හෙට්ටිමුල්ල මීදෙණිය මහ විදුහලේ ගොඩනැඟිලි රැසක් දිරාපත්

හෙට්ටිමුල්ල මීදෙණිය මහ විදුහලේ ගොඩනැඟිලි රැසක් දිරාපත්

පාසල සංවර්ධනය කරන්නැයි ප්‍රදේශවාසීහු ඉල්ලති

කෑගල්ල, හෙට්ටිමුල්ල මීදෙණිය මහා විද්‍යාලය පිළිබඳව අදාළ බලධාරින්ගේ අවධානය යොමු නොවීමෙන් එය වැසීයාමේ තර්ජනයකට ලක්ව ඇතැයි ප්‍රදේශවාසීහු පවසති.1936 වර්ෂයේදී පමණ ආරම්භ කළ මේ පාසලේ මීට වසර දහයකට පමණ පෙර සිසුන් දහස ඉක්මවා අධ්‍යාපනය ලැබූ අතර වර්තමානයේ එම සිසුන් සංඛ්‍යාව එකසිය අටක් පමණ දක්වා ශීඝ්‍රයෙන් අඩුවී තිබේ. මීදෙණිය මහා විද්‍යාලයේ ස්වර්ණමය යුගය වශයෙන් සැලකෙන වසර 1980 සිට 2000 දක්වා කාලයේදී උසස් පෙළ කලා අංශයේ පන්තිවලින් බිහිවූ පිරිස් අද රටේ විවිධ ස්ථානවල උසස් තනතුරු දරමින් සිටිති.

වර්තමානයේ මේ විද්‍යාලයේ ගුරුවරුන් විසිතුනක් සේවය කරති. මේ දිනවල පවතින වර්ෂාවත් සමඟ එක් ගොඩනැඟිල්ලක කොටසක් හදිසියේ කඩා වැටුණු අතර, එහි අනෙක් කොටස් ගෘහ විද්‍යාගාරය පවත්වාගෙන යයි. පාසල් වේලාවෙන් පසු මේ ගොඩනැඟිල්ලේ වහලය කඩා වැටුණු බැවින් සිදුවීමට තිබූ විශාල අනතුරක් වැළකී ගිය බව සිද්ධිය ඇසින් දුටු අය පවසති. මීදෙණිය මහා විද්‍යාලයේ ප්‍රධාන ශාලාවේ වහළයට යොදා ඇති ලී කෘමීන් විද තිබීම නිසා එය ද කඩාවැටීමේ තර්ජනයකට ලක්ව තිබේ.

පාසල් ගුරු නිවාසය ද නිසි නඩත්තුවක් නොමැතිකමින් විනාශ වෙමින් පවතී. දැනටමත් එහි මුළුතැන්ගේ වහළයේ උළු කඩ වැටීමෙන් මුළු වහළයම කොයි මොහොතේ හෝ කඩාවැටීමේ අවදානමක් ඇත. විද්‍යාගාර ගොඩනැඟිල්ලේ වහළයට විදුලි සම්බන්ධතාව ය ලබාදෙන රැහැන් සවිකර ඇති ස්ථානයෙන් වැසි ජලය කාන්දුවීමෙන් එහි වහළයේ පරාල ද දිරාපත්වෙමින් තිබේ.

මීදෙණිය විද්‍යාලය සඳහා සබරගමුව පළාත් සභාවේ කෘෂිකර්ම හා ඉඩම් ඇමැති ශ්‍රී ලාල් වික්‍රමසිංහ මහතා විසින් ලබාදී ඇති ජල සැපයුම ද නිසි නඩත්තුවක් නොමැති ව කඩා දමා තිබේ. මේ හේතුවෙන් පාසල් දරු දැරියන් පානීය ජලය ලබාගැනීමේ ගැටලුවකට ද මුහුණ පා සිටිති. සබරගමුව පළාත් සභාවට අයත් මේ පාසල පිළිබඳව කඩිනම් අවධානය යොමුකර වැසීයාමට ලබානොදී මතු පරපුර වෙනුවෙන් රැක දෙන ලෙස ප්‍රදේශවාසීහු අදාළ බලධාරීන්ගෙන් ඉල්ලා සිටිති.
 

කඩාවැටුණු ගොඩනැඟිල්ලේ සුන් බුන්

කඩා වැටීමට ආසන්න ගුරු නිවාසයේ මුළුතැන්ගෙයි වහළය

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා