සිරිපා බැතිමතුන්ගේ ගිමන්හල පස්බාගේ කෝරළේ

සිරිපා බැතිමතුන්ගේ ගිමන්හල පස්බාගේ කෝරළේ

නාවලපිටිය සහ ගිනිගත්හේන ප්‍රදේශ පසු කොට හැටන් මාර්ගය ඔස්සේ ශ්‍රී පාද වන්දනාවේ ගමන් කිරීමේදී හමුවන පස්බාගේ කෝරළේ ඓතිහාසික වටිනාකම් රාශියකින් හෙබි ප්‍රදේශයකි. මෙම ප්‍රදේශය ශ්‍රී පාද වන්දනාවේ යන බැතිමතුන්ට ගිමන් හැරීමට කදිම ප්‍රදේශයක් වූ බව මෙරට ඉතාමත් පැරැණි සෙල්ලිපියක් වන නවංගම සෙල්ලිපියේ සඳහන්ව ඇතැයි පැවසේ.

එසේම ධ්ඍ වන බුවනෙකබාහු රජු සිරිපා වන්දනාවේ යන අවස්ථාවකදී දේවියත් සමඟ සැවැන්දරපිටිය දේවාලයේ රාත්‍රියක්ගත කළ බවද ජනප්‍රවාදයේ දැක්වේ. ලී වලින් තැනූ සැවැන්දරා පිටිය දේවාලය අදටත් එම ප්‍රදේශයේ පවතී. පල්ලෙගම දේවාලයද එවක තිබූ ඉතාමත් ප්‍රසිද්ධ දේවාලයකි. ඓතිහාසික වටිනාකමින් වෙන්ව ස්වභාව සෞන්දර්යයෙන්ද හෙබි පස්බාගේ කෝරළේ ප්‍රදේශය පිහිටා ඇත්තේ මුහුදු මට්ටමේ සිට උස මීටර් 589 පමණ උසකිනි. වර්ෂය පුරා මිලිමීටර් 42.82 ක පමණ වර්ෂාපතනයක් ලැබෙන නිසා ගස් කොලන් මෙන්ම භූමියද ඉතාමත් සශ්‍රීකය.

ප්‍රාදේශීය සභා ගොඩනැඟිල්ල

වැඩිහිටි දින සැමරුමක්

කොන්ක්‍රීට් කළ මාර්ගයක්

පල්ලේගම ජල ටැංකිය

මැදගහවතුර වැල් පාලම

සෞම්‍ය දේශගුණයකින් හෙබි මෙම ප්‍රදේශය මධ්‍යම පළාතේ ඉතාමත් සුන්දරම ප්‍රදේශයක් වශයෙන්ද සැලකිය හැකිය. ඒ ස්වභාවික සුන්දරත්වය ආරක්ෂා කර ගනිමින් පස්බාගේ කෝරළේ ප්‍රදේශය සංවර්ධනයෙන් පෙරට ගෙන ඒමට පසුගිය කාලය තුළදී ප්‍රාදේශීය සභාවට හැකිවී තිබේ. පස්බාගේ කෝරළේ අතීතයේ ගම් සභාවක් ලෙස පැවැති අතර මෙම ගම් සභාව ග්‍රාමසේවා වසම් 04 කින් සමන්විත විය. නාවලපිටිය වසම, රඹුක්පිටිය වසම, පල්ලේගම වසම, සහ කඩියන්ලෙන වසම ලෙසත්. කඩියන්ලෙන වසමේ කොටසක් ලෙස පැණිතුඩුව නමින්ද වසමක් පැවතිණි.

පසුකාලීනව ගම් සභා ක්‍රමය අහෝසි වී දිස්ත්‍රික් සංවර්ධන සභා ක්‍රමය ක්‍රියාත්මක වී ඇති අතර එම සභාව පාලනය කරනු ලැබුවේ විශේෂ කොමසාරිස්වරයෙක් විසිනි. නමුත් අද වන විට මහජන නියෝජිතයන් සේවය කරන පළාත් පාලන ආයතනයක් බවට පස්බාගේ කෝරළේ පත් වී තිබේ. රමණීය පරිසරයකින් හෙබි මෙම ප්‍රදේශය මැදින් මහවැලි ගඟ ගලා බසී. ගලබඩ ඇල්ල සහ කඩියන්ලෙන දිය ඇල්ල ප්‍රදේශයේ සුන්දරත්වය තවත් ඔප් නංවන අතර මේ සඳහා සංචාරක ආකර්ෂණය ද නිතැතින්ම හිමි වේ. ප්‍රදේශයේ ජනතාවගෙන් බහුතරයකගේ ජීවනෝපාය වන්නේ තේ වගාවයි.

මීට අමතරව භාණ්ඩ නිෂ්පාදනය, අලෙවිය සහ සේවාවන් සැපයීම ආදී වෙනත් ආදායම් මාර්ගයන්ද වේ. ජනතාවගේ මෙම ජීවනෝපායන් සඳහා අවශ්‍ය පහසුකම් සපයාදෙමින් ඔවුන්ගේ ජීවන තත්ත්වය උසස් කිරීමට ප්‍රාදේශීය සභාව කටයුතු කර තිබේ. පසුගිය කාලය තුළදී ප්‍රදේශවාසී ජනතාවට පිරිසිදු පානීය ජලය ක්‍රමවත්ව ලබාදීම විශාල ගැටලුවක්ව තිබුණි. මේ වන විට ප්‍රාදේශීය සභාව දෙවන මිල සම්පාදන සහ සනීපාරක්ෂක ව්‍යාපෘතිය මගින් ග්‍රාම නිලධාරී වසම් 13 ක් ආවරණය වන පරිදි ජලය ලබාදීමට කටයුතු කර තිබේ. ඉදිරියේදී ආසියානු සංවර්ධන බැංකු ආධාර යටතේ තවත් ග්‍රාම නිලධාරී වසම් රැසකට ජලය ලබාදීමටද නියමිතය. එසේම ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය මගින් ග්‍රාම නිලධාරී වසම් කිහිපයකට නොමිලේ ජල සම්බන්ධතා ලබාදීමටද කටයුතු කර ඇත.

පස්බාගේ කෝරලේ ප්‍රාදේශීය සභාව නව ස්ථානයක ස්ථාපිත කිරීමට ලැබීම විශාල ජයග්‍රහණයකි. 2006 වසරේ සිට නව සැලසුම්වලට අනුව ප්‍රදේශයේ යටිතල පහසුකම් සංවර්ධනය කිරීමේ කාර්ය ඇරඹූ අතර ඒ සඳහා ජාතික සවිය, ගම නැගුම, විමධ්‍යගත ආධාර සහ වෙනත් රේඛීය අමාත්‍යාංශවලින් ලැබුණු දායකත්වය ද ඉමහත්ය. ඒ සියලු සහයෝගයන් මධ්‍යයේ ප්‍රදේශය පුරා ප්‍රධාන මාර්ග කාපට් කිරීම, අතුරු මාර්ග කොන්ක්‍රීට් කිරීම, තාර යෙදීමේ කටයුතු සිදු කරන අතරම ඊට සමගාමීව කාණු පද්ධති සකස් කිරීමේ කටයුත්තද ක්‍රියාත්මක කරන ලදී.

2006 වසර වන විට පස්බාගේ කෝරළේ ප්‍රාදේශීය සභාවට අයත්ව තිබුණේ රඹුක්පිටිය මහජන පුස්තකාලය පමණි. ඒ වන විට එහි ක්‍රියාකාරී සාමාජික සාමාජිකාවන් සිටියේද 400 ත් 600 ත් අතර ප්‍රමාණයකි. මේ වන විට කොට්ඨාසය පුරා පුස්තකාල 13 ක් ආරම්භ කර ක්‍රියාකාරී සාමාජිකත්වය 1200 සිට 1500 දක්වා වැඩි කර ගැනීමට සමත් වීම කැපී පෙනෙන සිදුවීමකි.  ප්‍රදේශයේ ජනතාවගේ සෞඛ්‍ය තත්ත්වයට මුල් තැනක් ලබාදෙමින් බෝවන රෝග වැළැක්වීම සඳහා ක්‍රියාත්මක කළ විශේෂ වැඩසටහන් ඉතාමත් සාර්ථක විය. ඒ තුළින් ඩෙංගු උණ වැනි වෛරස් රෝග තත්ත්වයන් සාර්ථකව පාලනය කිරීමට හැකි විය.

එසේම සුනඛ එන්නත් කිරීම් හා සැත්කම් ද විධිමත්ව ක්‍රියාත්මක කර ඇත. ළමා හා මාතෘ සායන පැවැත්වීම විධිමත් කිරීම සඳහාද ප්‍රාදේශීය සභාවෙන් විශාල වැඩ කොටසක් සිදු කෙරේ. විශේෂයෙන් එහිදී මව්වරුන්ට සහ දරුවන්ට අවශ්‍ය භෞතික සම්පත් ලබාදීම කෙරෙහිද අවධානය යොමු කර ඇත. ආගමික සහජීවනය තුළින් සාමකාමී ජීවන රටාවකට ජනතාව පෙළගස්වමින් ආගමික කටයුතු කෙරෙහි ද විශේෂ සැලකිල්ලක් යොමු කර තිබේ. ඒ අනුව පසුගිය කාලයේදී ආගමික ස්ථානවල භෞතික සම්පත් සංවර්ධනය කිරීම සඳහා නන් අයුරින් උපකාර කළේය. ඊට අමතරව ප්‍රජාව තුළ ආධ්‍යාත්මික සංවර්ධනයක් ඇති කරවීම උදෙසා විශේෂ වැඩසටහන්ද සංවිධානය කරන ලදී.

විශේෂයෙන් වෙසක් උත්සවය වෙනුවෙන් වෙසක් පහන් කූඩු තරග පැවැත්වීම, භක්ති ගීත වැඩසටහන් ඉදිරිපත් කිරීම ඒ අතුරින් කැපී පෙනේ. ප්‍රදේශයේ ක්‍රීඩා කටයුතු නැංවීම උදෙසා “ක්‍රීඩාව තුළින් විනය ගරුක සමාජයක්” යන තේමාව යටතේ ප්‍රදේශයේ ක්‍රීඩා සමාජ සඳහා සහ යෞවන සමාජ සඳහා ක්‍රීඩා භාණ්ඩ ලබාදීමටත්, යෞවන කඳවුරු සඳහා නන් අයුරින් උපකාර කිරීමත් ප්‍රාදේශීය සභාව මගින් සිදු කෙරිණි. එසේම ප්‍රදේශයේ දුවා දරුවන්ගේ දක්ෂතා ඔප් නැංවීම උදෙසා සංවිධානය කෙරෙන සාහිත්‍ය උත්සව සඳහාද දායකත්වය ලබාදී තිබීම කැපී පෙනෙන කරුණකි.

ප්‍රදේශයේ ජනතාව වෙනුවෙන් මෙම කටයුතු සිදු කරන අතරම පළාත් පාලන දෙපාර්තමේන්තුවේ අවධානය දිනා ගැනීමටද පස්බාගේ කෝරළේ ප්‍රාදේශීය සභාවට හැකි විය. ඒ අනුව පළාත් පාලන සතිය මධ්‍යම පළාතේ ප්‍රථම ස්ථානයට ගෙන ඒමට සමත් විය.  එසේම 2009 වසර වෙනුවෙන් කාර්ය සාධන තරගයේ මධ්‍යම පළාතේ දෙවන ස්ථානය දක්වා පැමිණි අතර 2008 වසරේදී සමස්ත ලංකා 8 වන ස්ථානය හිමි කර ගත්තේය. මේ අනුව බැලූ කළ පස්බාගේ කෝරළේ ප්‍රාදේශීය සභාව අද විශාල ඉදිරි ගමනක් පැමිණි ඇත. එහිදී ශ්‍රී ලංකාවේ ශීඝ්‍රයෙන්ම සංවර්ධනය වන ආසනය නාවලපිටිය ආසනය බවට පත් කිරීමට කැපවීමෙන් ක්‍රියාකරන වත්මන් ක්‍රීඩා අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතාගේ සහයෝගය බෙහෙවින් ඉවහල් වී තිබේ.
 


නාවලපිටිය සංචාරක සිතියමට ඇතුළත් කරනවා

රෝහණ බණ්ඩාර
හිටපු සභාපති පස්බාගේ කෝරළේ ප්‍රාදේශීය සභාව

* 2600 වසරට වඩා විශාල වෙනසක් අද පස්බාගේ කෝරළේ දකින්න ලැබෙනවා. මේ වෙනසට මුල පිරුවේ කොහොමද ?

මම ප්‍රථම වරට සභාපතිවරයා ලෙස පත්වුණේ 2006 වසරේදීයි. ඒ වෙනකොට මහජනතාව ප්‍රාදේශීය සභාවෙන් ගොඩාක් ඈත් වෙලයි හිටියේ.  ඒ නිසා මම මහජනතාව ඒකරාශී කරගෙන ඔවුන්ගේ අදහස් යෝජනා අරගෙන ඒවාට අනුව නව සංවර්ධන සැලැස්මක් සකස් කළා. සභාවේ ආදායම් මට්ටමත් ඉතාමත් පහළ මට්ටමක තිබුණේ. ඒ නිසා මහජනතාව ලේකම්තුමා සහ මන්ත්‍රීවරුන්ගේ සහයෝගයෙන් සභාවේ ආදායම් මට්ටම ඉහළට ගෙනඒමටත් කටයුතු කළා.

* ප්‍රාදේශීය සභාවේ ආදායම් මට්ටම ඉහළ නැංවීමට ක්‍රියාත්මක කළ වැඩසටහන් මොනවාද ?

ප්‍රාදේශීය සභාව සතුව තිබූ ආදායම තුළින් ජනතා අවශ්‍යතාවයන් ඉටු කිරීම මට විශාල අභියෝගයක් වුණා. ඒ අභියෝගය ජය ගැනීම සඳහා ජනතාව වෙත බදු නොපනවා වෙනත් ආදායම් මාර්ග සෙවීමට මම කටයුතු කළා. ඒ අනුව ග්‍රීන්වුඩ් කලුගල් ව්‍යාපෘතිය, සහ වැලිගොඩ දැමීමේ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරන අතරම සභාවට ටිපර් රථයක් මිලදී ගැනීම, සභාවේ සෘජු ශ්‍රමය යොදා ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම, සන්නිවේදන කුළුණුවලින් සහ කුඩා ජල විදුලි ව්‍යාපෘතිවලින් බදු අය කර ගැනීමට කටයුතු කළා.

* කෙටි කාලයක් තුළදී විශාල සංවර්ධන ව්‍යාපෘති රාශියක් සිදුකිරීම ලොකු අභියෝගයක්. එම අභියෝගය ජය ගන්නට ඔබට හැකි වුණාද ?

ඔව්, ඒ සඳහා මට මහජනතාවගෙන් වගේම ලේකම්තුමා ඇතුළු සියලුම මන්ත්‍රීවරුන්ගෙන් හොඳ සහයෝගයක් ලැබුණා. මේ සංවර්ධන ගමනේදී අපි ප්‍රාදේශීය සභාවට කොටුවෙන්නේ නැතිව ගමට ගිහින් ග්‍රාම නිලධාරී වසම් මට්ටමින් ඒ ප්‍රදේශවල ප්‍රශ්න පිළිබඳ විමර්ශනයක් සිදු කළා. විශේෂයෙන් අය වැය යෝජනා සඳහා ජනතාවගේ අදහසුත් ඇතුළත් කළා. මේ යෝජනාත් සමඟ අපි සිව් අවුරුදු සංවර්ධන සැලැස්මක් සකස් කළා. ඒ තුළින් එතෙක් ප්‍රාදේශීය සභාවෙන් ඈත් වෙලා හිටපු ජනතාව ප්‍රාදේශීය සභාව සමඟ සමීප වුණා. සංවර්ධන කටයුතුවලදී මන්ත්‍රීවරුන්ට ග්‍රාම සේවා වසම් 2, 3 ක් බාරදුන්නා.

* පසුගිය කාලේ සිදු කළ සංවර්ධන කටයුතුවල ප්‍රගතිය කෙබඳුද ?

ප්‍රදේශයේ ජල අවශ්‍යතාවයෙන් 75 % ක් පමණ මේ වන විට සපුරා දී අවසන්. ඉතිරි 25% ඉදිරියේදී සම්පූර්ණ කර දීමට බලාපොරොත්තු වෙනවා. ඒ වගේම ජල සම්පාදන මණ්ඩලයෙන් ජනතාවට පහසුවෙන් ජලය ලබා ගැනීමේ සැලැස්මකුත් ක්‍රියාත්මක කළා. පසුගිය කාලේ මේ ප්‍රදේශයේ වීථි ලාම්පු තිබුණේ නැහැ. ඒ අඩුපාඩුත් සකස් කරලා දුන්නා. ඒ වගේම මාර්ග විශාල ප්‍රමාණයක් ප්‍රතිසංස්කරණය කළා. ප්‍රාදේශීය සභාව පහුගිය කාලේ තිුබණේ අබලන් ගොඩනැගිල්ලකයි. ඒ නිසා මහින්දානන්ද ඇමතිතුමාගේ මඟ පෙන්වීම යටතේ අපි නව කාර්යාල ගොඩනැගිල්ලක් ඉදි කර සභාවේ සේවාව වඩාත් විදිමත් කළා. සියලුම කාර්යයන් පරිගණක ගත කරලා තියෙනවා. 5 ඉ සංකල්පයක් අපේ කාර්යාලය තුළ ක්‍රියාත්මක වෙනවා.

* වගකිවයුතු රාජ්‍ය නිලධාරියෙකු වශයෙන් ඔබගෙන් ජනතාවට ලැබුණු සේවාව කෙබඳුද ?

මම සතියේ දිනවල කාර්යාලයේ රැඳී සිටිමින් ජනතාවගේ අවශ්‍යතා සපුරා දීමට කටයුතු කළා. මහජන පැමිණිලිවලදී නිලධාරී යොදවා කඩිනමින් ජනතාවගේ ගැටලු විසඳාදීමට කටයුතු කළා. විශේෂයෙන් මේ මහජන පැමිණිලි සඳහා වාර්තාවක් සකස්කර ඒවා විසඳීමට යම් ආකෘතියක් සකස් කර තිබුණා. නාවලපිටිය ආසනය සංවර්ධනය කිරීම සඳහා මහින්දානන්ද අලුත්ගමගේ මැතිතුමා විශාල කාර්යභාරයක් සිදු කරනවා. මටත් එහි කොටස්කරුවෙක් වීමට ලැබීම ගැන සතුටු වෙනවා. මහජන අවශ්‍යතා ඉටු කිරීමේදී ගොඩනැගිලි අයදුම්පත් අනුමත කිරීම, විදි රේඛා සහතික ලබාදීම, පරිසර බලපත්‍ර ලබාදීම, වෙළෙඳ බලපත්‍ර ලබාදීම ආදියත් ඉතා කඩිනමින් ඉටු කරදීමට කටයුතු කළා.

* ප්‍රදේශයේ භෞතික වශයෙන් සංවර්ධනය කරන අතරතුර පුද්ගලයන්ගේ ආධ්‍යාත්මික සංවර්ධනය සඳහා ක්‍රියා කළේ කෙසේද ?

ප්‍රාදේශීය සභාවේ සේවාව පුද්ගලයාගේ උපතේ සිට මරණය දක්වා විහිදීතිබෙනවා. ඒ අනුව ජලය, විදුලිය, මාතෘ සායන, නිවාස ඉදිකරදීම, සුසාන භූමි ඉදිකිරීම, නඩත්තු වැනි සංවර්ධන කටයුතු සිදු කරන අතරම ජනතාව තුළ ආකල්පමය වෙනස් සිදු කර ආධ්‍යාත්මික වශයෙන් ඔවුන් දියුණු කිරීමටත් අපි කටයුතු කළා. විශේෂයෙන් පෙර පාසල් අධ්‍යාපනය අවිධිමත්ව තිබූ යුගයක පෙර පාසල් ගුරුවරියන් සඳහා අවශ්‍ය පාඨමාලා ක්‍රියාත්මක කර ඉන් පෙර පාසල්වල ගුණාත්මක භාවය වැඩි කිරීමටත් කටයුතු කර තිබෙනවා.

* පස්බාගේ කෝරලේ ප්‍රදේශයේ ඔබ හඳුනාගත් තවමත් විසඳුම් ලබාදීමට නොහැකි වූ ගැටලු තිබෙනවාද ?

ඔව් අපි ඉදිරි වසර වලදීත් අපේ කොට්ඨාසයේ ආර්ථික ආගමික සාරධර්ම සංවර්ධනය කිරීමට බලාපොරොත්තු වෙනවා. විශේෂයෙන් ගම් මට්ටමින් ක්‍රියාත්මක විපරම වැඩසටහන තුළින් ජනතාවගේ සම්පත් හඳුනාගෙන අඩු ආදායම්ලාභීන්ට නව ආදායම් මාර්ග සකස් කරදීමට කටයුතු කරනවා. මේ වැඩසටහන මගින් ජනතාවගේ ශක්තීන් සහ දුර්වලතා හඳුනාගෙන ශක්තීන්ගෙන් උපරිම ප්‍රයෝජන ලබා ගැනීමට සහයෝගය දෙනවා.

මේ ප්‍රදේශයට සුන්දරත්වයක් එක්කරන ගලබඩ ඇල්ල සහ කඩියන්ලෙන දිය ඇල්ල අවට සංවර්ධනය කර සංචාරක ආකර්ශනය ලබා ගැනීමටත් බලාපොරොත්තු වෙනවා. නාවලපිටිය ආසනය ඉතා සුන්දර ප්‍රදේශයක් වුවත් තවම සංචාරක සිතියමේ නාවලපිටිය සටහන්වෙලා නැහැ. ඒ නිසා මේ ප්‍රදේශය වඩාත් ආකර්ෂණීය ලෙස අලංකරණය කොට සංචාරක සිතියමටත් ඇතුළත් කරන්න බලාපොරොත්තු වෙනවා.
 


ඉස්සරට වඩා ගම දියුණුයි

ගොවිජන සංවිධානයේ සභාපති ඩී. ඒ. සුදු බණ්ඩාර

අපේ ප්‍රදේශයේ ඉස්සරට වඩා සංවර්ධන කටයුතු සිදු කරලා තිබෙනවා. ඉස්සර මේ ප්‍රදේශයේ යටිතල පහසුකම් ප්‍රශ්න තිබුණා. විශේෂයෙන් ක්‍රමවත් මාර්ග පද්ධතියක් තිබුණේ නැහැ. දැන් මාර්ග සියල්ලම වාගේ සකස් කර තිබෙනවා. එමගින් තේ දළු ප්‍රවාහනය ආදි කටයුතු සඳහා විශාල සහයක් ලැබෙනවා. කටුකිතුලගම ප්‍රදේශයේත් මාර්ග කොන්ක්‍රීට් කරනවා. ඒ ප්‍රදේශයේ පානීය ජල ප්‍රශ්නයට විසඳුමක් ලෙස ජල ව්‍යාපෘතියක් ආරම්භ කර තිබෙනවා. ඒ වගේම විදුලිය නොමැති අයට විදුලිය ලබා දෙන්නත් කටයුතු කරනවා.
 


ඉතුරු ප්‍රශ්නත් විසැඳුවොත් හොඳයි

ග්‍රාම සංවර්ධන සමිතියේ සභාපති ඩබ්ලිව්. ජී. සුරසේන

ප්‍රාදේශීය සභාවේ සහයෝගයෙන් පසුගිය කාලේ අපේ ප්‍රදේශයේ ජල ප්‍රශ්නය විසඳුවා. මංමාවත් ඉදිකිරීමත් කොටස් වශයෙන් සිදු කරනවා. මංමාවත් ඉදිකිරීම සම්පූර්ණයෙන් නිම කර නැහැ. මීට පෙර ප්‍රාදේශීය සභාවෙන් ලැබුණට වඩා 60 % පමණ සෑම ක්ෂේත්‍රයකම සංවර්ධනයක් තිබෙනවා. මහා මාර්ග සකස් කරද්දී ඊට සමගාමීව කාණු පද්ධතියක් ඉදි කරනවා නම් හොඳයි. මාර්ග දෙපස වීථි ලාම්පු නිසි පරිදි පවත්වාගෙන යනවා. කුණු කසල එකතු කිරීම් සහ පිරිසිදු කිරීමේ කටයුතුත් ඉතා හොඳින් සිදු කෙරෙනවා. මේ ප්‍රදේශයේ රැකියා විරහිත තරුණ තරුණියන් විශාල පිරිසක් සිටිනවා. ප්‍රාදේශීය සභාව මාර්ගයෙන් හෝ රජය විසින් එම තරුණ තරුණියන්ට රැකියා ලබා දෙයි කියලා අපි බලාපොරොත්තු වෙනවා.
 


ස්වයං රැකියා පුහුණුව හොඳයි

සමෘද්ධි සංවර්ධන නිලධාරී ඒ. ඒ. තමිල් අරසි

අපේ ප්‍රදේශයේ දැන් කියන්න තරම් අඩුවක් නැහැ. ප්‍රාදේශීය සභාවෙන් පාරවල් හදලා විදුලිය ලබාදීලා තියෙනවා. ඒ වගේම අපේ ප්‍රදේශයේ තිබුණු ජල ප්‍රශ්නයත් ප්‍රාදේශීය සභාවේ මැදිහත්වීමෙන් විසඳුවා. පෙර පාසල් ආරම්භ කර නිල ඇඳුම් ලබාදීමටත් කටයුතු කළා. ඒ වැඩසටහන වතුකරයෙත් ක්‍රියාත්මක වෙනවා. අපේ ප්‍රදේශයේ ඉන්න රැකියා විරහිත තරුණ තරුණියන්ට ස්වයංරැකියා සඳහා පුහුණු වැඩසටහනුත් ප්‍රාදේශීය සභාවෙන් ක්‍රියාත්මක කළා. ඒ කටයුතු ඇත්තටම අගය කළ යුතුයි.
 


හොඳ සේවාවක් ලබා දෙනවා

ගෘහණියක් - ප්‍රේමා හෙට්ටිආරච්චි

පස්බාගේ කෝරළේ කියන්නේ දුෂ්කර පහසුකම් අඩු ප්‍රදේශයක් කියලයි බොහෝ දෙනෙක් හඳුනාගෙන සිටියේ. නමුත් ඒ තත්ත්වය වෙනස් කරන්න ප්‍රාදේශීය සභාවට හැකි වුණා. පහුගිය කාලේ සභාවට අයිතිවෙන්න තිබුණු මුදල් ගෙන් ගෙට ගිහින් අයකර ගත්තා. ඒ මුදල්වලින් ප්‍රදේශයේ සංවර්ධන කටයුතු විශාල ප්‍රමාණයක් සිදු කරා. පාරවල් හැදුවා. ජල ප්‍රශ්නය විසඳුවා. ඒ වගේම ළදරු පාසල්වලට නිල ඇඳුම් ලබාදීමත් ප්‍රාදේශීය සභාවෙන් සිදු කළා. ඇත්තටම කියන්න බැරි තරම් සේවාවක් ප්‍රාදේශීය සභාවෙන් සිදු කෙරෙනවා.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා