මුද්‍රණය සඳහා

 
අන් සතු ඉඩමක රබර් ගස් පෙන්වා මුදල් අරන් මාරුවෙලා

අන් සතු ඉඩමක රබර් ගස් පෙන්වා මුදල් අරන් මාරුවෙලා

දිනපතා පළවන පුවත්පත්වල දැන්වීම් පළකර ඒ මුවාවෙන් අහිංසක ජනතාව මුලාකර මුදල් ගරන පුද්ගලයෙක් ගම්පහ පොලිස් බල ප්‍රදේශයේ හෙණ්ඩිමහර ග්‍රාමයේදී කළ එවැනි කූට ජාවාරමක් පිළිබඳ පුවතක් ගම්පහ මූලස්ථාන පොලිසියේ සුළු පැමිණිලි අංශයෙන් අනාවරණය වෙයි.

පොලිසිය පවසන අන්දමට සම්පූර්ණ සිද්ධිය මෙසේය.

දිනපතා පුවත්පතක පරණ රබර් ගස් තොගයක් විකිණීමට ඇත යනුවෙන් ජංගම දුරකථන අංකයක් සමඟ පළවූ දැන්වීමක් අනුව එම රබර් ගස් මිලදී ගැනීම සඳහා ගිය සේවාදායකයකුට මේ අකරතැබ්බයට මුහුණ දීමට සිදුවී තිබේ. පුවත්පත් දැන්වීමේ පළවූ ජංගම දුරකථන අංකය අනුව දැන්වීම්කරු සම්බන්ධ කර ගත් සේවාදායකයා ඔහු හමුවීමට දිනයක්, වෙලාවක් සහ ස්ථානයක් කතා කර ගැනීමෙන් අනතුරුව නියමිත දිනයේදී රබර් ගස් මිලදී ගෙන කපා පටවා ප්‍රවාහනය කිරීමට සූදානම්ව සේවකයන් ද, වාහනයක් ද, මුදල් ද රැගෙන දැන්වීම්කරු නියම කරන ලද ස්ථානයට ගොස් තිබේ.

එහිදී දැන්වීම්කරු මුණගැසීමෙන් පසු ඔහු සේවාදායකයා කැටුව ගොස් අක්කරයක් පමණ විශාල පරණ රබර් ගස් පිරි වත්තක් පෙන්වා වැඩය නිමවූ පසු පොරොන්දු වූ මුළු මුදල ලබාගන්න මම එනවා, එතෙක් මට දැනට රුපියල් 50,000 ක් පමණක් දෙන්න යැයි පවසා සේවාදායකයාගෙන් රුපියල් පනස්දහසක් ද රැගෙන එතැනින් නික්ම ගොස් තිබේ.

කැපූ රබර් ගස් කුට්ටි කර ලොරියක් පුරවාගන්නා තෙක් සේවාදායකයාට මේ කාරිය නිරුපද්‍රිතව කරගෙන යාමට හැකි වී ඇති අතර දෙවැනි ලොරියට අවශ්‍ය රබර් ගස් කපන විට මැදිවියේ කාන්තාවක් පිරිවරාගත් පොලු මුගුරු රැගත් පිරිසක් මේ ස්ථානයට පැමිණ කාන්තාවට හිමි ඉඩමේ අනවසරයෙන් ගස් කැපීමේ චෝදනාවට සේවාදායකයා ඇතුළු පිරිසට පොලු මුගුරු සංග්‍රහයක් ලබා දී අවසානයේදී පොලිසියට කැඳවා ගොස් තිබේ.

එහිදී පොලිසිය කරුණු විමසීමේදී සේවාදායකයා වංචනිකයෙකුගේ කූ®ට උපක්‍රමයකට අසුවී ඇති බව හෙළිවූ අතර කාන්තාවට හිමි ඉඩමේ රබර් ගස්වලට වූ හානියට අලාභ වශයෙන් රුපියල් 75000 ක මුදලක් ගෙවීමට පොරොන්දු වී පොලිස් පොතේ ද අත්සන් කර ගොස් තිබේ. මේ පොරොන්දුව වී දැනට මාසයක පමණ කාලයක් ගතවී ඇතත්. මෙතෙක් සේවාදායකයා කාන්තාවට පොරොන්දු මුදල නොගෙවීම නිසා ඔහුව අධිකරණය හමුවට පැමිණවීම සඳහා ගම්පහ මූලස්ථාන පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්‍ෂක ප්‍රභාත් දයානන්ද මහතාගේ උපදෙස් මත සුළු පැමිණිලි අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්‍ෂක එච්. පී. එන්. කේ. හේවාපතිරණ මහතා කටයුතු කරගෙන යයි.


ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත‍්‍ර සමාගම
© 2011 සියලු හිමිකම් ඇවිරිණි.
ඔබගේ අදහස් හා යෝජනා අපි අගයන්නෙමු
[email protected]