පොළොවට ජලය විදින තුඩුගල ඇල්ල

පොළොවට ජලය විදින තුඩුගල ඇල්ල

අහස් ගැබ අන්ධකාරයෙන් වෙලී ගියේ කර්කෂ වූ ගිනියම් අව්ව පරදවමිනි. මාස කිහිපයක ම සිට තුරු ලතා පමණක් නොව මිනිසුන් ගේ විඩාබර ගතට ද සැනසිල්ලක් ගෙන දෙමින් අහස අඳුරු විය. දවසේ මෙහෙවර කඩිනමින් නිමා කළ බටිති, මලිති, ගිරා රංචු ඉක්මන් ගමනින් කැදළි කරා පියැඹූහ. දිගු කාලයක් නිදි යහනේ සිටි වවුලන් බකමූණන් රාත්‍රි වැඩ මුරයට සූදානම් වූහ. රාත්‍රියටත් පෙර උදාවෙමින් පවතින රාත්‍රී කාලය කිසිවෙකුටත් පූර්ව දැනුම් දීමක් කර නොතිබුන ද සියල්ලෝ සියලු දේට සූදානම් ය.

ගැබ්බර වී තිබූ අහස විලිරුදාවෙන් ඇඹරෙන්නට විය. විඩාබර වූ තුරුලතා සනසමින් වැහි බිඳු සතුටු කඳුළු මෙන් තුරුහිස් සිප ගනු පෙනේ. තුඩුගල ඇල්ලට ඉහළින් ඇද වැටුනු වැහි බිඳු ගලින් ගලට රහස් පවසමින් පහළට ගලා හැලෙන්නට විය. ගත වූ නිමේෂයෙන් මහා වාරුසාවක් පරිසරය සිසාරා ඇද හැලෙන්නට විය. පිපාසාවෙන් නිහඬව සිටි සතා සීපාවුන්ගේ ප්‍රීති ඝෝෂා හඬ ප්‍රදේශය දෙවනත් කරන්නට විය.. සියලු සිදුවීම් අතරේ තවත් රාත්‍රියක් නිමාවට පත්විය.

රාත්‍රිය පහන් කළ අප උදෑසනින් තුඩුගල ඇල්ලට ගමන් කළෙමු. පෙරදා විඩාබර දෑසින් අප දෙස බලා සිටි අවට මහ වනය නැගෙන හිරුත් සමගින් අප හා හිනැහෙමින් සිටින අයුරු මනරම් ය. දහසක් සිත තුළ පොරකමින් තිබූ කරදර කම්කටොළු අප සිතින් පහව ගියේ අපටත් නොදැනී ය. ඉඳ හිට පැමිණෙන කූඩැල්ලකු කරදරයක් වුවද එය සෙමින් ගලවා දමා යාම අපට ඒතරම් දෙයක් නොවී ය. ඒ පෙරදා නෑසුනු තුඩුගල කොමලියගේ ප්‍රීති ඝෝෂාව අප සවන් මුසපත් කළ නිසාවෙනි.

අපත් සමඟ ම පසු පසින් පැමිණි රිලා රංචුව ගලින් ගලට පනිිමින් ගසින් ගසට පනිමින් අපට මග පෙන්වී ය. ඇල්ල ඉහළින් ඇති මහ වන පෙතට ගොඩ වූ රිලා රංචුවට දීමට යමක් අප අත නොවීම අපට දුකකි.

ගලින් ගලට ගොඩවෙමින් ඉහළට නැඟි අප දුටුවේ වෙනදා නිහඬව වන තුරුලේ සිටින තුඩුගල කොමලිය නොවේ. පෙරදා රාත්‍රියේ තමා පෝෂණය කළ අති විශාල ජලස්ඛන්ධයක් රැගෙන පහළට ගලා හැලෙන අපූර්ව දසුනකි. පෙණ පිඩු විසිරවමින් මීදුමෙන් පිරී ගිය ඇල්ල නැරඹීමට බොහෝ පිරිස් ඒ වන විට ද පැමිණ හමාර ය.

කළුතර දොඩම්ගොඩ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් තුඩුගල ඇල්ල පාරිසරික අතින් වැදගත් පිහිටීමකින් යුතු ය. කුඩා ජල පහර කිහිපයකින් ආරම්භ වී ගලින් ගල පියවර තබමින් කළු ගඟ කරා දීර්ග ගමනක් යන තුඩුගල කොමළිය අපූර්වත්වයෙන් සපිරි ය. ජල පහර ගලා එන ස්ථාන කිහිපයක දී සුන්දර දසුන් කිහිපයක් නෙත ගැටුන ද පරිසරයට කර තිබූ හානිය අප සිත කනස්සල්ලට පත් කළේය.

පරිසරය පුරාවට දැකිය හැකි විවිධ ශාඛ මල් වර්ග හා නෙත පිනවන සුළු ය. එහෙත් ඒවා අතර සැඟව සිටි ප්ලාස්ටික් බෝතල්, මත්පැන් බෝතල්, පොලිතීන් හා විවිධ අපද්‍රව්‍ය ඉහතින් අප දුටු ස්වභාව සෞන්දර්යයට කරනු ලැබුවේ දැඩි අසාධාරණයකි. ස්වභාව සෞන්දර්යයෙන් අනූන ස්ථාන රස විඳිය හැකි මනසක් පාසැල් බිමෙන් ම ඇති කළ යුතු ය යන්න අපට සිතුනේ සුන්දර ගං කොමළිය අපවිත්‍ර කොට තිබූ අයුරු දැකීමෙනි. තුඩුගල ඇල්ල ඉහළින් ඉගිල ගිය ගිරා රංචුව දෙස බැලුවෙමි. උන් අප අතැර ගොස් ඈත. වන පෙතට පියඹූහ. බොහෝ දේ ඉගෙන ගත යුතුව ඇතැයි අපට සිතුනි.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා