පෞද්ගලික ඔසු සල්වල රජයේ ඖෂධ තහනම්

පෞද්ගලික ඔසු සල්වල රජයේ ඖෂධ තහනම්

රජයේ රෝහල්වල ඖෂධ පෞද්ගලික ඔසුසල්වල අලෙවි කිරීම වැළැක්වීමේ විශේෂ පනතක් පාර්ලිමේන්තුවට මේ වසරේ ඉදිරිපත් කිරීමට සෞඛ්‍ය ඇමැති මෛත්‍රීපාල සිරිසේන මහතා තීරණය කැර ඇත. කිසියම් පෞද්ගලික ඔසු සලක රජයට අයත් ඖෂධ විකිණීමට තබා තිබුණහොත් එකී ඔසු සලේ බලපත්‍රය අනිවාර්යයෙන්ම තහනම් කිරීමටත්, එම ඖෂධ එකී අලෙවි සල්වලට අලෙවි කළ තැනැත්තා රජයේ රෝහලක හෝ වෙනත් රජයේ සේවකයකු නම් ඔහුට එරෙහිවත්, පෞද්ගලික ඔසු සලේ අයිතිකරුට එරෙහිවත් දැඩි නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට මේ නව පනතෙන් බලය ලැබෙන බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ ප්‍රකාශකයෙක් ‘දිනමිණ’ ට පැවැසීය.

වකුගඩු රෝගීන්ට ලබාදෙන ඉතා මිල අධික ඖෂධ අලෙවි කරමින් සිටි ත්‍රිරෝද රථයක් පසුගිය සතියේ අත්අඩංගුවට පත් විය. ඒ පිළිබඳ සිදු කළ පරීක්ෂණවලදී එම ඖෂධවල රජයේ නිල ලාංඡනය තිබූ බව අනාවරණය වී තිබේ. ඒ අනුව එම ඖෂධ රජයේ රෝහල්වලට රජයෙන් නොමිලේ නිකුත් කරන ඖෂධ විය යුතු බවට සෞඛ්‍ය අමාත්‍යාංශය සැක පහළ කරයි. මෙසේ රජයේ නිල ලාංඡනය සහිත ඖෂධ අලෙවි කිරීම තහනම් ක්‍රියාවකි. එසේම විලවුන් උපකරණ හා ඖෂධ අධිකාරියේ ප්‍රතිපත්තිය යටතේ ඖෂධ ගෙන යාම සඳහා ත්‍රිරෝද රථවලට අවසර ලබා දෙන්නේ නැත.

ඖෂධ සඳහා හිතකර පාරිසරික තත්ත්වය එම රටවල නොතිබීම එයට හේතුවයි. මෙකී ත්‍රිරෝද රථයෙන් ඖෂධ මිලදී ගැනීමට රෝගීන් යොමු කර ඇති බවට ද කරුණු අනාවරණය වී තිබේ. එසේ රෝගීන් යොමු කර ඇත්තේ කවුරුන්දැයි සොයා බැලීමටත් සිද්ධිය පිළිබඳ පොලිසිය සිදු කරන පරීක්ෂණයට අමතරව අමාත්‍යාංශය මට්ටමින් වෙනම පරීක්ෂණයක් සිදු කරන ලෙස සෞඛ්‍ය ඇමැති මෛත්‍රීපාල සිරිසේන මහතා විලවුන් උපකරණ හා ඖෂධ අධිකාරියට උපදෙස් දී ඇති බවත් සෞඛ්‍ය අමාත්‍යාංශයේ ප්‍රකාශකයා වැඩිදුරටත් සඳහන් කළේය.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා