ඩී.ආර් විජයවර්ධන මාධ්‍යයේ පිළිබිඹුව

ඩී.ආර් විජයවර්ධන මාධ්‍යයේ පිළිබිඹුව

ඩී. ආර්. විජයවර්ධන යනු යුග යුග මතකයේ රැඳෙන සුවිශේෂී ශ්‍රී ලාංකේය පුත්‍රයෙකි. ඔහුගෙන් මෙරට මාධ්‍ය කලාවටත්, මෙරටට නිදහස ලබා ගැනීමේ අරගලයටත් ලැබුණු සහයෝගය අති විශාලය. බොහෝ අය විජයවර්ධනයන් පිළිබඳව දකින ව්‍යාපාරික හා ප්‍රභූ කෝණයට වඩා ඔහු තුළ මානුෂීය හැඟීම් සහිත සරල මිනිසෙකු ද ජීවත් විය. මේ ඒ පිළිබඳව වූ ස්මරණ සටහනකි.

ඩී. ආර්. විජයවර්ධන හෙවත් දොන් රිචඩ් විජයවර්ධන මහතා ජන්මලාභය ලැබූවේ 1886 වර්ෂයේ විය. ඔහු 1950 වර්ෂයේ දී අභාවප්‍රාප්ත විය.

ඔහු අභාවප්‍රාප්තවන විට වසර හැට හතරකි. ඔහු වසර හැට හතරක් තරම් වූ කාලයක් තුළ මෙරට සමාජය හා මාධ්‍ය ලෝකයට අපරමිත වූ මහා සේවයක් ඉෂ්ඨ කළේය. ඔහු මෙරට විධිමත් ලෙස ස්ථාපිත වූ මාධ්‍ය කලාවේ මුදුන් මුල යැයි සඳහන් කළ ද එම අදහසේ වරදක් නැත.

ඩී. ආර්. විජයවර්ධන යනු හුදු ව්‍යාපාරිකයකු නොව නිර්මාණශීලි මිනිසෙකි. සැබෑ දේශමාමකයෙකි. ඔහුට ව්‍යාපාරිකයකු ලෙස පමණක් මුදල් හරි හම්බ කර ගැනීමේ චේතනාවක් තිබුණේ නම් මාධ්‍ය ආයතනයක් ආරම්භ කිරීම වැනි දුෂ්කර ව්‍යායාමයකට අත තබන්නේ නැත.

විජයවර්ධනයන්ට අවශ්‍යව තිබුණේ දේශය නිදහස් කරගත හැකි සහ රට ගොඩනැගිය හැකි සම්ප්‍රදායක් සහිත ජනමතයක් රට තුළ ගොඩනැගීමටය. ඒ සඳහා ඔහු උපයෝගී කර ගත් ප්‍රධානම ධාරාව වූයේ පුවත්පත් මාධ්‍යයයි.

විජයවර්ධනයන් සිංහල මාධ්‍ය ලෝකය තුළ ප්‍රකට වන්නට පටන් ගත්තේ 1914 දී ‘දිනමිණ’ පුවත්පත මිල දී ගැනීමෙන් පසුවය. එතෙක් සුළු අලෙවියක් තිබූ කර්තෘ මූලික ආයතනයක්වූ දිනමිණ ජාතික පුවත්පතක් ලෙස රට තුළ ප්‍රචලිත වන්නේ ඩී. ආර්. විජයවර්ධනයන්ගේ සෙවණේදීය.

ඉන්පසු 1918 දී ‘සිලනිස්’ නම් ඉංග්‍රීසි පත්‍රය ‘ඩේලිනිව්ස්’ නමින් පළ කිරීම ආරම්භ කළ අතර ‘ඔබ්සවර්’ පත්‍රය ද 1923 වන විට විජයවර්ධනයන් සතු වූ අතර සිළුමිණ, හා තිනකරන් යන පුවත්පත් ද ඔහුගේ මඟ පෙන්වීම තුළ බිහි විය. 1930 දශකය වන විට විජයවර්ධනයන්ගේ මෙම පුවත්පත් ජාලය ලේක්හවුස් පුවත්පත් ලෙස අග්නිදිග ආසියාව පුරා ඉමහත් කීර්තියක් පතුරුවාලීය.

විජයවර්ධනයන් පුවත්පත් කලාවට අත තබන්නට පෙරද මෙරට පුවත්පත් රාශියක් පළ වූව ද ඒ පුවත්පත්වලින් වැඩිමනක් කොළඹ, ගාල්ල, මහනුවර වැනි ප්‍රධාන නගරවල පමණක් තිබූ අතර පොදු ජනතාව සහ පුවත්පත් සම්බන්ධ කළේ විජයවර්ධන මහතා ය යන්න අතිශයෝක්තියක් නොවේ.

විජයවර්ධන මහතාගේ ඉගෙනුම පිළිබඳවූ පිපාසය පාසල් අධ්‍යාපනයෙන් නිමා වූයේ නැත. ඔහු වැඩිදුර අධ්‍යාපනය සඳහා එංගලන්තයේ කේම්බ්‍රිජ් විශ්වවිද්‍යාලයට ඇතුලු විය. එදා දේශීයව විශ්වවිද්‍යාල නොමැති නිසා අතමිට ඇති දෙමාපියන්ගේ දූ පුතුන් බ්‍රිතාන්‍යට ගොස් වැඩිදුර අධ්‍යාපනය ලැබීමේ සම්ප්‍රදායක් තිබුණි.

කේම්බ්‍රිජ් විශ්වවිද්‍යාල ජීවිතය තුළ විජයවර්ධනයන්ට සමකාලීනයන්ව සිටියේ ද පසු කලෙක ජාතික හා ජාත්‍යන්තර වශයෙන් කීර්තිය දිනූ පුද්ගලයන්ය. ඉන්දියාවේ හිටපු අගමැති ජවහල්ලාල් නේරු වැනි ලෝක පූජිත පුද්ගලයන්ය. එමෙන් ම ශ්‍රීමත් ජේම්ස් පීරිස්, ශ්‍රීමත් පොන්නම්බලම් අරුණාචලම් වැනි දේශීය වශයෙන් ප්‍රකට චරිතයක් ද කේම්බ්‍රිජ් විශ්ව විද්‍යාලය තුළ විජයවර්ධනයන්ගේ සමකාලීනයන්ය.

ඩී. ආර්. විජයවර්ධන මහතා සඳහන් කර ඇති පරිදි ඔහුට දේශපාලනය පිළිබඳව අවබෝධයක් හා දැනුවත්භාවයක් ලැබෙන්නේ කේම්බ්‍රිජ් විශ්වවිද්‍යාලය තුළිනි. මෙහි දී තවත් විශේෂ කරුණක් ඩී. ආර්. විජයවර්ධන මහතා පිළිබඳව සඳහන් කළ යුතුය. එනම් ඔහු බ්‍රිතාන්‍යයේ දී අධිනීතිඥයකු බවට පත්වීමය. කුඩා කාලයේ සිටම අධ්‍යාපනය පිළිබඳව මහත් කැමැත්තක් දැක් වූ විජයවර්ධනයන් ලැබූ අග්‍රඵලයක් ලෙස මෙම අධිනීතිඥ තනතුර හඳුන්වා දිය හැකිය.

බ්‍රිතාන්‍ය ඌරුවට හැදී වැඩුනෙකු ලෙස පෙනී ගිය ද ඩී. ආර්. විජයවර්ධන මහතා තුළ ජාතිකත්වය හා දේශීයත්වය පිළිබඳව අතිමහත් භක්තියක් තිබුණි. ලේක්හවුස් මන්දිරය විවෘත කළ දින ඔහුගේ මවට එහි කිරි ඉතිරවීමට සැලැසීම මෙයට හොඳම උදාහරණය ලෙස සඳහන් කළ හැකිය. එමෙන් ම සිංහල ලිත් ක්‍රමයට අවුරුදු චාරිත්‍ර සිදු කිරීම ද විජයවර්ධන මහතාගේ වාර්ෂිකව සිදු කළ ප්‍රමුඛ චාරිත්‍රයක් විය.

එදා සිංහල උගැන්වීම මෙන් ම ඉගෙනීම ද දෙවන පෙළේ කාර්යයක් බවට පත්ව තිබුණි. එහෙත් ඩී. ආර්. විජයවර්ධන මහතා ඉංග්‍රීසි දැනුම මෙන්ම සිංහල භාෂාව පිළිබඳව දැනුම ද ලබා දුන් අතර විජයවර්ධන මහතාගේ බිරිඳ වූයේ උඩරට ප්‍රභූ රදලවරයකු වූ ජේ. එච්. මීදෙනිය මහතාගේ දෙවන දියණියය. ඇය ඇලිස් ගර්ට්රූඩ් රූබි මෙනෙවියයි.

1915 න් පසු ඇරැඹි නිදහස් ව්‍යාපාරය තුළ විජයවර්ධනයන් ප්‍රසිද්ධියේ සහ අප්‍රකටව විශාල වැඩ ප්‍රමාණයක් කළේය. ස්වරාජ්‍යක් සහ ආණ්ඩුක්‍රම ප්‍රතිසංස්කරණයක් සඳහා ඇරැඹි මෙම අරගලයට මූලිකත්වය ගෙන ක්‍රියා කළේ ඩී. ආර්. විජයවර්ධන මහතාගේ කේම්බ්‍රිජ් විශ්වවිද්‍යාල ජීවිතය තුළ දීප්තිමත් ශිෂ්‍යන් වූ සර් ජේම්ස් පීරිස්, සර් පොන්නම්බලම් අරුණාචලම් යන මහත්වරුය. ඔවුන් විජයවර්ධනයන්ගේ හද බැඳගත් කුළුපගයන්ව සිටියේ ය.

විජයවර්ධන මහතා මුදලේ ඇති අගය හොඳින් දැන සිටියේය. ඔහු එක් සතයකුදු නිකරුණේ වැය කළේ නැත. ඔහු නිතරම සිතූ දෙයක් වූයේ පුවත්පතක් ස්වාධීනව පවත්වාගෙන යාමට අවශ්‍යනම් එයට මුල්‍යමය ස්වාධීනත්වයක් ද තිබිය යුතු ය යන්නය.

අප අවධානය යොමු කළේ මහා සාගරයක් මෙන් පුළුල් මිනිසෙකු වූ ඩී. ආර්. විජයවර්ධන මහතා ගේ ජීවිතේ සුවිශේෂ මතකයන්ගෙන් බිඳක් ගැන පමණි. විජයවර්ධනයන් දහනව වැනි සියවසේ අග භාගයේ ඉපිද විසිවන සියවසේ මැද භාගයේ දී අප අතැර ගිය ද ඔහුගේ ගුණකදම්භය මෙන් ම ඔහුගේ කීර්තිමත් සේවය පිළිබඳව මතකය තව සියවස් ගණනාවක් ගෙවී ගිය ද නොමැකි තිබෙනු නියතය.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා


සබැඳි පුවත්