විදෙස් කණ්ඩායම් සහභාගි වන ඔරු පැදීමේ තරගාවලියක් බොල්ගොඩදී

විදෙස් කණ්ඩායම් සහභාගි වන ඔරු පැදීමේ තරගාවලියක් බොල්ගොඩදී
 

තරගාවලිය සඳහා ප්‍රධාන අනුග්‍රහය සපයන ටී-ෂිප්ස් ආයතනයේ හනීෆ් යූෂුෆ් මහතා බොල්ගොඩ ඔරු පැදීමේ සංගමයේ තරග සංවිධානය කමිටු ප්‍රධාන චානක තල්පහේවා මහතාට අනුග්‍රාහක චෙක්පත ලබාදුන් අවස්ථාව.
මේ අවස්ථාවට සහභාගි වූ ඩිල්ෂාඩ් සිද්දික් (ප්‍රධාන විධායක නිලධාරි ටී-සිප්ස්) රොනි ඉඩබ්‍රයිට් (අධ්‍යක්ෂ ක්‍රීඩා තාරුණ්‍යයට හෙටක් සංවිධානය) වෛද්‍ය චූලා සේනාරත්න (අන්තර් ජාතික සබඳතා හා වෛද්‍ය කටයුතු බාර තාරුණ්‍යයට හෙටක් සංවිධානය) යන මහත්වරු ද මෙහි වෙති.

බොල්ගොඩ ඔරුපැදීමේ සංගමය තාරුණ්‍යයට හෙටක් සංවිධානය සමග එක්ව සංවිධානය කරනු ලබන ARAE FEARA ඔරු පැදීමේ තරගාවලිය පෙබරවාරි 3 – 5 දක්වා බොල්ගොඩ වැවේ දී පැවැත්වේ. සත්කාරක ශ්‍රී ලංකා කණ්ඩායම ඇතුළුව ඉන්දියාව, පාකිස්තානය එක්සත් අරාබි එමීර් රාජ්‍යය, සිංගප්පූරුව හා පිලිපීනය මේ තරගාවලිය සඳහා ඉදිරිපත්ව සිටිති. කාන්තා පිරිමි දෙඅංශයෙන්ම තරග ඉසව් 8ක් පැවැත්වෙන මේ ඔරු පැදීමේ තරගාවලිය ජාත්‍යන්තර නීතිරීතිවලට අනුකූලව පවත්වනු ලැබේ.

ARAE අංශයේ තරග ඉසව් 4 විවෘත තරගාවලියක් වන අතර FEARA අංශයේ තරග ඉසව් 4 අවුරුදු 36 න් ඉහළ තරගකරුවන් සඳහා පැවැත්වීමට සංවිධායක කමිටුව තීරණය කොට ඇත. ජල ක්‍රීඩා සංගම් 15 ක ක්‍රීඩක ක්‍රීඩිකාවන් 160 ක් පමණ සහභාගි වන මේ තරගාවලිය බහු මංතීරු තරගාවලියකි. සමාරම්භක උළෙල පෙබරවාරි මස 02 වැනිදා පස්වරු 4.00 ට බොල්ගොඩ වැව් පරිශ්‍රයේදී පැවැත්වේ. මේ තරගාවලිය පිළිබඳ මාධ්‍ය හමුවක් පසුගියදා ඔලිම්පික් නිවහනේදී පැවැත්විණි.

එහිදී අදහස් දැක්වූ බොල්ගොඩ ඔරු පැදීමේ සංගමයේ තරග සංවිධායක කමිටු ප්‍රධානී චානක තල්පහේවා මහතා අදහස් දක්වමින් කොළඹට සීමා වී ඇති ඔරු පැදීමේ ක්‍රීඩාව රටපුරා ව්‍යාප්ත කිරීම හා මේ ක්‍රීඩාවට උනන්දුවක් දක්වන තරුණ කොටස් මේ සඳහා එක්රැස්කර ගැනීමත් ඔවුනගේ ප්‍රධාන අපේක්ෂාව බව පැවසීය. බොල්ගොඩ ඔරු පැදීමේ සංගමය මූල්‍යමය ලාභයක් නොතකා යුද හමුදා, ගුවන් හමුදා, නාවික හමුදා හා කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලයේ සෙබළුන්ට නොමිලයේ ඔරු පැදීමේ පුහුණුව යන්ත්‍ර උපකරණ සපයන බවත් ඒ තුළින් මේ ක්‍රීඩාවට යොමුවන අය දිරිමත් කිරීමට ලැබෙන අවස්ථාව අගය කොට සලකන බවත් පැවසීය.

ජල ක්‍රීඩා සංගම්වල සාමාජිකයනට මෙවැනි ජාත්‍යන්තර තරග සංවිධානය කොට අත්දැකීම් ලබාගැනීමට අවස්ථාව උදාවීම අප ලද ජයග්‍රහණයක් බවත් මෙවැනි තරග සඳහා අනුග්‍රාහකත්වය ලබා දෙන ටී-ෂිප්ස් සමාගමට ස්තුතිවන්ත වන බවත් ප්‍රකාශ කළේය. තාරුණ්‍යයට හෙටක් සංවිධානය වෙනුවෙන් අන්තර් ජාතික සබඳතා හා වෛද්‍ය කටයුතු බාර වෛද්‍ය චූලා සේනාරත්න මහතා අදහස් දක්වමින් රටේ තරුණ කොටස්හි දායකත්වය රටේ සංවර්ධනය කරා ළඟා කර ගැනීමේ අපේක්ෂාවෙන් ක්‍රීඩා හා අත්වැල් බැඳගත් සංවිධානයක් වශයෙන් අප, බොල්ගොඩ ඔරු පැදීමේ සංගමය සමග එක් වී මේ කටයුත්තට සහභාගිවීමට ලැබීම සතුටට කරුණක්.

සංචාරක ක්ෂේත්‍රයේ ඉහළ වටිනාකමක් ලබාගත හැකි ජල ක්‍රීඩා අංශය සංවර්ධන කිරීම උදෙසා අප සංවිධානයෙන් මෙවැනි ක්‍රියාවන් සඳහා නිරතුරුව අත්වැල් බැඳගන්නා බවත් මේ ක්‍රීඩා උළෙල සාර්ථකව නිම කර ගැනීමට සැමගේ උපකාරය ලබාදෙන බවත් පැවසීය.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා