නිදහස් ජාතික අබිමන්

නිදහස් ජාතික අබිමන්

දශක තුනක් පුරා මේ රටේ ජනතාව බියෙන්, සැකෙන්, සහ ජීවිතය පිළිබඳ අවිනිශ්චාර්ථයකින් ජීවත් වූ යුගය අවසන් වී , ත්‍රස්තවාදී ග්‍රහණයෙන් උතුර මුදා ගැනීමත් සමඟ ‘නිදහස’ යන වචයේ අරුත අන් කවරදාටත් වඩා හොඳින් දැනුණු, අවබෝධ වුණු යුගයක් ඇරැඹිණි. වර්තමානයේ අප ජීවත් වන්නේ නිදහසක වටිනාකම මනාව තේරුම්ගත හැකි, සමාජ ආර්ථික පසුබිමක් තුළ ය.

ශ්‍රී ලංකාවේ ඉතිහාස කතාන්දරයේ මුල් අවධියේ සිට ම විදේශීය ආක්‍රමයන්ට වරින් වර යටත් වීමට අපට සිදු විණි. සොළී ආක්‍රමණ, මලබාර් ආක්‍රමණ ආදී ආක්‍රමණයන් ශ්‍රී ලංකාවට එල්ල වීමත් සමඟ ජන ජීවිතය් සුවිශේෂී වෙනස්කම් රැසක් සිදු විය. මෙයට බලපෑ ප්‍රධාන හේතු ව වූයේ ‘අප’ යන හැඟීම මැඩලමින් ‘මමත්වය’ මූලික වීමයි.

පෘතුගීසින්, ලන්දේසින්, ඉංගී‍්‍රසින් යන ජාතින් ත්‍රිත්වයට ම ශ්‍රී ලංකාවේ මුහුදුබඩ පළාත් සේ ම, 1815න් පසු ඉංගශ්‍රීසින්ට කන්ද උඩරටත් අණසක පැතිරීමට අප තුළ තිබූ ‘මම’ යන ආත්මාර්ථකාමී හැඟීම ඉවහල් විය.

අධිරාජ්‍යවාදී අරගලය

1948 පෙබරවාරි 04 වන දින ශ්‍රී ලංකාවට නිදහස ලැබුණ ද, එය දිගු ගමනක දී, ජීවිත පූජාවෙන් ලබා ගත් ජයග්‍රහණයක් වේ. අප ‘නිදහස’ ලබා ගත්තේ මේ මහ පොළොව ලේ කඳුළුවලින් තෙත් කරමින් ගෙන ගිය අධිරාජ්‍ය විරෝධී අරගලයක ප්‍රතිඵලයක් ලෙසිනි.

මොහොතකට හෝ කතිර කොඩිය බිම දමා සිංහ ධජය ඔසවමින් වාරියපොළ ශ්‍රී සුමංගල හිමියන් නිසි මොහොතක නිසි දේ කරමින් ජාතික වීරවරයෙකු බවට පත් විය. කුඩාපොළ හාමුදුරුවන් අභීතව හඬක් නඟමින්, බ්‍රිතාන්‍ය ජාතිකයන්ට විරුද්ධව සිංහල දේශයේ වැසියන් අවදි කිරීමට ප්‍රයත්න ගත් තවත් එක් වීරවරයෙකි. විශේෂයෙන් , ශ්‍රී ලාංකිකයන් යටත් විජිත ස්වරූපයෙන් නිදහස් කර ගැනීම උදෙසා භික්ෂූන් වහන්සේලා පෙරමුණට පැමිණියා හ. ජාතියේ මුර දේවතාවන් ලෙස උන්වහන්සේලාව හඳුන්වනු ලබන්නේ ද එබැවිනි.

සාමකාමී නිදහස

ගොණ්ගාලේ ගොඩ බණ්ඩා, වීර පුරන් අප්පු, වීර කැප්පෙටිපොළ, ආදී වීරවරුන් රැසක ගේ උත්සාහයෙන් අප දිනාගත් මේ නිදහස එදා පැවතියේ යම් සීමා රාමුවක් තුළයි. නිදර්ශනයක් වශයෙන් කොටුවක් තුළ බැඳ සිටි හරකෙකුගේ ලණුව ලෙහුවා වගේ ක්‍රියාදාමයක් එදා සිදුවිණි. සිරිමාවෝ බණ්ඩාරනායක මැතිණිය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව තුළ යම් ආකාරයකට වෙනසක් සිදු කිරීමට උත්සාහ ගත්තා ය. එහෙත් අපට සමගාමී ව නිදහස ලැබූ ඉන්දියාව වැනි රටක ජාතික නායකයන්ගේ මග පෙන්වීම යටතේ සිදු වූ චින්තන විප්ලවය රටේ සිදු නොවිණි. ඒ තත්ත්වය ශ්‍රී ලංකාව තුළ ඇති කිරීමට එදා ප්‍රධාන වශයෙන් කැපකිරීම් කළ අනගාරික ධර්මපාල වැනි ජාතික වීරයන්ට කළු සුද්දන් විසින් ඇති කළ තාඩන පීඩනවලට ලක්වීමට සිදු විය. එහි ප්‍රතිඵලය වූයේ කළු සුද්දන්ගෙන් එල්ල වූ විවිධ විරුද්ධවාදීකම් හමුවේ ශ්‍රී ලංකාව හැරදමා යන තත්ත්වයට ඔවුන්ගේ මානසිකත්වය සකස් වීම ය.

එබැවින් නිදහස ලැබීමෙන් පසුව ශ්‍රී ලංකාව තුළ චින්තනමය විප්ලවයක් සිදු නොවූ නිසාවෙන් අදටත් මානසික වහලුන් බවට අප පත්ව තිබේ. වාණිජකරණ පරමාර්ථ හමුවේ “රට” යන වචනය විකුණාගන කෑමක් වර්තමාන ආර්ථික රටාව තුළ දක්නට ලැබේ. නිදර්ශනයක් ලෙස රට බල්ලා, රට පුවක්, රට හරක් වැනි වචන භාවිතා වීම ඒ මානසික කඩා වැටීමේ ප්‍රතිඵලයක් ලෙසින් අපට හඳුනාගත හැකි ය. ඒ නිසා මානසික විප්ලවයක් ඇති කරමින් දේශානුරාගයෙන්, ජාතිකාභිමානයෙන් යුතු ජනතාවක් බිහි කිරීමේ චින්තනමය විප්ලවයක් මේ යුගයේදී අවශ්‍ය වී තිබේ.

කොළඹ බෞද්ධාලෝක මාවතේ ධර්මායතනාධිපති

පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමි

චින්තන විප්ලවයක් ඇති කිරීම සඳහා ශ්‍රී ලාංකිකයින් වන අපිට මේ එළඹී ඇත්තේ සුදුසුම කාල වකවානුවකි. හැට තුන්වන නිදහස සමරන මේ මොහොතේ දී ඒ වෙනස ඇති කරමින් නිදහසේ සැබෑ වටිනාකම අවබෝධ කර ගන්නට අපි පෙළ ගැසිය යුතු ය. වසර තිහක යුද මානසිකත්වයෙන් සිටි අප සංවර්ධන මාවතක් කරා යා යුත්තේ සැබෑ ලෙස ම ජාතිනානුරාගය කැටි කරගත් චින්තනමය වෙනසක් සමගින් වන්නේ එහෙයිනි.

මේ මොහොත වන විට රටේ තරුණයන් අතර ‘නිදහස’ පිළිබඳ පිබිදීමක් ඇති වී තිබේ. ඒ නිසා රටේ ජනනායකයින් නිදහසේ උතුම් වැදගත්කම ඒ අයට අවබෝධ කර දෙමින් සංවර්ධන සංග්‍රාමය උදෙසා ඔවුන්ව පෙළ ගැස්විය යුතු වේ.

ශ්‍රී ලංකාව නිදහස ලබා වසර හැට තුනක් ගෙවී ගියත් තවමත් බටහිර රටවල ආක්‍රමණ ඇති මේ පුංචි මුතු ඇටය කෙරෙහි යොමු වී තිබේ. එහි දී විශේෂයෙන් ම ශ්‍රී ලංකාව කෙරෙහි බටහිර රටවලින් එල්ල වන ආර්ථික අතික්‍රමණය ප්‍රබල තැනක් ගනී.

ශ්‍රී ලංකාවේ සංවර්ධන ක්‍රියාවලියේ යම් යම් අවස්ථාන් හි දී විදේශීය රටවල් ණය ආධාර අපට ලබා දෙයි. නමුත් ඒ මහා පරිමාණ සංවර්ධන ව්‍යාපෘතින්ට මිස, වැවක් තනන්නට වැනි දෙයකට නම් නොවේ. දෙදහස් පන්සිය වසරක අභීත ආඩම්බරකාර ඉතිහාසයක් ඇති ජාතියක් වන අපි අපේ රටේ තවමත් ජීවත් වන්නේ බෝඩිංකාරයින්ගේ ස්වරූපයෙනි. එයට හේතුව වන්නේ විදේශීය ආර්ථික ආක්‍රමණ සමගින් ජන ජීවිතය ද ඔවුන් ආක්‍රමණය කිරීමට සැරසීමයි.

දේශීයත්වය

එදා කෘෂිකාර්මික ආර්ථික රටාවකට හුරු වුණු දිවි පෙවතක් ගෙවූ අපි, අද දේශීය දේට වඩා විදේශීය දේ අගය කරන්නට සූදානමින් සිටින්නෙමු. මේ බිම් කඩෙහි අල වර්ග පනස් දෙකකින් ඵලදාව ලබා ගන්නට හැකියාව ලැබුණත් අප අගයන්නේ අර්තාපල් පමණි. බෙලිමල්, කොළකැඳ වෙනුවට පිපාසය සන්සිඳුවා ගන්නට අපි භාවිත කරන්නේ කොකාකෝලා වැනි නාමයන්ගෙන් යුත් දේ ය. බහු ජාතික සමාගම් හරහා ශ්‍රී ලංකාව තුළ මෙවැනි ආක්‍රමණයක් සිදු කර ඇති මොහොතක දී ලාංකිකයන් වන අපි දේශීයත්වය අගය කරන දේශීයත්වය මුල් තැන ලබා දෙන ජාතියක් බවට මානසික විප්ලවයක් කරා යොමු විය යුතු වේ. ජීවන රටාවේ සිටම එම වෙනස ඇති කරලීම යුගයේ අවශ්‍යතාවයකි.

අපේ කාලයේ දී අප විසින් සිදු කළ දෙවැනි විමුක්ති අරගලය ලෙසින් “ත්‍රස්ත්‍රවාදය නිමා කිරීම” හැඳින්වීම ශ්‍රී ලාංකිකයින් වන අපිට අභිමානයකි. වර්තමානය වන විට යම් ආකාරයකට දේශීයත්වය පිළිබඳ නව පිබිදීමක් සමාජය තුළ දක්නට ලැබීම සතුටට කාරණයකි. එදා නගරයේ අප දුටු චයිනීස් රෙස්ටුරන්ට් වෙනුවට අද නෙළුම් කොළේ බත්, පොල්අතු බත් කඩේ, ලුනු සම්බෝලය, කෙහෙල් කොළේ බත් ආදී වශයෙන් ආහාර රටාව ස්වදේශීකරණයකට පැමිණ තිබේ. ඒ නිසා දේශීයත්වය ආක්‍රමණය කිරීමට අප ශක්තිකරවීම සිදු විය යුතු ය.

ජාතිකානුරාගය

මේ නව පිබිදීමත් සමඟින් තරුණ පරපුරට ජාතිකානුරාගය කැවීම සිදු විය යුත්තක් සේ දැකිය හැකි ය. ත්‍රස්ත්‍රවාදය නිමා වීමත් සමඟ ලද ‘දෙවන නිදහස’ ගැන උදම් අනා, වීදිවලට බැස රතිඤ්ඤා පත්තු කළ පමණින් සිත් තුළ ඒ ජාතිකාභිමානය ඇති නොවේ. ආගමික පූජ්‍ය පූජක පක්ෂය, රාජ්‍ය නායකයන් , දේශානුරාගය ඔසවා තැබීම සඳහා මුල් තැන ගත යුතු වේ. මෙතන දී භික්ෂූන් වහන්සේලා ට නිදහසින් පසු ශ්‍රී ලංකාවේ නව පිබිදීමක් ඇති කිරීමට මුල්වීම සඳහා විශාල උරුමයක් හිමිකමක් තිබේ. අද පන්සල් රැක ගනිමින් මිනිසුන් පරලොව සැපත සඳහා, නිවන සඳහා සූදානම් කිරීමට ප්‍රථමයෙන් අපේ මිනිසුන්ට හරි හැටි පොළවේ දෙපය තබා ජීවත්වීමට ඇති උරුමය අයිතිය කියා දෙමින් ඔවුන් නැගිටවීම සිදු කර අනතුරුව නිවන් මාර්ගය පැහැදිලි කර දීම කළ යුත්තක් සේ දැකිය හැකි ය.

මේ ලැබුණු නිදහස ඉදිරියටත් රැක ගන්නට නම් දැනට හිස ඔසවමින් පවතින බටහිර බලවේගවලට විරුද්ධව පෙළ ගැස්විය යුතු ය. රටේ ජනතාව නිවැරැදි කෝණයකින් බටහිර ආක්‍රමණ ගලා එන ආකාරය පිළිබඳ අවදියෙන් සිටීම මෙහි දී වැදගත් වේ. මේ ලබාගත් නිදහස ගසක මුල් පොළව සිසාරා ගොස් ගස ශක්තිමත් කරනවා වගේ, මේ ලැබුණු නිදහස ශක්තිමත් වන තුරු රැක ගන්නට ජාතියක් ලෙස අප කල්පනා කළ යුතුයි.

හැම පුරවැසියෙකු ම තමන් උපන් මේ බිම වෙනුවෙන් සුළු හෝ යමක් කළ යුතු යැයි සිත් තුළ අවධාරණය කර ගත යුතු වේ. තමන්ට පුළුවන් ආකාරයකින් රටේ ස්වයං පෝෂණය සඳහා, සංවර්ධනය සඳහා අතදීම නිදහස් ජාතියක් යන අභිමානයෙන් අනාගත ලොවට පියමං කරන පුරවැසියන් ලෙසින් අප විසින් කළ යුතු යුතුකමකි.

යටත් වජිතවාදයෙන් මිදී අප ලත් නිදහස සමරන මේ මොහොතේ දී නිදහසේ වටිනාකම වටහා ගනිමින්, එකට එක් වී පෙළ ගැසීම යුගයේ අවශ්‍යතාවය බැව් ලාංකිකයන් වන අප අවබෝධ කර ගනිමින් හෙට දිනයට සුබවාදිව පිය නගමු. එවිට නිදහස් ජාතියක අබිමන් ලොවටම පසක් වේවී.


සබැඳි පුවත්