මහා බෝධි ප්‍රහාරයේ සැකකරුවන් 7ක් දැලේ

මහා බෝධි ප්‍රහාරයේ සැකකරුවන් 7ක් දැලේ

ඉන්දියාවේ චෙන්නායි නුවර පිහිටි මහාබෝධි විහාරයට ප්‍රහාරයක් එල්ල කිරීම සම්බන්ධයෙන් සැකපිට පුද්ගලයන් 7 දෙනකු එරට පොලීසිය මඟින් අත්අඩංගුවට ගෙන ඇත. ඉන්දියාවේ පෙරියර් ද්‍රවිඩ කලහම් කණ්ඩායමේ පිරිසක් මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති අතර කන්චිපුරම්හි පදිංචි ඩේවිඩ් පෙරියාර් (30) , සිරුසෙරිහි පදිංචි රවි කුමාර් (30) , පොන්තේරිහි පදිංචි බාස්කර් (32) අය මෙහිදී අත්අඩංගුවට පත්ව තිබේ. 

ඊට අමතරව සුරේන්ද්‍ර(25) , මලයපෝර්හි පදිංචි අප්පු (30), සුගුමාර්(37) සහ රොයපෙටාහි පදිංචි සම්පත් (32) අයද අත්අඩංගුවට පත් වූවන් අතර සිටින බව තානාපති ආරංචි මාර්ග සඳහන් කරයි.  ඉන්දියාවේ චෙන්නායි නුවර පිහිටි මහා බෝධි මධ්‍යස්ථානයට පසුගිය 24 දා රාත්‍රියේ කිසියම් කණ්ඩායමක් විසින් ප්‍රහාරයක් එල්ල කරන ලද අතර ඒ අවස්ථාවේ විහාරයේ වැඩ විසූ හිමිවරු 3 නමක් තුවාල ලැබූහ.

ඊට අමතරව එම විහාරස්ථානයටද හානි සිදුවිණි.මේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් පිරිස රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට එරට ආරක්ෂක අංශ පියවර ගෙන තිබේ. අදාළ සිදුවීම පිළිබඳව වැඩිදුර පරීක්ෂණ ක්‍රියාත්මක බවද වාර්තා වෙයි.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා