනා අපි අගයන්නෙමු
[email protected]