ගමේ මිනිසුන්ට බොරු කරන්න බෑ

ගමේ මිනිසුන්ට බොරු කරන්න බෑ

සිරිපාල ගම්ලත්
ඉඩම් හා ඉඩම් සංවර්ධන නියෝජ්‍ය ඇමැති

ර්තමාන දේශපාලන ප්‍රවණතා, පළාත් පාලන මැතිවරණය හරහා රටට අලුත් මඟක් සහ සංවර්ධන මාවතක් ඇතිකර ගන්නේ කෙසේද හා ඉඩම් අමාත්‍යාංශයේ විෂය භාරය පිළිබඳව නියෝජ්‍ය ඇමැති සිරිපාල ගම්ලත් මහතා සමඟ සිදුකළ සංවාදයකි මේ.

* ප්‍රාදේශීය සභා මැතිවරණය සඳහා පසුගියදා නාමයෝජනා පත්‍ර භාර දෙනු ලැබුවා. ආණ්ඩුව දැන් යළිත් පළාත් පාලන ආයතනවල බලය ඉල්ලා සිටිනවා. අවුරුදු පහකට වඩා මේ ආයතනවලින් බහුතරයක බලය ඉසිලුවේ එක්සත් ජනතා නිදහස් සන්ධානයයි. මේ තත්ත්වය තුළ යළිත් නිදහස් සන්ධානය බලය ඉල්ලා සිටින්නේ ඇයි?

අපි අවුරුදු පහකට වැඩි කාලයක් පළාත් පාලන ආයතනවල බලය ලබාගෙන සිටිය බව ඇත්ත. ඒත් අපි මේ කාලය තුළ නිකම් සිටියේ නැහැ. විශාල වැඩ කොටසක් ඉටුකළා. ඒ නිසා තමයි අප මෙවරත් පළාත් පාලන මැතිවරණයේදී පළාත් පාලන ආයතනවල බලය ඉල්ලන්නේ. පසුගිය පාලන කාලයේදී අපට බලය තිබූ පළාත් පාලන ආයතනවලින් විශාල සේවයක් ඉටුවුණා. මේක දේශපාලන විදිහට ගොඩනඟන තර්කයක් නොවෙයි. ජනතාවට දැනුණ ඔවුන් ඇස් දෙකෙන් දුටුව සංවර්ධනයේ ප්‍රතිලාභයි. ඔවුන්ට මේ පළාත් පාලන ආයතනවල සේවය තවදුරටත් අවශ්‍යයි.

ඒ නිසා මට විශාල විශ්වාසයක් හා බලාපොරොත්තුවක් තිබෙනවා මේ පළාත් පාලන මැතිවරණයේදී නිදහස් සන්ධානයට අති බහුතර ආයතන ප්‍රමාණයක බලය අපට ලැබෙයි කියලා. ප්‍රාදේශීය සභා සංකල්පය ඇතිකළ අයගේ බලාපොරොත්තුව වෙලා තිබුණේ මේ පුංචි ආණ්ඩු මගින් ග්‍රාමීය සංවර්ධනය විධිමත් විදිහට ඉෂ්ට කිරීමයි. ඒත් ඔවුන්ට බැරිවෙලා තිබුණා මේ අරමුණු ජය ගැනීමට. ඒ නිසා තමයි අවුරුදු ගණනාවක්ම පළාත් පාලන ආයතනය රටට වැඩක් නැති ගමට වැඩක් නැති සුදු අලියකු බවට පත්ව තිබුණේ.

ඒ නිසා ජනතාව තුළත් මේ ආයතන පිළිබඳ කිසිදු වුවමනාවක් තිබුණේ නැහැ. ඒත් ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගේ පාලනය තුළ ප්‍රාදේශීය සභාවට විශාල වටිනාකමක් ලැබුණා. වෙනත් විදිහකට කියනවා නම් මධ්‍යම රජයේ කාර්ය භාරය ගමට ගෙන ගියේ පළාත් පාලන ආයතනයයි. මේ තත්ත්වය තුළ ප්‍රාදේශීය සභාවට විශාල වටිනාකමක් ලැබුණා යැයි සඳහන් කිරීම අතිශයෝක්තියක් නොවේ. ගමත්, රජයත් අතර බැඳීම් ඇතිකරන ආයතනය බවටයි ප්‍රාදේශීය සභාව පත්වුණේ.

මෙය විශේෂ තත්ත්වයක් විදිහටයි හඳුන්වා දීමට පුළුවන්කම ලැබෙන්නේ. ඒ නිසා මේ වටිනාකම ලබා දුන් රජය වටාත් විශාල සේවයක් ඉටුකළ ප්‍රාදේශීය සභා බොහෝ විශාල පිරිසක් අද වෙද්දි පෙළගැසී සිටිනවා. ඒ නිසා තමයි මම විශ්වාස කරන්නේ මේ පළාත් පාලන මැතිවරණයේදී ජනතාව මේ හැම අංශයක් දෙසම බුද්ධිමත්ව කල්පනා කරලා ඡන්දය පාවිච්චි කරයි කියලා. විපක්‍ෂ මත දරන අය පවා පිළිගන්නවා පසුගිය අවුරුදු පහේදී මීට පෙර නොවූ විරූ තරම් මහා සේවයක් ගමට සිදුවුණා කියලා. ඒ නිසා පසුගිය මැතිවරණවලටත් වඩා බහුතර බලයකින් මේ පළාත් පාලන මැතිවරණය ජයගන්න පුළුවන්.

* එජාපයත් ස්ථිරවම මේ මැතිවරණයෙන් බහුතර ප්‍රමාණයක් ජයගන්න බව කියනවා...?

මම කොළඹ ඉඳලා දේශපාලනය කරන කෙනෙක් නෙවෙයි. ගමට ගිහින් ගමේ මිනිස්සු ඇසුරු කරමින් දේශපාලනය කරන කෙනෙක්. ඒ නිසා මට දේශපාලනය පිළිබඳ හොඳ ඉවක් තිබෙනවා. එජාපය මොන විදිහට තර්ක කළත් අද එජාපයට ගම් මට්ටමින් ශක්තියක් නැහැ. 1994 දී තිබුණ තත්ත්වයත් අද නැහැ. සමහර ගම්වල එජාප ශාඛාවක්වත් නැහැ. ඔහොම තියෙද්දි එජාපයට ඡන්දයක් ජයග්‍රහණය කිරීම තබා තමන්ගේ ප්‍රාදේශීය නියෝජනය ආරක්‍ෂා කිරීම පවා දුෂ්කර ඉලක්කයක් බවට පත්වෙලා තිබෙන්නේ. මේ තත්ත්වය තුළ එජාපයේ ජයග්‍රහණය ගැන කවුරු හරි කියනවා නම් එහි එකම අරමුණ වෙලා තිබෙන්නේ තමන්ට ඉතිරිවෙලා තිබෙන ඡන්ද ප්‍රමාණය හෝ ආරක්‍ෂා කිරීම විය යුතුයි.

* මේ අතර ජවිපෙ කියන්නේ විකල්ප දේශපාලන ධාරාවක් විදිහට තමන් ගම් මට්ටමේ තහවුරු වෙමින් තිබීම නිසා තමන්ට පළාත් පාලන මැතිවරණයේදී ශක්තිමත් නියෝජනයක් ලබාගන්නා බවයි...?

ජවිපෙ නියෝජනය ඉහළ යාමක් කොහෙත්ම සිදුවන්නේ නැහැ. පුංචි ඡන්ද ප්‍රතිඵලය එද්දි ජවිපෙ තවදුරටත් පුංචි වූ දේශපාලන පක්‍ෂයක් බවට පත්වෙන එක වළක්වන්න බැහැ. ජවිපෙ කියන්නේ කවුද? ඔවුන් කරන්නේ මොනවාද? ඔවුන්ගේ දේශපාලන ප්‍රතිපත්ති රටට කොයි තරම් හිතකරද? මේ හැම දෙයක් ගැනම ජනතාවට හොඳ අවබෝධයක් තිබෙනවා. මේ නිසා ජනතා විමුක්ති පෙරමුණට කිසිසේත්ම විකල්ප දේශපාලන බලවේගයක් විදිහට හිස ඔසවන්න බැහැ. අසූව, අනූව දශකවල ජනතාව ජවිපෙට රැවටුණාට අද ඒ විදිහට රවට්ටන්න පුළුවන් ජනතාවක් නොවෙයි ඉන්නේ.

* අත්‍යාවශ්‍ය භාණ්ඩ මිල ඉහළ යාමේ ප්‍රශ්නය අද වෙද්දි ප්‍රධාන දේශපාලන සටන් පාඨයක් වෙලා. මෙයින් ආණ්ඩුවට අවාසිදායක දේශපාලන වටපිටාවක් නිර්මාණය වනවාද?

බඩු මිල අඩුවීමක් වනවාට වඩා වැඩිවීමක් තමයි හැමදාමත් වුණේ. බඩු මිල කියන ප්‍රශ්නය සදාතනික ගැටලුවක් විදිහටයි තිබෙන්නේ. හතළිහේ දශකයට වඩා පනහ දශකයේ බඩු මිල ඉහළයි. පනහට වඩා හැටේ බඩු මිල ඉහළයි. එදා ඉඳන්ම අපි ආණ්ඩු හැදුවේ පෙරලුවේ මේ විදිහේ සරල දේශපාලන කාරණාවලට. ඒ නිසා රටට දිගු කාලීන ප්‍රතිඵල ලබාගන්න පුළුවන් වැඩපිළිවෙළවල් පස්සට ගියා. ක්ෂණික දේවල් තමයි ඉදිරියට ආවේ.අද ජනාධිපතිතුමා ඇතුළු රජය රට සංවර්ධනය වෙත ගෙන යන හොඳ වැඩපිළිවෙළක් සැලැසුම් සහගතව ඉදිරියට අරගෙන යනවා.

එවැනි මොහොතක තමයි බඩු මිල ඉහළ යාමේ ගැටලුව අනපේක්‍ෂිත ලෙස ඇතිවෙලා තිබෙන්නේ. ඒත් මෙය ඉතාමත් තාවකාලිකව ඇති වූ දෙයක්. ඒ නිසා මේ මොහොතේදී ඉතාමත් කල්පනාවෙන් කටයුතු කළ යුතුයි. එදා අප ඉතාමත් ඉවසීමෙන් කැපවීමෙන් කටයුතු කළ නිසා යුද්ධය ජය ගැනීමට පුළුවන් වුණා. සංවර්ධන ඉලක්කයත් මේ විදිහට ජය ගත යුතුයි. මා විශ්වාස කරන්නේ නෑ තාවකාලිකව ඇතිවෙලා තිබෙන මේ තත්ත්වය නිසා ආණ්ඩුවට අවාසිදායක තත්ත්වයක් ඇතිවෙලා කියලා. අද ජනතාව ඉතාමත් බුද්ධිමත්ව තමයි තීන්දු තීරණ ගන්නේ.

* ඔබ නියෝජනය කරන පොළොන්නරුව දිස්ත්‍රික්කය ඇතුළු ප්‍රදේශ රැසක් ගංවතුර නිසා හානියට පත් වුණා. මෙහිදී ගොවිබිම් හානි සහ වාරිමාර්ග හා වැව් හානි සිදුවුණා. මේ තත්ත්වයට ආණ්ඩුවේ විසඳුම් මොනවාද?

ගංවතුර නිසා ප්‍රධාන වැව් කිසිවක් බිඳී ගියේ නැහැ. සුළු වැව් තමයි හානියට පත් වුණේ. මෙහිදී ගොවීන් ඉතාමත් බුද්ධිමත්ව කටයුතු කරමින් වැව්වලට සිදුවන හානි ප්‍රමාණය අඩුකරලා තිබුණා. ඒ නිසා මෙම හානි යථා තත්ත්වයට පත්කරන එක එතරම් අපහසු දෙයක් විදිහට සලකන්න අපහසුයි. මා සිතන විදිහට මේ ගංවතුර නිසා සිදු වූ හානිවලට ඉක්මන් විසඳුම් ලබා දීමට පුළුවන්. ඒ ගැන ආණ්ඩුවට විශේෂ සැලැසුම් රාශියක් තිබෙනවා.

හානි වූ වගාවලටත් රජය සුදුසු ආකාරයට ආධාර ලබා දෙන්නට කටයුතු කර තිබෙනවා. ඒ අතරින් බිත්තර බී යළිත් ලබාදීම, පොහොර නොමිලේ ලබාදීම වගේ දේවල් විශේෂයි. ඒත් අද විපක්‍ෂය ආණ්ඩුවට චෝදනා එල්ල කරනවා ගංවතුරින් විපතට පත්වූවන්ට සැලකුවේ නැහැ, ඔවුන්ට නිසි විදිහට ආධාර කළේ නැහැ කියලා. ඒත් මේ සියල්ලම බොරු විදිහට තමයි හඳුන්වන්න පුළුවන්කම තිබෙන්නේ. යම් විපතක් වෙලා තිබෙනවා නම් ඒ සියල්ල ඉතාමත් කෙටි කාලයක් තුළ සාමාන්‍ය තත්ත්වයට පත්කිරීමට අපට පුළුවන්.

* බිම් සවිය වැනි වැඩපිළිවෙළ පසුගිය අවුරුදු පහේදී ඉඩම් හා ඉඩම් සංවර්ධන අමාත්‍යාංශය මගින් ක්‍රියාත්මක එහි අලුත් තත්ත්වය පිළිබඳව පැහැදිලි කිරීමක් කළ හැකිද?

ආරවුල් ඇති වූ සහ නිසි මිම්මකට නොගත් ඉඩම් යළිත් මැන සහතික පත්‍ර ලබාදීම තමයි මෙම වැඩපිළිවෙළෙහි අරමුණ සහ පරමාර්ථය වුණේ. අදත් ආරවුල් සහිතව මිම්මක් නොමැති ඉඩම් විශාල ප්‍රමාණයක් රට පුරා තිබෙනවා. මේ ඉඩම් නිරවුල් කර ජනතාවට ලබාදීම තමයි මෙම වැඩපිළිවෙළෙහි අරමුණ වෙලා තිබෙන්නේ. අද අපි දකින විදිහට සමහර ඉඩම්වල ආරවුල් පරම්පරා දෙක තුන ඉක්මවලා. ඒත් ඔවුන්ට විසඳුම් ලබාගැනීමට බැරි වෙලා තිබෙන්නේ. බිම් සවිය මගින් එවැනි ගැටලුවලට විසඳුම් ලබාදීම තමයි සිදුකරන්නේ.

මෙම වැඩපිළිවෙළ අවුරුදු දහයක් ඇතුළත අවසන් කරන්න තමයි මුලින් ඉලක්ක කර තිබුණේ. ඒත් දැන් අපේ අරමුණ වෙලා තිබෙන්නේ මීට අඩු කාලයකදී මෙය අවසන් කර ජනතාවගේ දැවෙන ප්‍රශ්නයක් වූ මෙම ප්‍රශ්නයට විසඳුමක් ලබාදීමයි. ඒ නිසා අප බිම් සවිය වැඩපිළිවෙළ අලුත් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස රැසක ආරම්භ කර තිබෙනවා. ඒ වගේම ඉඩම් නිරවුල් වීම රටේ ජාතික සංවර්ධනයටත් යම් විදිහකට බලපානු ලබනවා. ඒ නිසා තමයි ඉඩම් හා ඉඩම් සංවර්ධන අමාත්‍යාංශය මෙම වැඩපිළිවෙළ වේගවත් ලෙස ක්‍රියාත්මක කිරීමට කටයුතු කළේ.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා