පාකිස්තානයේ දේශපාලන අර්බුදයක්

පාකිස්තානයේ දේශපාලන අර්බුදයක්

පාකිස්තානයේ නව දේශපාලන අර්බුදයක් මතුව තිබේ. ඊට හේතුවී ඇත්තේ පාලක සභාග රජයෙන් එහි දෙවැන්නි විශාලම පක්ෂය ඊයේ ඉවත්වීමයි. ඔවුන් විපක්ෂයට එක්වන බව කියා ඇත.

දැනටමත් ආර්ථික පීඩනයකට ගොදුරුව තිබෙන පාකිස්තානයේ 2010 මැදදී ඇතිවූ විනාශකාරී ජලගැල්මෙන් මිලියන 21 ක් විපතට පත්ව ඇත. ඇෆ්ගන් දේශසීමාවේ තලේබාන් හා අල්කයිඩා බල ප්‍රදේශ පැවැත්මෙන් ගැටුම්කාරීත්ත්වය උත්සන්න වී ඇත.

පාලක සභාගයේ පාර්ශව කරුවකු වූ මුතාහිදා කුවාමි ව්‍යාපාරය ඔවුන්ගේ ඇමැතිවරුන් දෙදෙනෙකු රජයෙන් ඉල්ලා අස්වී දින කීපයකින් පසු පෙරේදා මුළු පක්ෂයම රජයෙන් ඉවත්වන බව කියා සිටියේ ඔවුන් රඳවාගැනීමට රජයේ ප්‍රධාන පක්ෂය වන 'පාකිස්තාන ජනතා පක්ෂය ගත් තැත ව්‍යර්ථ කරමිනි.

මේ අනුව තෙවසරකට පෙර බලයට පත් පාකිස්තාන රජයේ බහුතර බලය ඔවුනට අහිමිවන අතර සමහරවිට රජයට එරෙහි විශ්වාසභංගයක් ගෙන ආවොත් රජය බිඳවැටෙනු ඇතැයි පැවසී තිබේ.

එහෙත් රජය බිඳ නොවැටෙන බව ඒ අගමැති යුසුෆ් රාසා ගිලානි රූපවාහිනිය ඔස්සේ සන්සුන්ව කියා සිටියේ ය.

තමා ඒකමතිකව තේරී සිටින අතර ජාතික රාජ්‍ය සභාවේ සියලුම පක්ෂ තමන්ට ඡන්දය දුන් බව පවසන ඔහු සියලු පක්ෂ සමඟ සාකච්ඡා කරමින් සිටින බව කියා ඇත්තේ නව සභාගයට මං පාදමින් සිටින බවට ඉඟිකරමිනි.

මුතාහිදා පක්ෂයට ආසන 25 ක් හිමි බැවින් ඔවුන් රජයෙන් ඉවත්වීම නිසා පාර්ලිමේන්තුවේ ආසන 342 න් දැන් පාලක පක්ෂයට හිමිව ඇත්තේ ආසන 160 ක් පමණි. මේ අනුව බහුතරයකට අවශ්‍ය ආසන 172 කට 12 ක අඩු තත්ත්වයක් පවතී.

නව අර්බුදකාරිත්වය යටතේ සියලු දෙනාගේ ම ඇස් යොමු ව ඇත්තේ පාකිස්තානයේ ප්‍රධාන විපක්ෂය වන නවාස් මුස්ලිම් ලීගය වෙත ය.

එහෙත් මුස්ලිම්ලීග නායක නවාස් ෂරීෆ් රජයට එරෙහිව විශ්වාස භංගයක් ඉදිරිපත් කිරීම මඟින් රජය පෙරළීමට අවශ්‍ය නැති බව ප්‍රකාශ කර ඇත්තේ රට පත්ව ඇති අර්බුදකාරිත්වයේ වගකීම තම පක්ෂය පිට පටවා ගැනීමට ඔහුට අවශ්‍ය නැති බව පවසමිනි.

මේ අතර වෙනත් සුළුතර පක්ෂ දිනාගනිමින් රජය දිගටම පවත්වාගෙන යාමට ප්‍රයත්න දරමින් සිටින බවද සඳහන් ය.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා