එංගලන්තයේ දී ‘සක්විති’ රැඟුම් පෑ ශ්‍රී ලාංකිකයා වසර 8ක් සිපිරිගෙට

එංගලන්තයේ දී ‘සක්විති’ රැඟුම් පෑ ශ්‍රී ලාංකිකයා වසර 8ක් සිපිරිගෙට

මූල්‍ය වංචාව කෝටි 15ක්

එංගලන්තයට ගොස් එහි සිටින ශ්‍රී ලාංකිකයන් මුලාකොට රුපියල් කෝටි ගණනක් වංචාකළ ශ්‍රී ලාංකිකයෙකුට එරට අධිකරණය මඟින් වසර 8 ක සිර දඬුවම් නියම කර තිබේ.

මොහු විසින් සිදු කරන ලද මහා පරිමාණ මූල්‍ය වංචාවන් සම්බන්ධයෙන් මීට මාස කීපයකට පෙර ස්කොට්ලන්ඩ් යාඩ් පොලිසිය මඟින් මොහු අත්අඩංගවට ගෙන තිබුණි. පිරමීඩ මූල්‍ය වංචා ක්‍රමයට සමාන “පොන්සි’ නමැති ක්‍රමය යටතේ අධික පොලී ගෙවන බවට ප්‍රකාශ කර මොහු කෝටි ගණනක් මුදල් වංචා කර ඇත.

එංගලන්තයේ සිටින ශ්‍රී ලාංකිකයන් විසින් කරන ලද පැමිණිල්ලකට අනුව සැකකරු අත්අඩංගුවට ගත් ස්කොට්ලන්ඩ් යාඩ් පොලිසිය සිදුකළ පරීක්‍ෂණවලදී ඔහු විසින් සිදුකර ඇති මූල්‍ය වංචාව කෝටි 15 ක් පමණ වන බව හෙළිවී තිබේ. මොහු සමඟ තවත් හයදෙනෙක් අත්අඩංගුවට ගෙන තිබුණි. සෙසු පිරිසද මේ මූල්‍ය වංචාවලට වරද පිළිගෙන ඇත.

ස්කොට්ලන්ඩ් පොලිසිය යටතේ ඇති වංචා විමර්ශන අංශය මෙහෙයවූ පරීක්‍ෂණවලදී හෙළි වී ඇත්තේ මේ තැනැත්තා සතුව ස්ටර්ලින් පවුම් මිලියනයක් පමණ වටිනා නිවෙසක් හිමි බවයි. මොහුගේ එරට තිබූ ගිණුම් ගණනාවකටද සීල් තබා තිබේ. මෙසේ දඬුවම් ලැබූ තැනැත්තා මෙරට ප්‍රසිද්ධ නිලියකගේ පුතෙකි.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා