ජාතික නිදහස් සටනට

ජාතික නිදහස් සටනට ඇති කළ බලපෑම

මහාචාර්ය තිස්ස කාරියවසම්

ජාතිකාභිමානය හා දේශානුරාගය ජනිත කරවීමට සිය පුවත්පත් යොදා ගනිමින් ජාතික සංස්කෘතිය සභ්‍යත්වය හා කලා ප්‍රබෝධය ගොඩනැංවීමෙහිලා ලේක්හවුස් ආයතනය බිහිකොට රට දැය උදෙසා අනුපමේය මෙහෙවරක නිරත වූ ඩී. ආර්. විජයවර්ධන නොහොත් දොන් රිචර්ඩ් විජයවර්ධනයන්ට හිමිවනුයේ සුවිශේෂී ස්ථානයකි.

එකල යටත් විජිත සමාජ පසුබිමක් යටතේ නිවැරදි වූත් බුද්ධිමත් වූත් මඟපෙන්වීමක් අත්‍යවශ්‍ය වී තිබූ යුගයක එහි ප්‍රබෝධය උදෙසා ඩී. ආර්. විජයවර්ධනයන් වෙතින් සිදුවූ අද්විතීය සේවාව ඉතිහාසයේ සඳහන් වී ඇත.

විජයවර්ධන මහතාගේ් ජීවිතයේ මුල් අවධිය අදට වඩා බොහෝ වෙනස් යුගයකට අයත් වූවකි. එදවස මෙරට බ්‍රිතාන්‍ය යටත් විජිත පාලනයේ උග්‍රතම අවස්ථාවක් ලෙසට හැඳින්විය හැකිය. රට පාලනය කරන ලද්දේ යටත් විදේශ භාර මහලේකම් විසින් පත්කර එවනු ලැබූ බ්‍රිතාන්‍ය ආණ්ඩුකාරවරයකු හා ඔහුට උපදෙස් දුන් නිලධාරින් විසිනි. එදා රටේ අධ්‍යාපනය සකස් වී තිබුණේ ද ඒ පාලකයන්ගේ සිතුම් පැතුම්වලට අනුරූපවය. ඒ හේතුවෙන් ස්වයං පාලනය සම්බන්ධව හෝ ස්වකීය දෙයට ඇලුම්කම් ඇතිව වැඩෙන ජනතාවක් රටේ ඇතිවීමේ ඉඩකඩ බොහෝ සෙයින් ඇහිරී තිබිණි.

අලුත් අගනුවර

ඩී. ආර්. විජයවර්ධන තරුණයා එංගලන්තයේ කේම්බ්‍රිජ් විශ්වවිද්‍යාලයේ උසස් අධ්‍යාපනය සඳහා උපන් බිමෙන් පිටත්ව යන්නේ යටත්විජිත අධ්‍යාපන ක්‍රමයට අනුගත වූ යුගයකදීය. ඒ මැට්‍රිකි්‍යුලේෂන් විභාගය සමත්වීමේ අරමුණෙනි. ධනවත් ඇත්තන්හට උසස් විදේශ අධ්‍යාපනය සඳහා තිබුණේ විශ්වවිද්‍යාල දෙකකි. ඒ ඔක්ස්ෆර්ඩ් හා කේම්බ්‍රිජ් ය. ඩී. ආර්. තරුණයා කේම්බ්‍රිජ් විශ්වවිද්‍යාලයට ඇතුළත් වූයේය. පාරම්පරිකව ධනවතුන් නොවූවද ඩී. ආර්. විජයවර්ධනයන්ගේ පියා සහ සීයා කොළඹ නගරයේ ධනවත් පැළැන්තියට (NEW RICH CLASS) අයත්ව සිටියහ.

අලුත් අගනුවරට වුවමනා කරන ගොඩනැගිලි ද්‍රව්‍ය සැපයීමේ ව්‍යාපාර හරහා ධනවත් පැළැන්තියේ සාමාජිකයන් වූ විජයවර්ධන පවුලට ආර්ථිකමය වශයෙන් කිසිදු අගහිඟයක් නො තිබුණි.

ඉගෙනුමට හපන් නිසඟ කුසලතාව ද සිය බුද්ධිමය ඥානය ද මෙහෙයවීමේ සහජ උපන් ලක්ෂණයන්ගෙන් පිරිපුන් ඩී.ආර්. විජයවර්ධන තම ජීවිතයේ භද්‍ර යෞවනයේ දී පොතපතෙහි දැනුම උකහා ගනිමින් ජීවිතය ප්‍රභාවත් කර ගැන්මේ උනන්දුවකින් මෙන් ම දේශය පිළිබඳ හැඟීමකින්ද පසුවිය.

දේශපාලන වපසරිය

ඔහුට පෙර කේම්බ්‍රිජ් විශ්වවිද්‍යාලයේ අධ්‍යාපනය ලැබූ සර් ජේම්ස් පීරිස් මහතාගේ ඇසුරද මෙහි දී සිහිපත් කළ යුතු ය. මේ නිසා ම කේම්බ්‍රිජ්හි කැපී පෙනෙන ශිෂ්‍යයකු වූ විජයවර්ධනට දේශපාලනය පමණක් නොව තම ලක්මාතාවට ලබාදිය යුතු සේවය පිළිබඳවද මූලික පන්නරය ලැබුණේ කේම්බ්‍රිජ් විශ්වවිද්‍යාලයේදී ය. සාහිත්‍යයට පමණක් නොව නව විචාර දැක්මක් හා මුසු වූ දර්ශනයක් ද ඔහු ලද පන්නරයට එකතුවිණි. ඇතැම් මහාචාර්යවරු සිප්සත බෙදාදීමේ දී ඒ ඒ රටට ගැළපෙන ආකාරයෙන් කිසියම් චින්තනයකට ශිෂ්‍යයා හැඩගැස්වීමෙහිලා වෙහෙසක් දැරූහ. දේශපාලන ගමනක යෙදීමේ වුවමනාවක් නො තිබූ ඩී. ආර්. ශිෂ්‍යයා දේශපාලන ගමන් මාර්ගයට පුවත්පත් කෙතරම් වැදගත් වේද යන්න පිළිබඳ ඒ වනවිට මැනවින් අවබෝධ කර සිටියේය.

නිදහස් දේශපාලන මතධාරි ගෝපාල් ක්‍රිෂ්ණා ගොඛලේ ගේ් හමුවීමත් සමඟ නිදහස් දේශයක් උදෙසා වන සිය දේශපාලනයේ හැඟීම් ගිනිපුළිඟු මෙන් බලවත්ව නැගී සිටියේ ය. ගොඛලේ ඩී. ආර්. කෙරෙහි දුටු සුවිශේෂී ලක්ෂණයන් පිළිබඳ මහත් සේ පැහැද සමීප වූයේ ය. අනතුරුව කතිකා කළේ ය.

එහිදී බොහෝ සෙයින් දේශපාලන කරුණු කාරණාද කතිකාවේ ප්‍රධාන මාතෘකා බවට පත්විය. නිදහස් නිවහල් දේශයක ප්‍රාර්ථනා ඩී. ආර්. ගේ හදවතෙහි පැලපදියම් වී ඇති බවට ගොඛලේ ඉඳුරා දැන සිටියේ ය.

කේම්බ්‍රිජ් හි මහාචාර්යවරු දේශපාලනය සඳහා ක්‍රියාකාරී නො වෙති. එහෙත් දේශපාලන විශ්ලේෂකයන් වශයෙන් නිදහස් චින්තනයක යමින් කළ හැකි දේ පිළිබඳ හැකියාව ඔවුනට තිබේ. මේ වනවිට ආසියාවේ දේශපාලන වපසරිය වෙනස්වීම්වලට බඳුන් වෙමින් පැවැතිණි. නො එසේනම් යටත් විජිත පාලනයේ ක්‍රියාකාරකම් පිළිබඳව පාලකයන්ගේ කිසියම් ආකාරයක විරෝධතාවක ලක්ෂණද ඉස්මතු වෙමින් පැවතුණි.

සිවිල් නීති කඩකිරීම් ආදී යම් යම් ව්‍යාපාර නිසා 1857 සිට නැගී ආ බ්‍රිතාන්‍යයට එරෙහි ඉන්දීය බලවේගයන් ඔස්සේ ප්‍රථම සටන සිදු කෙරිණි. එහිදී ඉන්දීය යටත් විජිතය ඇතුළත නව ආරක දේශපාලන චින්තනයක් බිහිවීමෙන් එහි යම් චින්තන රටාවක් විජයවර්ධනයන්ට ද දැනිණි.

ලංකාවේ නිදහස් දේශපාලන පසුබිමේ දැවැන්තයකුව සිටිමින් තමන් හා සමීප බොහෝ විද්වතුන්, ප්‍රාඥයන්, නිදහස් මතධාරින්, බුද්ධිමතුන් ඇසුරින් ද සහජ බුද්ධි මහිමයෙන් ද උකහා ගත් බොහෝ දෑ අතර ගුරුවරුන් කියා දුන් කරුණු ද සංකලනය වූ දේශීයත්වය, දේශානුරාගය, ජාතිමාමකත්වය පමණක් නොව නිදහසේ නව දැක්මක් ගැන තම පුවත්පත්වලින් ලාංකේය සමාජයට පෙන්වා දෙමින් දැනුවත් කරන්නට කටයුතු කළේ ය. ඕල්කට්තුමාගෙන් පසුව පැමිණි ප්‍රබල චරිතයක් වූ “සරසවි සඳරැස” පුවත්පතේ කතුවරයාව සිටි (හේවේන්ද්‍ර සේපාල පෙරේරා), එච්. එස්. පෙරේරා මහතා එකල පුවත්පතේ් කර්තෘධුරයට පත් කළේය.

යුනිවර්සිටි කොලීජිය

ඩී. ආර්. විජයවර්ධනයන් පිළිබඳ විශේෂයෙන් යමක් සඳහන් කළ යුතුය. එතුමා පිළිබඳ බොහෝදෙනා කියන්නේ ලියන්නේ හිතලුය. ඩේලිනිව්ස් පුවත්පත මුල් අවධියේදීම පිටපත් 40,000 ඉක්මවා යමින් අලෙවි වු බවද වාර්තාගත වී ඇත.

එහි කර්තෘ මණ්ඩලය සමන්විත වූයේ ඉංග්‍රීසි, බර්ගර්, අමෙරිකානු ජාතිකයන්ගෙනි. ඔව්හු විදේශයෙන් පැමිණි අය වූහ.

ඩොනමෝර් කොමිෂන් සභා තීන්දු තීරණවලදී නිවැරැදි තීන්දු ගැනීම පිළිබඳ ඩී.ආර්.ට තිබුණේ මනා පරිචයකි. 1906 දී අප රටට විශ්වවිද්‍යාලය අවශ්‍ය බව කියැවිණි. 1921 දී යුනිවර්සිටි කොලීජිය බිහිකෙරිණි. 1942 දී විශ්වවිද්‍යාලයක් පිහිටුවීමට සූදානම් කැරිණි. ඊළඟ සාකච්ඡාව වූයේ විශ්වවිද්‍යාලය පිහිටුවිය යුත්තේ කොතැනකද යන්නකි. එය පළමුවෙන් නාරාහේන්පිට ප්‍රදේශයේ කැළි කසල ගහන ස්ථානයක පිහිටුවීමට යෝජනා විය. පසුව එය අකුරැස්ස, දෙණියාය, කැස්බෑව ප්‍රදේශවල පිහිටුවීමට සුදුසු බවට යෝජනා වූයේ එකල සිටියවුන් විශ්වවිද්‍යාලයක වටිනාකම නො දැන සිටි හේතුවෙනි.

ආකේඩියා

එදා ඇමැතිවරු එය දියතලාවේ හෝ දුම්බරට සුදුසු යැයි හඬ ගා කීහ. එහිදී සර් ජෝන් කොතලාවල මහතා සරසවිය පේරාදෙණියේ පිහිටුවිය යුතු යැයි ස්ථිරව කියා සිටියේ ය. එය එලෙසම පේරාදෙණියේ ඉදිවිණි. එම සිද්ධියේ දී ද පවත්නා විශේෂත්වය නම් විශ්වවිද්‍යාලය සොබා සෞන්දර්යයෙන් පිරිපුන් සිප්සත උගෙනීමට ඉතා යෝග්‍යය වූ පරිසරයක පිහිටා තිබෙන වඩාත් සුදුසු බවට කළ යෝජනාවේ පසුබිමේ පසුවන්නේ ඩී. ආර්. විජයවර්ධනයෝය. නැතිනම් එහි මූලික යෝජකයා වනුයේ ඩී.ආර්.ය. මෙහිදී ඔහුගේ සහයට පැමිණි ආචාර්ය එස්. ඊ. හේල්, ආචාර්ය අන්ද්‍රායස් මෙල් ද ඊට එක්වුහ. විජයවර්ධනයන්ගේ මඟපෙන්වීම මත ඔවුන් දෙදෙනා එම කාර්යය ඉදිරියටම ගෙන ආ අයවලුන්ය.

විශ්වවිද්‍යාලයක් පිහිටුවීමේ මූලික හේතුකාරකයා එතුමා වන අතර රටට අවැසි දේ නිසි තැනට ලබාදීමටද ඔහුගේ ඒකායන වුවමනාව වී තිබූ බවට මෙයද කදිම නිදසුනකි. 1948 දී නිදහස් අධ්‍යාපන පනත නිර්මාණය කළ අයිවර් ජෙනිස් මහතා එහි උපකුලපතිවරයා වූයේය. අග්‍රාණ්ඩුකාර සෝල්බරිසාමි හා සමීප ඇසුරක පසුවූ ඩි.ආර් සිය දියතලාවේ පිහිටි ‘ආකේඩියා’ නිවසේ සතිඅන්ත නිවාඩුව ඔහු සමඟ ගෙවන්නට ප්‍රියතාවය දැක්විය. දේශපාලනයේ ක්‍රියාකාරිකයකු නොවූවද විජයවර්ධනයන් ව්‍යවස්ථාව සම්පාදනය කිරීමේ කටයුත්තේදී බොහෝ යෝජනා ඉදිරිපත් කරමින් දේශීයත්වය ඉස්මතු කරලීමට කටයුතු කළේය.

ආචාර ධර්ම

එදා පාර්ලිමේන්තුවේ දේශපාලන ගමන්මඟ නිර්දේශ කිරීමට තරමේ සමතකු වූ එතුමා ලේක්හවුස් ආයතනයේ නිර්මාතෘවරයා ලෙසින්ද හිමිකරු ලෙසින්ද ප්‍රතිභා පුවත්පත් අයිතිකරුවකු ලෙසින්ද කීර්තිය පතුරවා හැර තිබුණේය. මාධ්‍යවේදීන්ට සිද්ධි සිය නමින් වාර්තා කිරීමේ සම්ප්‍රදාය වෙනුවට ‘ විශේෂ ලියුම්කරුවෙක්’ යන යෙදුම යටතේ වාර්තා කිරීමට විජයවර්ධනයන් උපදෙස් දී තිබුණි.

මාධ්‍යවේදියා තම නමින් ප්‍රසිද්ධ වූ කල මහජනතාවට සමීපව කටයුතු කිරීමට යාමේදී සත්‍ය කතා කරන්නට නොහැකිවනුු ඇත යන්න ඔහුගේ එම නියමයේ අරුත විය. වෘත්තිකයන් හැටියට කටයුතු කරන ආකාරය පමණක් නොව ආචාර ධර්ම පද්ධතියක්ද එතුමා නිකුත් කොට තිබුණි.

මහා කවි රවින්ද්‍රනාත් තාගෝර්තුමන්ගේ සමීපතම මිතුරකු වන විජයවර්ධනයන් 1913 දී ගීතාංජලිය වෙනුවෙන් සම්මානිත වනවිට එතුමාද තාගෝර්තුමා සමීපයේ සිටියේය. බොහෝවිට තාගෝර්තුමන් එතුමාගේ කොළඹ හා දියතලාවේ පිහිටි නිවෙස්වල නිවාඩුව ගත කරන්නට පුරුදුව සිටියේය. ආසියාවේ ප්‍රථම වරට සර්වජන ඡන්ද බලය ක්‍රියාත්මක වන අවස්ථාවේදී ඩොනමෝර් ක්‍රමයට එරෙහිව නිදහස් සටනේ මෙහෙයුම්කරු ලෙසින් දේශමාමක කාර්යභාරය ඉටුකළ එතුමාගේ සහයට ඒ. ඊ. ගුරුසිංහ මහතාද පැමිණ සිටියේය.

එදා බොහෝ මත නායකයින් සභා රැස්වීම් ආදියට සහභාගි වෙමින් වේදිකා මත නැගී කතා පවත්වමින් ප්‍රසිද්ධියේ පෙනී සිටියදී ක්‍රියාකාරී දේශපාලනයට නොපැමිණි විජයවර්ධනයන් සිංහල, දෙමළ, ඉංග්‍රීසි භාෂාත්‍රයෙන් පළවු තම පුවත්පත් මගින් අන් කිසිවකුගෙනුත් නොවු උදාරතර සේවාවක නිරත වී සිටියේය. ඉංග්‍රීසි හා දෙමළ පුවත්පත්වලින්ද ලාංකීය සාහිත්‍ය කලා ප්‍රබෝධය සඳහා සුවිසල් මෙහෙයක් ඔහුගෙන් රටට සිදුවූ බව ප්‍රචලිතය. ඔහුගේ ආදර්ශය වූයේ ජනතාවගේ බුද්ධිමය නිම්වළලු පුළුල් කර නව සමාජ සංස්ථාවක් ප්‍රතිනිර්මාණය කිරීමේ මහඟු ක්‍රියාවලියක ජනතාව දැනුවත් කිරීම සඳහා පුවත්පත් හැසිරවිය යුතුය යන්නය.

නිදහස් ජාතියක්

විජයවර්ධනයන් දෙමළ පුවත්පත් කර්තෘවරුන්ට නිදහසේ තම කාර්යය කරගෙන යාමේ නිදහස ලබාදී තිබුණේය. දිනමිණ පුවත්පතට තරඟකරුවන් සිටියේද නැත. එතුමාගේ යෝජනාවෙන් එදා ඇමැතිවරුනට චර්යාධර්ම පද්ධතියක්ද හඳුන්වා දී ඇත්තේද පුවත්පත් කර්තෘවරුන් විසිනි.

එතුමා නොසිටියේ නම් දිනමිණ මෙන්ම ශාස්ත්‍රීය ලිපිවලින් විද්වත් ලේඛනයන්ගෙන් පිරිපුන් ආසියාවේ වැඩිම අලෙවියට පාත්‍ර වූ සිළුමිණ ආදී පුවත්පත්වලින් දේශීය කලාකරුවන් කිසිවකු රටෙහි මතුවන්නේ නැත.

එතෙක් නොතිබූ සම්ප්‍රදායක් පුවත්පත්වලට අනුගත කිරීමට විජයවර්ධනයන් කටයුතු කළ අතර පුවත්පත් කාලීනව නොයෙක් වෙනස්වීම්වලට බඳුන් කැරිණි.

සිය රට අධිරාජ්‍ය වහල් බැම්මෙන් මුදාගැනීමට මෙන්ම රටට දැයට නිදහස් නිවහල් පැවැත්මට ඇවැසි බොහෝ දෑ ඉටුකරමින් පුවත්පත් ලෝකය අද්විතීය අයුරින් ජාතියට දායාද කළ ඩී. ආර්. විජයවර්ධනයනට ජාතියේ ප්‍රණාමය හිමිවිය යුතුය.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා


සබැඳි පුවත්