රිවස්ටන් කපොල්ලෙන් පුංචි ලෝකාන්තයට

රිවස්ටන් කපොල්ලෙන් පුංචි ලෝකාන්තයට

හෝ හෝ හඬින් නිරන්තර සරලිති නගන සයුර සුසුදු වැල්ල සිප ගන්නා ඉන්දු සාගරයේ මුතු ඇටය එසේත් නැත්නම් පෙරදිග පාරාදීසය වැනි සුවිසෙස් නම් වලින් ලෝ පතල ශ්‍රී ලංකාවට ඒ වටිනාකම ලබා දීමට උරදුන් දහසකුත් එකක් සම්පත් අතරින් සිරිලක බිම් සොබාවද අග්‍රගන්‍ය තැනක් ගනියි.

මිහිදුම් සළු උනා දමන්නට අකැමැත්තෙන් ලතැවෙන කඳු හෙල් හා ඒ අතර ගොඩ නැගුණු මොහොර, සානු, දෝණි, නිම්න, කඳුකර තැනි යනාදී බොහෝ භූ විෂමතාවන් මෙම අපිරිමිත බිම් සොබාවට තම දායකත්වය සපයයි. ඒ අතරින් එක් තැනක ඇද හැලෙන කිරි පෙන පුඬු නංවන දිය ඇල්ලක් ලෝකයෙහි ම සිරිලකට අභියෝග කළ හැකි රටක් ඇත්දැයි උදම් සිතින් හිනැහෙන යුවතියක් වැන්න.

සිරිලක මනහර බව පිළිබඳව ඉතිහාසයේ සිට ම නොයෙක් ආගන්තුකයෝ නොයෙක් දේ පැවසූහ. ලෝ පතල සැරිසරුවකු වූ මාකෝ පෝලෝ 13 වැනි සියවසේදී ශ්‍රී ලංකාව හඳුන්වා ඇත්තේ මුළු ලොවේ ම තිබෙන සම දූපත් අතරින් රමණීයම දිවයින ලෙසිනි. හතරැස් කිලෝ මීටර හැටපන් දහසකට සීමා වූ ඉතා කුඩා බිම් පෙදෙසක පවතින මිහිතල විසමතා මෙරට මෙන් සිය ගුණයක් තරම් විසල් මහද්වීපයකවත් ඇතැම්විට දැකිය නොහේ.

සිරිලක මිහිතල විසමතා ගොඩ නැගී ඇත්තේ මෙරට දේශගුණයත් මෙරටේ මිහිතල ලක්ෂණත් හේතුවෙනි. මෙකී ස්වභාවික විෂමතා සොබාවිකව පෙනෙනයුර පිළිබඳ සැලකීමේ දී ශ්‍රී ලංකාව කොටස් තුනකට බෙදීමට පුළුවන. එනම් වෙරළ බඩ තීරුව, උස්බිම් හා කඳු බිම් යනුවෙනි. “මනරම් මහිමයෙන් සහ චමත්කාර ජනක විසිතුරු බවෙන් සංකලනය වූ වර්ණනා විෂයයෙන් ඔබ්බට ගිය දර්ශනයක් ලෝකයේ අන් කවර තැනක හෝ දැකිය නොහැකියි.”ශ්‍රීමත් එමර්සන් ටෙනන්ට් ඇල්ල කපොල්ල ගැන මෝහනයෙන් පවසද්දී ඒ රමණීය බව හිමි කඳුකරයෙහි තවත් ඉසව්වක අප නෙත් අමන්දානන්දයට පත් කරගන්නට අපට වරම් ලැබුනි.

ගමන් සඟයන් පස් දෙනකු ද මාද රැගත් වෑන් රථය මාතලේ නගරය පසු කර කළුදෑවල වේරගම – රත්තොට මාර්ගය දිගේ ඉදිරියට ඇදෙයි. මඟ දෙපස බොහෝ දුරට පයිනස් වනාන්තර හා තේ වතු යායන් ගෙන එන දසුන සුන්දර ය. ගමනාරම්භය සිදු වුණේ හිමිදිරියේ බැවින් හිරු හෙමින් හෙමින් තම යටත් විජිතය දෙස එබිකම් කරන හෝරාව ගෙවෙමින් තිබේ. උස් රිටක් අතැතිව රන් දළු කූඩ කෙරෙහි එල්ලාගත් දමිළ කාන්තාවෝ තම ජීවිකා වෘත්තිය ආරම්භ කරන්නට මාර්ගය දිගේ එක් පෙළකට ඇදෙයි.

තවත් තැනක කාන්තාවන් තේ දළු නෙලමින් තම කූඩ පුරවා ගනියි. එතරම් පළල් නොවූ මාර්ගය නැංවෙමින්, ඇඹරෙමින් ඉදිරියට යන්නට සෑහෙන වෙහෙසක් දරයි. ඇතැම් තැනක මහනුවර හසලක, මහියංගනය මාර්ගයේ හමුවන දහ අට වංගුවලට නොදෙවෙනි වැලමිටි වංගු ය. ඒ ඔස්සේ මා මිතුරා රිය පැදවූයේ ප්‍රවේසමෙනි. නමුත් මාර්ගය එතරම් ජනාකීර්ණ නොවූ නිසා ගමන මඳක් වේගවත් ය.

ඡායාරූපය - ප්‍රියන්ත බණ්ඩාර

රථයෙහි කවුළුවලින් දිස්වෙන ඈත කඳුහෙල්වල දර්ශනය ඉතා වින්දනීය ය. ඒවා බොහොමයක් ඝන මිහිදුම් තුහිනයෙන් වැසී බොඳව ගොසිනි. අපි දිගින් දිගට ම ගමන් කලෙමු. අපේ ඉලක්කය රිවස්ටන් කපොල්ල හා පුංචි ලෝකාන්තය දැක ගැනීමයි.

ගමන මදින් මද ඉදිරියට යත්ම ප්‍රදේශය මිනිස් ජනාවාසයෙන් බොහෝ ඈත බව අපට සිතුනි. රථයක් පවා මාර්ගයේ හමු වුණේ ඉතා කලාතුරකිනි. පයිනස් වනාන්තර හා තේ වතු පසුකරමින් දැන් දැන් මාර්ගය ඇදී යන්නේ ඝන වනාන්තරයක් මැදිනි. මෙය නකල්ස් සංරක්ෂිත වනාන්තරය වන්නට ඇත.

කඳු අතරින් ගමන් කරන අතර විටෙක මාර්ගය එක් පසෙකින් කන්දකින්ද තවත් පසෙකින් තෙරක් නොසිතාගත හැකි ප්‍රපාතයකින් ද මායිම් වෙයි. එවිට පහළ මිටියාවත්වල හෙල් මළු තෙත් බිම් ජලාශ හා ජනාවාසයන් ද නෙතු ගැටෙයි. ඇතැම් විටෙක අප ගමන් කල යුතු මාර්ගය ද නෙතු ගැටෙයි. ඇතැම් විටෙක අප ගමන් කළ යුතු මාර්ගය ද වනාන්තර මැදින් පහළ මිටියාවතේ අප එන තුරු බලා සිටියි.

පුංචි ලෝකාන්තය

බොහෝ දුරක් ගමන් කළ පසු අපි පරිසරයේ වින්දනය හොඳින් සංජානනය කර ගන්නට රථය නවතා මඟට අවතීර්ණ වීමු. එතැන “සුලං කපොල්ල” ලෙස හඳුන්වන ප්‍රදේශයකි. කඳු දෙකක් අතරින් වේගයෙන් සුලං ඇදී යයි. ඇතැම් විට එම සුළඟ මාර්ගයේ සිටින අපව ද ගසාගෙන යා හැකි තරම ප්‍රබල ය.

සීතල ද ගත වෙලා ගෙන හමාර ය. එතරම් වින්දනීය අත්දැකීමක් ලබන්නට නම් රිවස්ටන් ම ආ යුතු යැයි මට සිතේ. සුලං කපොල්ල හරහා සුලං වේගයෙන් ගමන් කරනු අපි දකින්නේ කෙසේ ද ? සුළඟට මුසු වූ මීදුම් සළු වේගයෙන් කඳු හෙල් අතරින් ඇදී යනු මනරම් දසුනකි. එහි වේගය පුදුමා කාර ය.

සුළඟේ වේගයට නිරන්තරයෙන් හැඩ ගැසීම නිසා එම ප්‍රදේශයේ ම ගස් වැල් කුරුලු පියවි වනාන්තර ස්වරූපයක් දක්නට ලැබේ. දුහුවිලි පොදක් බෙහෙතකටවත් සොයාගත නොහැකි පරිසරය ඝන හරිත පැහැයෙන් යුක්ත ය. අපි පරිසරය වින්දනය කරන අතර තුර හදිසියේ අවාසනාව අප සොයා ආවේ ද ? මිහිදුම් සළු උනා දමන්නට ප්‍රචණ්ඩ සුළඟ යත්ත දරද්දී කඳු හෙල් කොමලිය හඬනවා විය හැකි ය. නැති නම් ඒ හිංසනය දැක අහස් අම්මා හඬනවා විය යුතු ය. කෙසේ හෝ වර්ෂාවක් අප වෙත ඇදී ආවේ ය. අපි ඉවසා සිටිය මුත් අවාසනාවන්ත නොවුනෙමු. වර්ෂාව කැඳවාගෙන සුළඟ ඈතට ඇදී ගියේ ය. අපිට යළිත් නිදහස ලැබුණි.

“මේ පැත්තෙ හැටි එහෙමයි. වැස්සක් කියල දෙයක් නෑ. ඉඳල හිටල ඔහොම වැහි පොඩ්ඩක් විතරයි” ගමන් ස¼ඟයෙකු පවසයි.

සිරිලක බොහෝ තැන් හී ඇවිද ඇතත් මෙතරම් සොඳුරු බිම් සොබාවක් රිවස්ටන් ප්‍රදේශයේ හැරෙන්නට වෙනත් පෙදෙසක දක්නට නොලැබෙනවා නම් නොඅනුමානය. මම මේ සුන්දර බිම් සොබා කැමරා කාචයක සටහන් කරගන්නට යත්ත දැරීමි. ඉතාමත් සොඳුරු දර්ශනයක් කාචයේ සටහන් කර ගත්ත ද තව මඳක් ඉදිරියට යත්ව වැවෙනා දර්ශනය ඊටත් වඩා සුන්දර යැයි සිතෙයි. යලිත් කැමරා කාචය ඒ වෙත යොමු වන්නේ නිරායාසයෙනි.

“ෆොටෝ අරගෙන ඉවර කරන්න බෑ” අන්තිමේ දී මම විඩාවට පත් වුනෙමි. ඇල්බමයක් තුළට මේ සුන්දර බිම් සොබා සියල්ල කැටි කර ගන්නට තරම් මම වත්කම් නොලදිමි. ඒ හෙයින් සොදුරු දසුන් හිත් පොත තුළ පමණක් සදා අමරණීය සිතුවමක් කරගන්නට මම සිතා ගත්තෙමි.

මාර්ගය ඉදිරියට ඇදෙත් ම එන්න එන්න ම දර්ශනය සුන්දර ය. සිරිලක මිහිපිටි සුරපුරය කැයි මට සිතුනු බව අනිවාර්යයෙන් ම සඳහන් කළ යුත්තේ ය. මේ සදෙව් ලොවෙහි සුව විඳින්නට මම පින් කරන ලද්දෙක්මි.

ගමනේ ඇතැම් තැනක මාර්ගය අසල ගසා තිබූ දැන්වීම් පුවරුවක වන සංරක්ණ දෙපාර්තමේන්තුව - නකල්ස් සංරක්ෂණ වනාන්තරය ලෙස කහ වර්ණ පසු බිමේ කළු වර්ණයෙන් සටහන් කර තිබුණි. දුම්බර හෙල් මඩුල්ල හෙවත් නකල්ස් ශ්‍රී ලංකාවේ මධ්‍යම කඳුකරයෙන් මඳක් ඔබ්බට වන්නට සිරිලක ගිණිකොන දිශාවේ සිට වයඹ දිශාවට හුන්නස්ගිරියේ සිට ලග්ගල දක්වා සැතපුම් 18 ක් පමණ දිගට පැතිරී ගියා වූ එයට ම ආවේණික දුන් මහත් ජෛව විවිධත්වයකින් ද භූ® විද්‍යාත්මක විවිධත්වයකින් ද දේශගුණ විවිධත්වයකින් ද ඊට ම ආවේණික සමාජීය හා සංස්කෘතික අනන්‍යතාවයකින්ද හෙබි බිම් කඩෙකි.

එම බිම් කඩ සිත්කළුය. නෙත් කළු ය. ස්වභාවධර්මයා විසින් අපට දායාද කොට ඇති ජාතික වස්තූන්ගෙන් එකක් ලෙස ද දුම්බර වන පෙත සැලකිය හැකි ය. මහනුවර හා මාතලේ දිස්ත්‍රිත්ක වසා පැතිරී පවතින මෙම කඳුවැටිය දකුණනින් සහ නැගෙනහිරින් මහවැලි නිම්නයෙන් ද බටහිරින් මාතලේ නිම්නයෙන් ද වෙන් වේ.

කඳුවැටියේ බටහිර බෑවුම අධික ලෙස බට වර්ගවලින් වැසී ඇති බැවින් බට දඬුකන්ද නමින් ද , උස් කඳු ශිකර නිතර ම වාගේ මිහිදුමෙන් වැසී ඇති බැවින් හා දුමින් බරවුණු යන අදහස ඉස්මතු කර දුම්බර කඳුවැටිය නමින් ද පැරැන්නෝ මෙය හඳුන්වා ඇත.

ඈත සිට බලන්නෙකුට මිටමෙල වූ අතක ඇඟිලි දක්නට ඇති ආකාරයට කඳුවැටියේ ශිඛර 05ක් දෘෂ්‍යමාන වන නිසා ලංකාව ආක්‍රමණය කළ විදේශිකයන් විසින් මෙය “නකල්ස්” කඳුවැටිය නමින් හැඳින් වූහ. අප ගේ ගමනාන්තය නකල්ස් සංරක්ෂණ වනාන්තරය මධ්‍යයේ පිහිටි ඉළුක් කුඹුර සංරක්ෂණ මධ්‍යස්ථානයයි. අපි ‘නකල්ස්’ ශිඛර 05 හඳුනාගන්නට වෙර දැරීමු.

ගමනේ එක් තැනක වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ ගොඩනැගිලි කිහිපයක් අතැර දමා තිබෙනු දක්නට ලැබේ. ඒවායේ බිත්තිවල සංචාරකයන් විසින් විවිධ නම් ආදිය කටුගා ඇති අයුරු අශෝභන ය. ගුවන් විදුලි සම්ප්‍රේෂණාගාරයක් ස්ථාපනය කර ඇති ගොම්බා නිය නම් මීටර 1904 ක් උස ගිරි හිසට ගමන් කරන්නේ මේ අසලින් බව පැවසේ. රිවස්ටන් පෙදෙසේ සුන්දර පතන ප්‍රදේශය මෙහිදී රමණීයව දිසේ.

ගමනේ තවත් ඉදිරියට යද් දී අපට පුංචි ලෝකාන්තය ඉසව්වට ළඟා විය හැකි විය. මුල් හරියේ දී දක්නට ලැබුණු මඳක් අන්ධකාර ස්වරූපය වෙනුවට හිරු කිරණ හාත්පස ආලෝකමත් කර තිබුණ ද විඩාවක් නොදැනෙන්නේ සුළඟ හේතුවෙනි. දා බිඳු පිසගෙන ඇදෙන සුලඟ සිත නිවා සනසාලයි. වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවෙන් පුංචි ලෝකාන්තය වෙත පිවිසුම් මාර්ගයක් සලකුණු කර ඒ අසල මාර්ගයේ කාර්යාලයක් ද විවෘත කර ඇත. ඉමක් නොපෙනෙන විසල් තලාව මැදින් අපි පුංචි ලෝකාන්තය වෙත ඇදුනෙමු.

එක යායට පෙනෙන තැනිතලාව අවම වශයෙන් කිලෝමීටරයක් වත් දිගු බව නොදනුමාන ය. එය කෙලවර වන්නේ ලෝකාන්තයෙනි.

හිසෙහි පැළඳ සිටි තොප්පිය හිරු මැඩලන සුළඟ මගින් කිසිඳු ප්‍රයෝජනයකින් තොර භාණ්ඩයක් බවට පත් කර තිබුණි. එහෙයින් මම මහා මාර්ගයෙන් ලෝකාන්ත පිවිසුම් මාර්ගය වෙත අවතීර්ණ වෙද්දීම තොප්පිය ගලවා බිම දැම්මෙමි. ඒ සුළඟ එය ඉදිරියට තල්ලු කරගෙන ගිය බැවිනි.

නමුත් අවාසනාවක මහත මාව ගමනාරම්භයෙ හි තබා සැඩ සුලඟ විසින් හිස් වැසුම ගමනාන්තය වෙත ගෙන යන්නට ගත කළේ ඉතා සුළු වේලාවකි. ගමනාන්තයේ සිටි පිරිසක් එය අල්ලා නොගන්නට වගේ හිස් වැසුම මම ගමනාරම්භයේ සිටිය දී ම ලෝකාන්තයේ ගැඹුර බලන්නට ඉඩ තිබුණි.

පුංචි ලෝකානත්ය නරඹන්නට සංචාරකයෝ බොහෝ පැමිණ සිටියේ නැත. ඔවුන් සමඟ එන පොලිතින් වසංගතයෙන් ද මෙම භූ®මිය බේරී ඇති බව කීමට සතුටකි. අපි පුංචි ලෝකාන්තය වෙත ගොස් එහි මිහිර ලදිමු. බෑවුමට මීටර දෙක තුනක් තිබිය දී බිම දිගා වූ අපි උරඟයෙකු ලෙසින් බඩ ගාගෙන ලෝකාන්තය වෙත ළඟා වී ඉන් පහළ එබුනෙමු.

අඩි පන්සියයකට නොඅඩු ප්‍රපාතය ගල් කුළු බිත්තියකින් සීමා වේ. පහළ බලන ගත කීරි ගැසී යන්නේ ය. නමුත් ඉන් පසු පැය ගනනක් වුණ ද වැතිරී බලා සිටින්නට තරම් පුංචි ලෝකාන්තය සුන්දර දර්ශනයකි. හිරු නිසා මිහිදුම බාදාවක් ද උකුස්සෙකු පෙනෙන්නේ ද ඉතා සිහින්ව ය. මම ලෝකාන්තය දෙස ඔහේ බලා සිටියෙමි.

වනාන්තරය මැද පිහිටි ඉළුක් කුඹුර කුඩා නගරය පසු කර අපි ඉළුක් කුඹුර සංරක්ෂණ මධ්‍යස්ථානය වෙත ළඟා වන විට සවස තුන පමණ වී තිබුණි. පිටවල පතන ප්‍රදේශයට වස් ගොමුවේ සිට අලි රංචුවක් සංක්‍රමණය වී ඇති බවට ලැබුණු ආරංචියෙන් වන නිලධාරීහු කාර්යබහුලව සිටියහ. අපි සංරක්ෂණ මධ්‍යස්ථානය වෙත ගොස් දිවා ආහාරය ලබා ගතිමු. ඉන් පසු ඒ අසලින් ගලා යන තෙල් ගමු ඔයට අපගේ ගමනේ මද ගිමන නිවන්නට ඉඩ දීම අතිශය මිහිරි අත්දැකීමකි. මානිගල හා ඒ ආශ්‍රිත දුම්බර වනාන්තරය පසුබිම කරගෙන ගල්ගෙඩි මතින් ගලා එන තෙල්ගමු ඔය කොමලියගේ රස විඳින්නට නම් සංචාරක නඩ කිහිපයක් පැමිණ තිබුණි. අපට විසිරී තිබුණු පොලිතීන් හා වෙනත් ආගන්තුක ද්‍රව්‍ය මෙම රූ කොමළිය දූෂණය කරන්නට යත්ත දරයි. ඒ අකාරුණික හිංසනයෙන් බැට කමින් වුව තෙල්ගමු නදිය තම ඇකයේ රැ¼ දුණු දුම්බරටම පමණක් ආවේණික දුම්බර ගල් පඬියා රැකගෙන සිටියි.

මම ගල් තලාවක් මත හිඳගෙන දෙපා ජලයෙහි ඔබාගෙන සිටියෙමි. ගල් පඬියෝ ඒ දෙපාවල එල්ලෙමින් ද කිති කවමින් ද ඇයැද සිටියේ මේ විනාශයෙන් තමන්ව ගලවා ගන්නට මගේ පෑන මෙහෙයවන ලෙස දැයි මට සිතුනි.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා