ධම්පියා අටුවා ගැටපදය

ධම්පියා අටුවා ගැටපදය

අනුරාධපුර යුගයෙහි රචිත කෘතීන් අතරින් අද ඉතිරිව ඇති වැදගත්ම ග්‍රන්ථය වනුයේ ධම්පියා අටුවා ගැට පදයයි. මේ පාලි ධම්මපදට්ඨ කථාවන්ට කළ අර්ථ විවරණයකි. නැතහොත් ගැඹුරු තැන් ලිහිල් කිරීමකි. එසේ වුවද මෙම ග්‍රන්ථයෙහි කිසිම තැනෙක කෘතියෙහි මේ නම සඳහන් නොවේ. පොතෙහි සඳහන් වන්නේ මෙය සන්න පොතක් වශයෙනි.

මෙම කෘතිය රචනා කරන ලද කාලය පිළිබඳව ද නිගමනයකට බැසීමට සිදුව ඇත්තේ එහි එන විවිධ සහේතුක සාධකයන් මතය. පොත අවසානයෙහි “දෙබි සෙවැ ජා අභාසලමෙවන් කසුබ් මහ රජ්හු දම්පියා අටුවාවට කළ සන්න්‍යය” යයි සඳහන් වන පාඨය මේ සඳහා තීරණයක් ගැනීමට ප්‍රබල සාධකයක් විය. ඉන් කියවුනේ දෙවරක් අභිෂේක ලද අබාසලමෙවන් කාශ්‍යප රජකු ගැනය. ඒ පස්වන කාශ්‍යප රජ බවට සැකයක් නැත. ඒ අනුව ධම්පියා අටුවා ගැට පදය පස්වන කාශ්‍යප රජුගේ කෘතියක් බව පිළිගැනේ.

මේ රජතුමා රජකළේ ක්‍රි.ව. 908 සිට 918 දක්වා කාලය තුළය. මෙකලට අයත් මෙතුමාගේම කෘතියක් වන අභයගිරි ශිලා ලිපියද මේ කරුණු තවදුරටත් සනාථ කරයි. අභයගිරි ශිලා ලිපියෙහි එන භාෂා ස්වරූපය, අක්ෂර වින්‍යාසය, ආදියත් මේ කෘතියෙහි එන යෙදුම් හා භාෂා ප්‍රයෝගත් සසඳනවිට ඉතාම සමීප සම්බන්ධයක් පෙනෙයි. මේ හැරුණු විට අපේ වංශකතාව වන මහා වංශය අනුවද පස්වන කාශ්‍යප රජතුමා බහුශ්‍රැත පඬිවරයෙකි. ගත් කතුවරයෙකි. මේ සාධක සියල්ල එක්කළ අපේ විද්වතුන්ගේ පිළිගැනීම අනුව ධම්පියා අටුවා ගැටපදය නියතයෙන් ම පස්වන කාශ්‍යප රජුගේ කෘතියකි. කර්තෘ පිළිබඳ ප්‍රශ්නය එසේ නිමා වෙයි.

ධම්මපදට්ඨ කථාවේ අර්ථ විස්තර කිරීම පරමාර්ථ කොට ගත් කෘතියක් වුවද මෙය ඊටත් වඩා වැදගත් වනුයේ සිංහල භාෂාවේ සංවර්ධන ස්වරූපය, හැඩ ගැස්ම ඉන් පිළිබිඹු වන බැවිනි. මෙකල එනම්, දහවන සියවස සංස්කෘත භාවිතය මෙහි වුවද මෙම කෘතියෙහි බොහෝවිට යෙදී ඇත්තේ පාලි තත්සම පදයන් ය. සමහර තැනෙක සංස්කෘත පද එතත් එකොළොස්වන දොළොස්වන සියවස්වල රචිත කෘතීන්හි මෙන් සංස්කෘත බලපෑමක් මෙහි දක්නට නැත.

එසේම මෙහි සමහර තැන්වල අර්ථ දක්වා ඇත්තේ පාළියෙන්ම ය. නිදසුන් වශයෙන් දැක්වුවහොත් “පකට්ඨාය ආසන්නයාය, සීලවිපත්ති සීලභෙදං, සීල විනාසං” වැනි තැන් දැක්විය හැක. තවත් අවස්ථාවන්හි දී පාලියෙන් පදගතාර්ථය දක්වා එය සිංහල භාෂාවෙන් විස්තර කළ තැන්ද ;ව්. තවත් සමහර විට පාළි සිංහල භාෂා දෙකින්ම අර්ථ විග්‍රහ කර ඇත. කථා වස්තූන්ට නම් ඉදිරිපත් කිරීමේ දී මේ දෙයාකාරයම අනුගමනය කර ඇත. “කොසඹෑවත, මහාකාල තෙරුන්වන්වැනි හුදුහෙළ නාමයන් මෙන්ම මට්ටකුණ්ඩලී වස්තු, කාලි යඛිකිනියා වත්ථු, වැනි පාලියෙන්ම දැක්වූ නාමයන්ද වෙයි. මෙහි එන භාෂා ප්‍රයෝගයන් හැදෑරීම සිංහල භාෂාවෙහි ඉතිහාසයට විශිෂ්ටතම ආලෝක ධාරාවකි.

වාග් විද්‍යාත්මක වශයෙන් විශිෂ්ටත්වයක් ගන්නා මෙම කෘතිය භාෂා ශාස්ත්‍ර හදාරන්නවුන්ට මහඟු ආලෝකයකි.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා