මුද්‍රණය සඳහා

 
ක්‍රිකට් ක්‍රීඩකයෝ සමාජ සද්කාරයට එති


ශ්‍රී ලංකා - කොදෙව් තරග ආදායම ගංවතුරෙන් විපතට පත්වූවන්ට

ක්‍රිකට් ක්‍රීඩකයෝ සමාජ සද්කාරයට එති

ලෝක කුසලාන තරගවලදී රතු පටි පළඳියි

සංගා - ෂෙවාග් ඒඩ්ස් මර්දනය ගැන කතා කරති

ශ්‍රී ලංකාව හා බටහිර ඉන්දීය කොදෙව් අතර ලබන සඳුදා (31 දා) සිට ආරම්භවන එක් දින ක්‍රිකට් තරගාවලියේ ප්‍රවේශපත් වලින් ලැබෙන ආදායම පසුගියදා ගංවතුරින් රට පුරා විපතට පත් ජනතාව වෙනුවෙන් ලබාදීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තීරණය කර ඇත. එස්.එස්.සී. පිටියේ පැවැත්වෙන මේ එක්දින තරග තුනෙන් රුපියල් කෝටියක පමණ මුදලක් ලැබෙනු ඇතැයි ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපති ඩී. එස්. ද සිල්වා මහතා පැවැසීය.

එම සියලු ආදායම් පසුගියදා උතුරු නැගෙනහිර හා උතුරු මූදු පළාත්වල ගංවතුරෙන් විපතට පත් ජනතාවට සහන සැලසීම උදෙසා වෙන් කිරීමට ශ්‍රී ලංකා කිකට් අතුරු කමිටුව ඒකමතිකව තීරණය කළේ යැයි සිල්වා මහතා පැවැසීය. එමෙන්ම මේ තරග තුනේදී ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මගින් නොමිලේ ප්‍රවේශපත් නිකුත් කිරීමද සම්පූර්ණයෙන්ම අත්හිටුවා ඇත. තරග තුනේ ආදායම උපරිම ලෙස විපතට පත් ජනතාව වෙත යොමු කිරීමේ අරමුණින් මේ තීරණය ගෙන ඇත. මේ මස 31 හා පෙබරවාරි 3, 6 දිනවලදී ශ්‍රී ලංකා - කොදෙව් එක් දින තරග පැවැත්වේ.

ඒඩ්ස් මර්දනයට ක්‍රිකට්

මේ අතර ලබන මාසයේදී ආරම්භවන ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලියේදී ඒඩ්ස් මර්දන විශේෂ ව්‍යාපාරයක් දියත් කිරීමට කුමාර් සංගක්කාර හා විරේන්ද්‍ර ෂෙවාග් ඇතුළු ක්‍රිකට් ක්‍රීඩකයන් පිරිසක් සූදානම් වෙති. බුද්ධිමත්ව සිතීමේ ව්‍යාපාරය ලෙස මෙය හැඳින්වේ. ග්‍රෙහැම් ස්මිත් (ද.අප්‍රිකාව) ශකීබ් අල් හසන් (බංග්ලාදේශය) හා රම්නරේෂ් ෂර්වාන් (බ.ඉ.කොදෙව්) පෙරමුණ ගත් ඒඩ්ස් මර්ධන වැඩසටහනට සියලු රටවල ක්‍රිකට් ක්‍රීඩකයන්ගේ දායකත්වය ලැබෙනු ඇත.

ක්‍රිකට් ක්‍රීඩකයන් ලෙස බිලියන ගණනක තරග නරඹන්නන්ට වැදගත් සමාජීය පණිවිඩයක් ලබාදීම මේ පිරිසගේ ප්‍රධාන අරමුණ වී ඇත. මේ මහජන සේවා සන්නිවේදනය තරුණ පරපුරට කරුණු අවබෝධ කරගනිමින් තමන්ම එච්.අයි.වී. වලින් ආරක්ෂා වීමට දිරි ගැන්වීමක් සපයනු ඇතැයි ක්‍රිකට් ක්‍රීඩකයෝ විශ්වාසය පළ කරති.

කුමාර් සංගක්කාර ඒඩ්ස් මර්දන ව්‍යාපාරයට “අපි කථා කරමු” මැයෙන් විචිත්‍ර නිවේදනයකින් අදහස් දැක්වීමට බලාපොරොත්තු වන අතර “මදකට නවතින්න, එක් සහකරුවෙකුට සීමාවන්න” යන උපදෙස් ඔස්සේ දැනුවත් කිරීම්වලට සහභාගීවීමට බලාපොරොත්තු වේ. විරේන්ද්‍ර ෂෙවාග් ලෝක කුසලාන තරගාවලිය අතරතුරදී ක්‍රීඩා ලෝලීන් දැනුවත් කරනනේ “කරුණු අවබෝධ කරගනිමු. ඒඩ්ස් වලින් අපිම ආරක්ෂා වෙමු” යන තේමාව ඔස්සේය.

සංගක්කාර හා ෂෙවාග් 2003 වසරේ සිට ඒඩ්ස් ආසාදිතයන්ගේ පීඩා අවම කිරීමට විවිධ ක්‍රියාකාරකම්වල නිරත වීමද විශේෂත්වයකි. ඒඩ්ස් මර්දන බුද්ධිමත්ව සිතීමේ ව්‍යාපාරයේ තවත් පියවරක් ලෙස ක්‍රිකට් ලෝක කුසලාන තරගවලදී ක්‍රිකට් ක්‍රීඩකයන් රතු පටි පළඳවමින් ක්‍රීඩා කිරීමට ද සූදානම් වේ. ඉන්දියාව, බංග්ලාදේශය හා ශ්‍රී ලංකාව තුළ පැවැත්වෙන මේ තරගවලදී ඒඩ්ස් මර්දන පණවිඩය ලොව පුරා ප්‍රචලිත කිරීමට බලාපොරොත්තු වේ. වසර 2001 සිට 2009 දක්වා කාලයේදී අලුතින් එච්.අයි.වී. ශරීරගත වූවන් සියයට 20 කින් පහළ ගොස් ඇති අතර 2009 දී සෑම දිනකදීම හත්දහසක් පමණ එච්.අයි.වී. ආසාදනය වන බව හෙළි වී ඇත.


ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත‍්‍ර සමාගම
© 2011 සියලු හිමිකම් ඇවිරිණි.
ඔබගේ අදහස් හා යෝජනා අපි අගයන්නෙමු
[email protected]