නාවික - සිවිල් ආරක්‍ෂක පාපන්දු ගැටුම අද

නාවික - සිවිල් ආරක්‍ෂක පාපන්දු ගැටුම අද

ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනය මෙහෙයවන ‘යුනික්’ පළමු පෙළ පාපන්දු තරගාවලියේ සූරතාව දිනා ගැනීමේ අරමුණින් ශ්‍රී ලංකා නාවික හමුදාව හා සිවිල් ආරක්‍ෂක බලකාය අද සටනට පිවිසෙති. කොළඹ සිටි ලීග් පිටියේ අද සවස 3.00ට ආරම්භ වන මේ අවසන් තරගයේ දී නාවික හමුදා පිල අජිත් කුමාර හා සිවිල් ආරක්‍ෂක බළකා පිල උදය මධුසංඛ මෙහෙයවනු ඇත. මෙවර තරගාවලියට කණ්ඩායම් 12 ක් සහභාගිවූ අතර නාවික හමුදාව පළමු හා දෙවැනි වටවලදී තරග 10 කින් ජයග්‍රහණ 9 ක් අත්කර ගත්තේය. සිවිල් ආරක්‍ෂක බළකා පිල තරග 12කදී 9 ක් ජය ගත්තේය.

නාවික හමුදාව තරගයක් ජය පරාජයෙන් තොරව නිමා කළ අතර සිවිල් ආරක්‍ෂක බළකා පිල තරගයක් පරාජය වී තරග 2 ක් ජය පරාජයෙන් තොරව නිමා කළේය. මෙවර පළමු පෙළ තරගාවලියේ සිදුවීම් රැසක් වාර්තා වූ බැවින් තරග 4ක් අතරමගදී නවතා දමා පසුව පාපන්දු සම්මේලනයේ පරීක්‍ෂණවලින් ජයග්‍රහණ ප්‍රදානය කිරීමට සිදුවිය. නාවික හමුදාව සමඟ පැවැති පෙළිකන්ස්, වැල්ලවත්ත කුරේ හා සිවිල් අරක්‍ෂක බළකා පිල සමඟ පැවැති ග්‍රීන් ෆීල්ඩ් අතර තරගවල විසඳුම පරීක්‍ෂණවලින් අනතුරුව තීරණය විය.

එයට අමතරව නාවික - සරසවි ක්‍රීඩා සමාජ අතර අවසන් පූර්ව තරගයේදී ද කළහකාරී සිදුවීම් වාර්තා වී ක්‍රීඩකයන් සිවු දෙනකුට තරග තහනමක් ද සරසවි ක්‍රීඩා සමාජයට වසරක තහනමක්ද පැනවීමට සිදු විය. දෙවැනි අවසන් පූර්ව තරගයේදී සිවිල් ආරක්‍ෂක බළකාය හා නිගම්බු යූත් අතර තරගයෙන් සිවිල් ආරක්‍ෂක පිල ජය වාර්තා කළේය. ජයග්‍රාහී කණ්ඩායමට රුපියල් ලක්‍ෂ 3 ක් ද අනු සූරයන්ට රුපියල් ලක්‍ෂ 2ක් ද සුරතා කුසලාන සමඟ පිරිනැමේ.

නාවික හමුදා පාපන්දු පිල :- නාලක රොෂාන්, ක්‍රිස්ටීන් ප්‍රනාන්දු, ජානක සිල්වා, සුබාෂ් මධුෂාන්, චතුරංග සංජීව, මලික් මිගාර, ජීවන්ත රත්නායක, තිවංක නන්දසිරි, ඩිලාන් පෙරේරා, අජිත් කුමාර, ලක්ෂිත ප්‍රසාද්.

සිවිල් ආරක්‍ෂක පාපන්දු පිල :- දිනුදු කුමාර, චමීර ක්‍රිෂාන්ත, සුනන්ද සාගර, අනුෂ්ක ජයනාත්, චතුරංග සිල්වා, සුමන හෙට්ටිආරච්චි, නුවන් ප්‍රියංකර, මංජුල ප්‍රසන්න, මිරාජ් උපේක, අනිල් ශාන්ත, උදය මධුසංඛ

සිවිල් ආරක්‍ෂක පාපන්දු පිල

නාවික හමුදා පාපන්දු පිල

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා