මුද්‍රණය සඳහා

 
වල් අලියා ගම් වදී ද ?

වල් අලියා ගම් වදී ද ?

ලාගෙන යන විට ගම ගැන කියන්නේත්; ගම හැදීමට යන්නේත් ආණ්ඩු පක්ෂය හෙවත් එක්සත් ජනතා නිදහස් සන්ධානය පමණි. අනෙකුත් පක්ෂ කරනුයේ බයිලා කීම ය. එක්සත් ජාතික පක්ෂය ගමට යන්නේ ආණ්ඩු පෙරැළියක් කොට බලය අල්ලාගන්නට ය. ඊට මහා ජවයක් ලැබී ඇති බව ද කියති. හාන්සි වී සිටි ඇත්රජා කෙළින් කළ බව ද කියති. ජනතා විමුක්ති පෙරමුණ ගමට යන්නේ රැල්ල අනෙක් පැත්තට හැරවීමට ය. මෙබඳු රැලි දෙකක් පිළිබඳ මතකය ද අපට තිබේ.

මෙවර පළාත් පාලන මැතිවරණය සඳහා එක්කෝටි විසිහත් ලක්ෂයකට වැඩි පිරිසක් බලා සිටිති. වැඩි සෙනඟක් ඇත්තේ ග්‍රාමීය ප්‍රදේශවල ය. සියලු දෙනා අපේක්ෂකයන්ගේ හා ඒ ඒ පක්ෂවල සෙල්ලම් දෙස බලා සිටිති. සමහරුන් දැනට ම වැඩ පටන්ගෙන තිබේ. එක්සත් ජාතික පක්ෂයේ කොළඹ මන්ත්‍රීවරයකු එම දිසා ලේකම්වරයාට තර්ජනය කර රාජකාරී වැඩට බාධා කර තිබේ. තවත් ස්ථාන කිහිපයක ම එබඳු දේ සිදු වී ඇති බව වාර්තා වේ. ගමේ සහ නගරයේ නායකත්වය ඉල්ලා සිටිනුයේ මැරයන් නම්; ඔවුන් ගැන වග බලා ගැනීම මහජනයාගේ යුතුකම වේ.

මෙවර මැතිවරණයේ දී මුල්තැන ලැබෙන්නේ ගමට ය. ගම යනු ශ්‍රී ලංකාවෙන් හතරෙන් තුනක් බව අපි මීට පෙර ද කියා ඇත්තෙමු. භූමිය අතින් ගත්ත ද, ජනගහනය අතින් ගත්ත ද යථාර්ථය එය වේ. ගමට අවශ්‍ය කුමක් ද ? ගැමියාට අවශ්‍ය කුමක් ද ? මැතිවරණයේ තීරණාත්මක සාධක දෙක එය යි. ස්වභාවික විපත් කිහිපයකින් ගම්පළාත් බොහොමයක් විනාශ වී තිබේ. එය අංශ තුනකින් පෙන්වා දිය හැකි ය. පළමුවන්න වගාබිම් පාළුවීම ය. දෙවන්න නිවාස විනාශවීම ය. තෙවන්න පොදු පහසුකම් බිඳවැටීම ය. මේ සියල්ල පුනරුත්ථාපනය කොට ගැමි ජීවිතය යථා තත්ත්වයට පත් කරන වැඩසටහනක් දැන් අවශ්‍ය වේ. ඊට නායකත්වය දිය හැක්කේ කාට ද ?

අප මුලින් ද සඳහන් කළ ලෙස විපක්ෂය ගම ගැනත් ගැමියා ගැනත් කතා කරන්නේ නැත. ඔවුන් ඉල්ලා සිටිනුයේ කතිරය පමණි. අලියා පෙන්නා කතිරය ලබා ගත හැකි ද ? සීනුව හඬවා කතිරය ලබා ගත හැකි ද ? කතිරය යනු නිකම් ම ඉරි කෑලි දෙකක් නො වන බවත් ඊට වටිනාකමක් ඇති බවත් විපක්ෂය තේරුම් ගත යුතු ය. එක්සත් ජාතික පක්ෂය කල්පනා කරනුයේ ගමේ ඇත්තේ බයියන් කියා ය. නැතහොත් මෝඩයන් කියා ය. පොල් බෑයකින් හෝ කංකුං මිටියකින් හෝ ගමේ ඇත්තනට ලොකු වාසියක් ලැබෙන්නේ නැත. ගම්මුන් ඒවාට රැවටෙන්නේ ද නැත.

ගංවතුර නිසා ගමේ පාරවල් බොහොමයක් කැඩී ගියේ ය. පසුගිය කාලයේ සංවර්ධනය කළ මංමාවත්වල ඉතිරි කොටස් ද සම්පූර්ණ කර ගත යුතු ව තිබේ. ගමට සංවර්්ධනය රැගෙන යන ප්‍රධාන සාධකය පාරවල් ය. ඒ පාරවල් අලියා හදන්නේ නැත. සීනුවට හදන්නට පුළුවන්කමක් ද නැත. විනාශ වූ කුඹුරු යළි අස්වැද්දිය යුතුය. කුඹුරු අස්වද්දන්නට අලි රංචුවකට පුළුවන්කමක් නැත. වල් අලින් කරනුයේ සාරවත් කුඹුරුවලට පැන ඒවා විනාශ කිරීම ය. සීනුව තිබිය යුත්තේ හැඬවීමට මිස වැඩ කිරීමට නො වේ. මේ තත්ත්වයන් තේරුම් ගෙන තීන්දුවක් ගැනීමේ පූර්ණ නිදහස ගැමියාට තිබේ. එක ම කාරනය නො රැව ටී සිටීම ය.

රට ගැන හිතන්නේ ද බඩ ගැන හිතන්නේ දැ’යි කතාවක් තිබේ. මේ කතාව 2010 ජනාධිපතිවරණයේ දී කරළියට පැමිණියේ ය. එදා ජනතාව බඩ ගැන නොව රට ගැන කල්පනා කළ හ. අප ගේ විශ්වාසයට අනුව අදත් ඒ හැඟීම වෙනස් වී නැත. අපට බඩ ගැන කල්පනා කළ හැක්කේ ද රට ගැන කල්පනා කළහොත් පමණි. රට සංවර්ධනය වුවහොත් බඩ ගැන කල්පනා ව සාර්ථක වනු ඇත. සංවර්ධනය නො වූ රාජ්‍යයක සිට බඩ ගැන කල්පනා කිරීම විහිළුවකි. පාන් ගෙඩිය, හාල් සේරුව උගසට තබා ආණ්ඩු වෙනස් කළ කාලයක් තිබිණි. එම කාලයේ පාඩම් ජනතාව අතර තව ම පවතී.

ඇට අටක් හෙවත් ධාන්‍ය රාත්තල් අටක් ලබාදීමට ප්‍රතිඥා දී බලය ලබාගත් ජේ. ආර්. ජයවර්ධන මහතා ඒ පොරොන්දුව ඉටු කළේ නැත. ඒ වෙනුවට මහවැලිය කඩිනම් කළේ ය. කඳුකර ප්‍රදේශයේ මහා ජලාශ ඉදිකිරීමෙන් නායයාම් බහුල විය හැකි බව ද, ජලාශ අසාර්ථක විය හැකි බව ද භූ විද්‍යාඥයෝ පෙන්වා දුන්හ. හිතුවක්කාර ජයවර්ධන මහතා එම උපදේශන පිළිගත්තේ නැත. අද වන විට මහවැලියේ හැම ජලාශයක් අවට ප්‍රදේශයක ම ගිලා බැසීම් හා නාය යාම දකින්නට ලැබේ. මහවැලි සංවර්ධන ව්‍යාපාරය ද ඉලක්ක ජයගත් වැඩසටහනක් නො වේ. හැඟුම්බර වීමේ ප්‍රතිඵලය ඉතා පැහැදිලි ය.

ග්‍රාමීය ප්‍රදේශ සංවර්ධනය කිරීම සඳහා නිශ්චිත හා දුරදක්නා වැඩපිළිවෙළක් තිබිය යුතුය. එම වැඩපිළිවෙළ ඇත්තේ මහින්ද චින්තනය හා එහි ඉදිරි දැක්ම තුළ ය. අප එසේ කියනුයේ සාපේක්ෂ වශයෙන් වසර හැට ගණනක ග්‍රාමීය සංවර්ධන වැඩසටහන් නිරීක්ෂණය කිරීමෙන් පසුව ය. ග්‍රාමීය ආර්ථිකය, ග්‍රාමීය සංස්කෘතිය, අධ්‍යාපනය යන ලෙස මහින්ද චින්තනය සියලු ක්ෂේත්‍රයක් ම ආවරණය වන ලෙස වැඩසටහන් හඳුන්වා දී තිබේ. එම වැඩසටහන් දැනට ක්‍රියාත්මක ය. එම වැඩසටහන් අඛණ්ඩ ව ඉදිරියට ගෙන යෑම සඳහා අවශ්‍ය ප්‍රාදේශීය නායකයන් තෝරාගැනීම ඇත්තේ ග්‍රාමීය ජනතාව අතේ ය. ඔවුන්ගේ තීන්දුව ප්‍රඥාගෝචර නො වුවහොත් සියලු වැඩසටහන් අතරමග නවතිනු ඇත.

ගංවතුරෙන් විනාශ වූ වගාවන් ද පොදු පහසුකම් ද යථා තත්ත්වයට ගැනීම සඳහා විශේෂ යෝජනා ක්‍රම ආණ්ඩුව ක්‍රියාත්මක කරයි. බිත්තර වී ලබාදීම, පොහොර හා සහනාධාර ලබාදීම, එම වැඩසටහන් අතර පවතී. ලෝක ආහාර සංවිධානයේ ද ආධාර ඇති ව නොමිලේ වියළි ආහාර ලබාදීමේ ව්‍යාපෘතියක් ද ක්‍රියාත්මක ය. ඒ වගා හානි සිදු වූ ප්‍රදේශවලට ය. ගම නැංවීමේ යථාර්ථවාදී වැඩසටහනක් ආණ්ඩුවට තිබේ. එබැවින් ආණ්ඩු පක්ෂය ගම ගැන කියයි. ගම ට වැඩ කරයි.


ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත‍්‍ර සමාගම
© 2011 සියලු හිමිකම් ඇවිරිණි.
ඔබගේ අදහස් හා යෝජනා අපි අගයන්නෙමු
[email protected]