රේඩියෝ චරිත

රේඩියෝ චරිත

ජාතික ගුවන් විදුලිය හෙවත් ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ 86 වන සංවත්සරය පසුගිය දෙසැම්බර් මස 16 වනදා දිනට යෙදී තිබිණි.

එච්.ඩබ්ලිව්. රූපසිංහ මාස්ටර් සහ රුක්මණී දේවිය ‘එදා රසවතුන්’ විවිධ ප්‍රසංගයේදී

ජාතික ගුවන් විදුලිය නිල වශයෙන් ඇරඹුණේ 1925 දෙසැම්බර් මස 16 වනදා දිනය. එදින එම ගුවන් විදුලි විකාශනාගාරය විවෘත කරන ලද්දේ එවකට ලංකාවේ ආණ්ඩුකාරවරයාව සිටි සර් හියු ක්ලිෆඩ් විසිනි. එතන් සිට වැඩ සටහන් වශයෙන් ප්‍රවෘත්ති, කාලගුණ වාර්තා, වෙළෙඳ පොළ මිල ගණන්, මාර්ග විස්තර සහ ග්‍රැමෆෝන් තැටි ගීත දිනපතා විටින්විට ප්‍රචාරය වූ බව වාර්තාගතය. පළමු සිංහල සංගීත වැඩසටහන 1927 වසරේ දී සංගීතඥ ඇම්. ජී. පෙරේරා මහතාගේ ප්‍රධානත්වයෙන් ප්‍රචාරය වූ බවත්, ප්‍රථම ධර්ම දේශනාව පූජ්‍ය පැලෑනේ වජිරඥාණ නාහිමි විසින් 1928 දී ප්‍රචාරය කන ලද බවත් සඳහන් වී ඇත.

ශ්‍රී ලංකා පරිපාලන සේවයේ කැපීපෙනුන ඒ. ඩබ්ලිව්. ධර්මපාල මහතා 1937 වසරේ දී, ගුවන් විදුලි සේවයේ කාර්මික අංශයේ ප්‍රධානියා වශයෙන් කටයුතු කළේය. ඇතැම් අවස්ථාවල ඔහු සිංහල සහ ඉංගි‍්‍රසි නිවේදකයෙකු වශයෙන්ද කටයුතු කොට ඇත. පසු කාලයක දී ප්‍රධාන ගුවන් විදුලි ඉංජිනේරු තනතුරට පත් ධර්මපාල මහතා විශ්‍රාම ගන්නා ලද්දේ ගුවන් විදුලියේ පැවැත්මට අමිල සේවයක් ඉටු කරය.

ප්‍රථම සිංහල නිවේදක ලෙස 1938 වසරේ ජනවාරි 01 දා දින පත්වූ ඩී. එම්. කොළඹගේ මහතා සහ එයට වසරකට පසුව නිවේදක තනතුරට පත්වූ තේවිස් ගුරුගේ මහතා, කොළඹ බොරැල්ලේ කොටා පාරේ එවකට පිහිටි ගුවන් විදුලි කාර්යාලය කේන්ද්‍රීය කොට ඉදිරිපත් කරන ලද විවිධ වැඩසටහන් නිසා ගුවන් විදුලිය අසන්නන් අතර අතිශයින් ජනපි‍්‍රය විය. සිරි අයියා (යූ. ඒ. ඇස්. පෙරේරා) “ළමා තීරය” මෙහෙයවීය.

කොළඹ යුගයේ කවීන් වශයෙන් පී. බී. අල්විස් පෙරේරා, කපිල සෙනෙවිරත්න, විල්සන් හෑගොඩ, එච්. ඇම්. කුඩලිගම, ජෝන් රාජදාස, විමලරත්න කුමාරගම සහ සිසිරකුමාර මාණික්කආරච්චි ආදීහු “කවිකාර මඩුව“ ඉදිරිපත් කළහ. රිදී ගායක එඩ්වින් කෝට්ටේගොඩ, පණීභාරත සහ කිරිගණිත ගුරුනාන්සේ වැනි අය “වන්නම් හා ජන ගී ගායනා”, ආනන්ද කවිරත්න, ජී. ඇම්. පියදාස සහ මිණිපුර ජයසේන “විරිදු ගායනා” ද ඉදිරිපත් කළහ.

මහාචාර්ය සෙනරත් පරණවිතාන, ශ්‍රීමත් ඩී. බී. ජයතිලක, එදිරිවීර සරච්චන්ද්‍ර, සයිරස් ඩබ්. සුරේන්ද්‍ර, රැ. තෙන්නකෝන් සහ අයි. ඇම්. ආර්. ඒ. ඊරියගොල්ල වැනි විද්වතුන් ඉදිරිපත් කළ “ශාස්ත්‍රීය දේශන”, සංගීතඥ ඇම්. ජී. පෙරේරා, දොන් මානිස් පට්ටිආරච්චි, එච්. දොන් වින්සන්ට් පීරිස්, සාදිරිස් සිල්වා සහ එඩී සිල්වා ඉදිරිපත් කළ “ශාස්ත්‍රීය ගායන”, රුක්මණී දේවී, කෝකිළ දේවී, ලක්ෂ්මී බායි, වසන්තා සන්දනායක, මොහොමඩ් ගවුස් ආදී ගායක ගායිකාවන් ඉදිරිපත් කළ “සරළ ගී” ආදී වැඩසටහන් ජාතික ගුවන් විදුලිය තුළ මුල්බැස ගත්තේ කොළඹගේ සහ ගුරුගේ යන මහතුන් දෙපළගේ දැඩි කැපවීම සහ උනන්දුව නිසාය.

ගුවන් විදුලිය කොටා පාරේ සිට නිදහස් චතුරශ්‍රයට ගෙවදීමත් සමඟම ආනන්ද සරත් විමලවීර, කරුණාරත්න අබේසේකර, ඇම්. ඩී. ගුනපාල, ප්‍රභා පෙරේරා රණතුංග, නන්දා ජයමාන්න, එච්. ඩී. විජේදාස යන මහත්ම මහත්මීන් නිවේදක නිවේදිකාවන් ලෙස ඉස්මතු වූහ. ඉන් අනතුරුව තිලක සුදර්මන් ද සිල්වා, සිරිල් රාජපක්ෂ, කුසුම් පීරිස්, ගුණරත්න අබේසේකර, නිවේදක නිවේදිකාවන් ලෙස කැපීපෙනුන අතර, 1966 වසරේ දී සහන නිවේදකයින් ලෙස තෝරා ගන්නා ලද නිව්ටන් ගුණරත්න, නලිත පෙරේරා, නන්දසේන ලියනපටබැඳි, බර්ටි ගලහිටියාව සහ ජී. ගුණවර්ධන යන මහතුන් පසුකලෙක ගුවන් විදුලියේ ඉහළ තනතුරු හොබවන අයුරු දක්නා ලදී.

ප්‍රථම ගුවන් විදුලි අධ්‍යක්ෂවරයා ලෙස 1949 වසරේ දී පත්වූ ජෝන් ලැම්ප්සන් මහතාගෙන් පසු 1952 අප්‍රේල් 01 දා දින අධ්‍යක්ෂ ජෙනරාල් තනතුරට පත් ඇම්. ජේ. පෙරේරා මහතා, සිංහල දෙමළ සහ ඉංගි‍්‍රසි වැඩසටහන් විධිමත් කොට නිබන්ධ සම්පාදකයින් ලෙස එච්. ඇම්. ගුණසේකර, මඩවල රත්නායක, මහගම සේකර, විමල් අබේසුන්දර, ඇල්. ඇම්. පී. ජයතුංග, චිත්‍රානන්ද අබේසේකර, නිමල් සරත්චන්ද්‍ර, ඇග්නස් සිරිසේන යන මහත්ම මහත්මීන් පත් කළේය. මොවුහු සියලු දෙනාම උසස් පරිපාලනමය තනතුරු දරමින් ගුවන් විදුලියට ජීවය දුන්හ. මහාචාර්ය සුනන්ද මහේන්ද්‍ර, කේ. ඒ. කේ. පෙරේරා සහ ලූෂන් බුලත්සිංහල ද ඒ අතර සිටියහ.

ගුවන් විදුලි වාදක මණ්ඩලය සහ සංගීත අංශය භාරව සේවය කළ හෙළයේ මහා ගාන්ධර්වයා වන පණ්ඩිත් අමරදේව, විශාරද සෝමදාස ඇල්විටිගල, එඩ්වින් සමරදිවාකර, දයාරත්න රණතුංග, පී. ඩන්ස්ටන් ද සිල්වා යන මහතුන් ද ඔවුන් සමඟ එක්ව සේවය කළ ඩබ්. බී. මකුලොලුව, සී. ද. ඇස්. කුලතිලක, දයානන්ද ගුණවර්ධන, සෝමචන්ද්‍ර පට්ටිආරච්චි, ශාන්ති දිසානායක, රෝහිත විජේසූරිය, රෝහණ බෝගොඩ, මිලියම් සේනාරත්න යන මහත්ම මහත්මීන් ද ගුවන් විදුලි සංගීත කලාවට කළ මෙහෙවර ප්‍රශංසනීයය.

ගුවන් විදුලියේ සිංහල සේවා අධ්‍යක්ෂවරුන් ලෙස විටින්විට සේවය කළ චිත්‍රානන්ද අබේසේකර, ලලිත් ඇස්. මෛත්‍රිපාල, පාලිත පෙරේරා, එච්. ඇම්. ගුණසේකර, විජයදාස හේවගේ සහ ටී. ඩී. කේ. ඒ. ජයන්ත යන මහතුන් ද සිහිකටයුතුය. එවන් සමාන සේවයක අතීතයේ නියුතු වූ ශර්ලි ද සිල්වා, ආර්. ඇන්. එච්. පෙරේරා, සිරිසෝම ජයසිංහ සහ හියුබත් දිසානායක ද සිහි කළ යුතුය.

සිංහල නාට්‍ය අංශයේ භාරකාරත්වය දැරූ සහ නිෂ්පාදන කටයුතු කළ පී. වැලිකල, සුගතපාල ද සිල්වා, සරත් විමලවීර, සුජාතා ගුණවර්ධන, නෙල්සන් පීරිස්, මහින්ද අල්ගම, ජේ. එච්. ජයවර්ධන, ආනන්ද පුංචිහේවා, ඇග්නස් සිරිසේන, සුගත් ජයසිංහ යන මහතුන් ද අමතක කළ යුතු නොවේ.

ගුවන් විදුලි වැඩසටහන් නිෂ්පාදනය, නිවේදනය සහ මෙහෙයවීම අතින් විශ්මිත දස්කම් දක්වා අප අතරින් වියෝවූ කුලසිරි අමරතුංග, කේ. ඩී. කේ. ධර්මවර්ධන, ප්‍රේමකීර්ති ද අල්විස්, ප්‍රේමනාත් ජයතිලක, විජිතනන්ද මැණික්දිවෙල, නෙල්සන් ජයවීර සහ කේ. ෆ්රැන්සිස් යන මහතුන් ද මම ගෞරවපූර්වකව සිහි කරමි.

දේශීය වශයෙන් ගුවන් විදුලි අධිකාරිත්වය ලැබුණේ ශර්ලි ද සිල්වා මහතාටය. ඒ 1937 දීය. ඉන්පසු එහි මුල් පුටුව දැරුවෝ ඇම්. ජේ. පෙරේරා, සී. ජේ. සේරසිංහ, තිලක් ගුණරත්න, රොනී ද මැල්, එස්. බී. සේනානායක, වින්සන්ට් පණ්ඩිත, නිශ්ශංක විජේරත්න, නෙවිල් ජයවීර, සුසිල් මුණසිංහ, රිජ්වේ තිලකරත්න, තේවිස් ගුරුගේ, ඒමන් කාරියකරවන, ලිවී විජේමාන්න, කරුණාරත්න වීරමන්, ජනදාස පීරිස් යන මහත්වරුය.

අමතක වූ නමක් වෙත්නම් සමාවෙත්වා!

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා