සිරිලක ලිබරල් අරගලයේ මහ මොළකරු

සිරිලක ලිබරල් අරගලයේ මහ මොළකරු

අපේ දේශපාලන ඉතිහාසය දෙස බලනවිට පෙනීයන්නේ මුල්යුගයේ දේශපාලනඥයන් මෙන්ම දේශපාලනයට සම්බන්ධ බොහෝ දෙනෙක් බ්‍රිතාන්‍ය අධ්‍යාපනය ලැබූ අය බවයි. තවත් අය බ්‍රිතාන්‍යයේ නොවුණත් යුරෝපයේ වෙනත් රටවල අධ්‍යාපනය ලැබුවන්ය. මේ කාරණය දක්ෂිණාංශික මෙන්ම වාමාංශික දේශපාලනයටද අදාළය.

මෙහිදී ඉංග්‍රීසි ලෝකයේ තත්කාලීන මතාවදය කුමක්ද යන්න විග්‍රහ කළ යුතුය. එංගලන්තයේ තත්කාලීන දේශපාලන ප්‍රවාහයන් දෙකක් තිබිණි. එකක් කොන්සර්වෙටිව් හෙවත් ප්‍රතිගාමී නැත්නම් ප්‍රතිසංස්කරණවාදී අදහස් දරණ කණ්ඩායමයි. බොහෝවිට එරට ආණ්ඩු පිහිටුවූයේ මේ කණ්ඩායමේ කොන්සර්වෙටිව් වාදීන්ගේ ආදර්ශවත් නායකයා ලෙස ඩිස්රේලි හැඳින්විය හැකියි.

මෙහිදී ප්‍රතිගාමී යනුවෙන් අදහස් කෙරෙන්නේ අපේ ශබ්දකෝෂයේ එම තේරුම දෙන අදහස නොවේ. මන්ද යත් ඔවුන් වඩාත් පෙනී සිටියේ අධිරාජ්‍යවාදය රැකගැනීම සඳහා එම ක්‍රමයේ අභිවෘද්ධිය වෙනුවෙන් බැවිනි. මීට ප්‍රතිවිරුද්ධ කණ්ඩායම ලිබරල්වාදීන්ය ඔවුන්ගේ ආදර්ශවත් නායකයා ග්ලැඩ්ස්ටන්ය. මෙම අදහස් ප්‍රවාහයන් අතර ද්වන්ධ සටන එංගලන්තය තුළ බොහෝවිට නිරූපණය වූයේ ඩිස්රේලි සහ ග්ලැඩ්ස්ටන් අතර මතවාදීමය අරගලය තුළිනි.

ලිබරල්වාදීන් බලයට පැමිණියේ “නිදහස් ආර්ථිකයක්” ගැන කතා කරමිනි. එවක තිරිඟු නීතිය Corn Law යනුවෙන් නීතියක්ද විය. එම නීතිය වඩා පුළුල් කර විවිධ භාණ්ඩ අපනයනය කිරීම සඳහා ද ඔවුහු පියවර ගත්හ. එවක තිබූ අදහස්වලට අනුව ලිබරල්වාදීන් හඳුනා ගැනුණේ ප්‍රගතිශීලීන් වශයෙනි. ප්‍රංශ විප්ලවයේදී ප්‍රතිගාමී පිල එය විවේචනය කළ අතර එංගලන්තයට තර්ජනයක් ලෙස ඔවුන් එවැනි මතයක් දැරිය. නමුත් ලිබරල් පිල එය මනුෂ්‍ය හරයන්ගේ විකාශනයක් ලෙස පිළිගත්තේය.

මෙම වකවානුවේ විදේශයන් හි අධ්‍යාපනයට යොමු වූයේ නැඟී එන ධනෙශ්වර පංතියට අයත් පවුල්වල දරුවන්ය. ඊට අමතරව ශිෂ්‍යත්ව ලබා ගිය කොටසක්ද විය. කෙසේ නමුත් මේ බොහොමයක් දෙනා ඇදී ගියේ ලිබරල්වාදීන් වෙතටය. ඉතිහාසයේ එම යුගයේ දී ඔවුන් හඳුනාගත හැක්කේ ප්‍රගතිශීලීන් වශයෙනි. වහල්භාවය නැතිකිරීම, යටත්විජිත කොලණිවල තව තවත් ප්‍රජාතන්ත්‍රවාදී ලක්ෂණ ඉස්මතුකිරීම, ආගම සහ පාලනය දුරස්ථ කිරීම වැනි ප්‍රගතිශීලී වුණමනාවන් වෙනුවෙන් ඔවුහු පෙනීසටියහ. මේ කාරණාවලදී විශාල බුද්ධිමය මැදිහත්වීමක්ද ඔවුන්ගෙන් සිදුවිය.

ඩී.ආර්. විජයවර්ධන තරුණයාද මෙම වකවානුවේ කේම්බ්‍රිජ් සරසවියෙන් පිටවී ලන්ඩන් නුවර ලිබරල්වාදී කණ්ඩායම සමඟ සමීපව කටයුතු කරමින් එම අදහස් මත පිහිටා ක්‍රියාකරන්නට වූයේය. එනම් විජයවර්ධනද ප්‍රතිසංස්කරණ වාදියෙකි.

ඔහු ලංකාවට පැමිණියේ මෙම අදහස් වලින් පෝෂණය වීමෙන් පසුවය. මෙරටදී ප්‍රතිසංස්කරණවාදීන්ගේ ප්‍රධාන ඉල්ලීම වූයේ අපේ රටේ ජනතාවට වැඩි වැඩියෙන් පාලන තන්ත්‍රය තුළ නියෝජනයක් ලබාදෙන ලෙසයි. දේශපාලන වශයෙන් ස්වදේශීය ජනයාට වැඩි තැනක් ලබාදීම සහ පරිපාලනමය තන්ත්‍රයේද දේශීය ජනයාට වැඩි ඉඩක් ලබා දීම යන අංශ දෙකම එම ඉල්ලීමට ඇතුළත් විය.

සර්වජන ඡන්ද බලය ලබාගැනීම ආදී ඉල්ලීම් එවක ඇතිවී තිබුණේ නැත. ස්වදේශීය ජනයාට වැඩි නියෝජනයක් හා වැඩි අවස්ථා ලබාගැනීම සඳහා ප්‍රතිසංස්කරණවාදීන් සමඟ රාජ්‍ය අංශයට ඇතුළත් නොවන වෙළෙඳ ප්‍රජාව වැවිලි හිමියන් මෙහි සිටි බ්‍රිතාන්‍ය හා බර්ගර් ජාතික නීතිඥයන් ආදී විවිධ පිරිස් එක්ව ක්‍රියාකළහ. ශ්‍රීමත් ජේම්ස් පීරිස් ඊට නායකත්වය ලබා දුන්නේය.

එවක මෙරට පැවැති බ්‍රිතාන්‍ය පාලනය බොහෝදුරට නිලධාරී තන්ත්‍රයේ අණසක යටතේ වූ පාලනයකි. ප්‍රධාන ලේකම්, මුදල් ලේකම් සහ අභ්‍යන්තර කටයුතු පිළිබඳ ලේකම් යන අය පර්පාලනයේ ඉහළ තලය නියෝජනය කළේය. විධායකයට මෙන්ම නිලවශයෙන් ව්‍යවස්ථාදායකයටද බෙහෝදුරට පත්වූයේ සුදු ජාතිකයන්ය. මේ තත්ත්වය තුළ ස්වදේශීය ජනයාට අවස්ථා අහිමිව තිබීම ප්‍රතිසංස්කරණවාදීන් ගෙනගිය සටනට හේතුවිය.

මේ සටනට නායක්තවය දුන් චරිතයක් ලෙසද ඩී. ආර්. විජයවර්ධන මැතිතුමා ගැන සඳහන් කළ යුතුය. එවක ලංකා ව්‍යවස්ථාදායක මණ්ඩලයේ පටන් සෝල්බරි කොමිෂම දක්වා දේශීය නියෝජිතත්වය වැඩිකර ගැනීම වෙනුවෙන් විජයවර්ධන මැතිතුමා නායකත්වය ලබා දී ක්‍රියා කළේය.

ලංකා ජාතික කොංග්‍රසය, එක්සත් ජාතික පක්ෂය සහ සිංහල මහා සභාව එහිදී එම ප්‍රවණතාව නියෝජනය කළේය. අඩු වැඩි වශයෙන් මේ තුන්ගොල්ලම ඉල්ලා සිටියේ මේ රටට ආසන ක්‍රමයක් තුළින් හෝ වැඩි දේශීය නියෝජනයක් ලැබිය යුතු බවයි. එම අවස්ථාවේ ඔවුහු ස්වෛරීබලය ලබාදෙන මෙන් ඉල්ලා නොසිටියහ.

එෆ්.එච්.එම්.කෝබට්

නමුත් මෙම අරගලයට හඬක් තිබුණේ නැත. එවක ඉන්දියාවේ තත්ත්වයද මීට සමානය. ජවහර්ලාල් නේරු, මොතිලාල් නේරු, ආදීන්ගෙන් සැදුම්ලත් නේරු පවුල ද එංගලන්තයේ උසස් අධ්‍යාපනය හැදෑරීමෙන් පසු ඉන්දියාවට පැමිණ ප්‍රතිසංස්කරණවාදී අදහස් මත පිහිටා ක්‍රියා කරන්නට විය. ජවහර්ලාල් නේරුගේ විශේෂත්වය වන්නේ ඔහු ප්‍රතිසංස්කරණවාදයෙන් ඔබ්බට යමින් සාමකාමී සමාජවාදය සඳහා පෙනීසිටීමයි.

ඔවුහු බ්‍රිතාන්‍ය කම්කරු පක්ෂය සමඟ සමීපව ක්‍රියාකරමින් එහි බුද්ධිමය ආභාෂයද ලැබුහ. නේරුට මෙන්ම විජයවර්ධනටද මුහුණ දීමට සිදුවූ ප්‍රශ්නයක් වූයේ මෙම පණිවිඩය ජනතාව වෙතට රැගෙන යාමට වාහනයක් නොතිබීමයි. එවක රූපවාහිනී - ගුවන්විදුලි ආදී මාධ්‍ය අද මෙන් නොතිබියා සේම විශාල රැස්වීම්ද එතරම් ප්‍රචලිත වූයේ නැත.

ඉන්දියාවේදී නේරු සිය පණිවිඩය ගෙන ගියේ ‘අලහබාද්’ නිව්ස්” පුවත්පත තුළිනි. ගාන්ධිට ද පුවත්පතක් තිබිණි. තවත් ප්‍රාදේශීය පුවත්පත් ද විය. ලංකාවේදී නැඟී එන ප්‍රතිසංස්කරණවාදී අදහස් ප්‍රචලිත කිරීම සඳහා අවශ්‍ය වාහකය සපයා දුන්නේ ඩී. ආර්. විජයවර්ධනයි. එම වාහකය ‘ලේක්හවුස්’ ‘හෙවත්’ ‘බේරෙ ගෙදරයි’ ඔහු එය ගොඩනැගුවේ ව්‍යාපාරික ඥානයෙන් මෙන්ම දේශපාලන වුවමනාවකින්ද යුතුවයි. ලේක්හවුසිය ගොඩනැගීම මෙරට ආර්ථික, දේශපාලන – සාමාජයීය සන්ධිස්ථානයකි .

ලේක්හවුසිය ගොඩනගන විට විජයවර්ධනට ඉතා අහිමිරි අත්දැකීම්ද විය. දේශීය ධනපතියන්ට ප්‍රාග්ධනය නොතිබීම ඉන් ප්‍රධානයි. ප්‍රාග්ධනය ලබාගත නොහැකිව කිසිවක් කිරීම අසීරුය. විජයවර්ධන පවුල සේදවත්ත කේන්ද්‍රකර ගනිමින් ගොඩනැගුණේ මුලදී සාමාන්‍ය පවුලක් වශයෙනි. කැලණි ගඟ දිගේ පාකර එවූ ලී ගොඩ බෑවේ සේදවත්තෙනි. වැලි , ගඩොල් ආදී ව්‍යාපාර ද එහි තිබිණි.

කොළඹට අවැසි යටිතල සේවා පහසුකම් සැපයුවේද සේදවත්තෙනි. ඩී. ආර්.විජයවර්ධන මැතිතුමාගේ පියා එම පහසුකම් ලබාදුන්නේය. විජයවර්ධන පවුලේ නිවස ගොඩ නැඟුණේ සේදවත්තේයි. ශීඝ්‍රයෙන් නැගී එන කොළඹ නගරයට සේදවත්ත කේන්ද්‍රස්ථානයක් විය.

ඒ කොළඹ අලුතෙන් මාර්ග කම්හල් නිවාස ආදිය ඉදිවෙමින් තිබූ වකවානුවයි. ඊට අවශ්‍ය සේවාවන් යටිතල පහසුකම් සැපයුණේ සේදවත්තෙනි. මේ සියල්ලෙන් විජයවර්ධන පවුල වෙත ධනය ගලා ආවේය. ඉදිකිරීම් ආදී කර්මාන්ත වලින් උපයාගත් ධනය යොදවා කොළඹ නගරයේ ඉඩකඩම් රැසක් මිලදීගත් විජයවර්ධන පවුල සිය ව්‍යාපාර ඒ මත ගොඩනැගීය.

විජයවර්ධන මහතා මෙහිදී ප්‍රායෝගිකව අවබෝධ කරගත් ප්‍රධාන කාරණයක් විය. ඒ දේශීය ධනපතියන්ට ප්‍රාග්ධනය නොලැබීම පිළිබඳ කාරණයයි. බ්‍රිතාන්‍ය අධිරාජ්‍යවාදී බැංකු ඔවුන් වෙත ණය ලබාදීමෙන් වැළකිණි. ලාංකිකයන් ණය ගත යුතු වූයේ සරප්වරු Shroff හරහායි. සරප්වරු බැංකුවලින් ණය ලබාගත් අතර ඔවුන් වෙතින් ණය ගැනීමට ලාංකික ව්‍යාපාරිකයන්ට සිදුවිය.

මේ ණය ගැනීමට සිදුවූයේද වැඩි පොළියටයි. එසේ නැත්නම් ණය ගැනීමට බායියන් ළඟට යායුතු විය. විජයවර්ධන මැතිතුමාටද බායියන්ගෙන් මුදල් ගැනීමට සිදුවිණි. මෙහිදී බොහෝ දෙනෙකු අමතක කරන විශේෂ කාරණයක් ගැන සඳහන් කළ යුතුය. එනම් ලේක්හවුසිය, දේශීය බැංකුවක් සඳහා විශාල අරගලයක්, ගෙනගිය බවයි. අද ජාතියේ පහන්ටැඹ යනුවෙන් හැඳින්වෙන ලංකා බැංකුව ආරම්භවූයේ පුද්ගලික අංශය ගෙනගිය එම අරගලය තුළිනි.

බැංකු කොමිෂමක් ඇතිකිරීමෙන් එය ගොඩනඟා ගැනීම සඳහා ලේක්හවුසිය විශාල කාර්ය භාරයක් කළාය. ශ්‍රීමත් ආතර් සිල්වා ගේ සභාපතිත්වයෙන් යුතු වූ බැංකු කොමිෂම දේශීය ව්‍යාපාරිකයන්ගේ ප්‍රධාන ආයුධ වූ ලංකා බැංකුව ඇතිකිරීමට නිර්දේශ කළේ මෙම අරගලයේ ප්‍රතිඵලයක් ලෙසයි.

ලංකා බැංකුව රාජ්‍ය බැංකුවක් බවට පත්වූයේ පසුකාලීනවයි. දේශීය බැංකුවක් ඇතිකිරීම සදහා වූ නිර්දේශයන් සුදුපාලකයන්ගේ ප්‍රසාදයට හේතු වූයේ නැත. එහෙත්, කොමිෂමේ නිර්දේශයන් පිළිබඳ ලේක්හවුස් පුවත්පත්වල පළවීම නිසා අධිරාජ්‍යවාදීන්ට එවැනි බැංකුවක් සඳහා ඉඩදීමට සිදුවිය. සරප්වරුන් හා බායියන්ගෙන් ණය ගන්නා ක්‍රමය සම්පූර්ණයෙන් වෙනස්වූයේ ලංකාබැංකුව ඇතිවීමත් සමඟයි.

දේශීය ව්‍යාපාරිකයන් සඳහා බැංකුවක් ඇති කිරීමට ඩී. ආර්. විජයවර්ධන මැතිතුමාගෙන් වූ සේවය අගය කළ යුතුයි. දේශපාලනිකව ඔහු කෙරෙහි එල්ල වන විවේචන බැහැර කරතොත් ඔහු ආර්ථික ක්ෂේත්‍රයේ ප්‍රගමනය සඳහා කර ඇත්තේ විශේෂී මෙහෙවරකි.

ප්‍රතිසංස්කරණවාදීන්ගේ තවත් ලක්ෂණයක් වූයේ අධ්‍යාපනය ව්‍යාප්ත කිරීමයි. විශේෂයෙන් උසස් අධ්‍යාපනය ප්‍රචලිත කිරීමට ඔවුහු වෑයමක් කළහ. එම වකවානුවේ මෙරටට නේවාසික විශ්වවිද්‍යාලයක් අවශ්‍ය ද ? නැද්ද ? යන්න අරබයා විශාල මතගැටුමක් තිබිණි.

මේ ගැටුම ඔස්සේ රට මත දෙකකට බෙදිණි. ඩී. ආර්. විජයවර්ධන මහතා සිය පුවත්පත් පාවිච්චි කරමින් දැඩි ලෙස කියාසිටියේ මෙරටට නේවාසික විශ්වවිද්‍යාලයක් අවශ්‍ය බවයි. එවිට තවත් මතගැටුමක් ඇතිවිය. ඒ, නේවාසික විශ්වවිද්‍යාලයක් අවශ්‍ය නම් එය ඇතිකළ යුත්තේ කොහේද යන්න ගැනයි.

සමහරු එය දුම්බර මිටියාවතේ (පොල්ගොල්ල ප්‍රදේශයේ) ඇතිකළ යුතු යැයි කී අතර තවත් සමහරු එය පේරාදෙණියේ ඇතිකළ යුතුයැයි කීහ. වාමාංශිකයන්ගේ අදහස වූයේ නේවාසික විශශ්වවිද්‍යාලයක් අවශ්‍ය නොවන බවයි. අවසානයේ පේරාදෙණියේ නේවාසික විශ්වවිද්‍යාලයක් පිහිටුවීම පිළිබඳ මතය වෙනුවෙන් විජයවර්ධන මහතා දැඩි ලෙස පෙනී සිටියේය.

පේරාදෙණිය විශ්වවිද්‍යාලය බිහිවන්නේ එහි ප්‍රතිඵලයක් වශයෙනි. ශ්‍රීමත් ඩී.බී. ජයතිලක, අරුණාචලම්, රාමනාදන්, අක්බාර්, මාකස් ප්‍රනාන්දු ආදී විජයවර්ධන මහතා සමඟ එම මතයේ සිටි සමකාලීනයන් සිරිකිරීම් වස් පේරාදෙණියේ නේවාසිකාගාර එම නම්වලින් නම් වී තිබේ. එපමණක් නොව විජයවර්ධන සිය පුද්ගලික ධනයද විශ්වවිද්‍යාලය සඳහා යෙදවීය. එහි සංඝාරාමය (විජයවර්ධන සංඝාරාමය) ඉදිවූයේ ඔහුගේ පුද්ගලික ධන පරිත්‍යාගයෙනි.

විජයවර්ධන මැතිතුමාගේ අනෙක් ක්ෂේත්‍රයක් ලෙස මා දකින්නේ දේශපාලනයයි. බොහෝ දෙනා ඔහු පිළිබඳ කතාකරන්නේ දේශපාලනය සම්බන්ධ කරගනිමිනි. විජයවර්ධන මැතිතුමා ලංකා ජාතික කොන්ග්‍රසයටත් පසුව එක්සත් ජාතික පක්ෂයටත් දැඩි ලෙස සහාය දැක්වීය. එවකට එජාපයට එරෙහිව තිබුණේ මාක්ස්වාදී පක්ෂ පමණක් නිසා ඔහුගේ එම ක්‍රියා පිළිවෙත තේරුම් ගැනීම දුෂ්කර නැත. එස්. ඩබ්. ආර්. ඩී. බණ්ඩාරනායක මහතාද එවක සිටියේ එජාපයට සම්බන්ධවයි. දැන් බොහෝ දෙනෙක් නොදන්නා කාරණයක් නම් එජාපය එවක සන්ධානයක් වූ බවයි. විවිධ පක්ෂ කිහිපයක් එක්ව එය එක්සත් ජාතික පක්ෂය ලෙස හැඳින්විණි.

ජාතීන් හැටියට ද අප බෙදී සිටි නිසා භූමිය මත පදනම් වූ ආසන ක්‍රමයකට යා නොහැකි බව බ්‍රිතාන්‍යයන්ගේ අදහස විය. එහිදී දේශීය නායකයන්ට, විශේෂයෙන් විජයවර්ධනට පෙන්වීමට අවශ්‍ය වූයේ රට තුළ විවිධ ජනකොටස් සිටියද ඔවුන් සාමූහිකව මැතිවරණයට ඉදිරිපත්වන බවයි. ඒ සඳහා එවක තිබූ වාර්ගිකත්වය මුල්කරගත් දේශපාලන පක්ෂ එක්සත් ජාතික පක්ෂය යටතේ ඒකාරාශී කිරීමට ඔවුහු ක්‍රියා කළහ.

ජාතික කොන්ග්‍රසයෙන් ඩී.එස්.සේනානායක, ඩඩ්ලි සේනානායක, ජේ.ආර්.ජයවර්ධන ආදීන් ඊට එක්විය. බණ්ඩාරනායක සමඟ සිංහල මහා සභාවද ඊට එක් කර ගැනිණ. කලීල් ආදීන් සමඟ ලංකා මුස්ලිම් කොන්ග්‍රසයද ඊට එක්විය. ද්‍රවිඩ සංගමයද එකතු කරගන්නා ලදී. එක්සත් ජාතික පක්ෂය නිර්මාණය වූයේ මේ සියල්ල එක්වීමෙනි. මෙලෙස බිහිකරගත් දරුවා තවදුරටත් ජීවත්විය යුතු ද යන්න තීරණය කිරීමට සිදුවූයේ 1947 දීය.

මේ වනවිට දෙවන ලෝක යුද්ධය නිමාව දැක තිබිණි. ඇට්ලිට ඉන්දියාවට පැමිණ නිදහස ලබාදීමට සිදුවිය. අධිරාජ්‍ය විරෝධී හැඟීම් උත්සන්න වෙමින් පැවතිණි. බ්‍රිතාන්‍යයේ චර්චිල් පරදවා කම්කරු පක්ෂය බලයට පත්විය. එම දේශපාලන සන්දර්භය තුළ විජයවර්ධනට විශේෂයෙන් වුවමනා වූයේ එක්සත් ජාතික පක්ෂය බලයට ගෙන ඒමටයි.

මෙම ව්‍යාපෘතියේ මහමොළකාරයා විජයවර්ධනය. බ්‍රිතාන්‍යයන්ගේ තර්කය බිඳ දැමීමට ඔහුට හැකිවිය. මෙම ව්‍යාපෘතියට තර්ජනයක් ආවේ මාක්ස්වාදීන් සහ රැඩිකල් රැල්ලෙනි. එහිදී ඔහු සිය පුවත්පත පාවිච්චි කළේය. මේ නිසාම ඔහු මාක්ස්වාදීන්ගේ වෛරයට භාජන විය.

1947 දී ලේක්හවුසිය දැඩි ලෙස එජාපය වෙනුවෙන් පෙනී නොසිටියේ නම් සමහරවිට ඩී.එස්. සේනානායක මහතා අගමැති නොවීමටත් ඉඩ තිබිණි’ ඒ අවස්ථාවේ ඔහුට ආණ්ඩුවක් පිහිටුවීමට හැකිවූයේ ස්වාධීන අයගේ සහාය ලබාගැනීමෙනි. එජාපයට තනි බලයක් ගොඩ නැගී තිබුණේ නැත. මෙහිදී බණ්ඩාරනායක මහතා සේනානායක මහතා සමඟ හිඳිමින් මාක්ස්වාදීන්ට පහර ගැසූ බව අප අමතක කළ යුතු නැත.

කෙසේ වුවද ඉන් පසු ඇතිවූ යුගයේ ද කොතලාවල , ඩඩ්ලි ගැටුම තුළ ලේක්හවුසිය ඩඩ්ලි වෙනුවෙන් පෙනීසිටි අතර කොතලාවලට ප්‍රහාර එල්ල කළේය. ලේක්හවුසිය එහිදී පෙනී සිටියේ ඩී.එස්. චින්තනය ඉදිරියට ගෙනයාම වෙනුවෙනි. ලේක්හවුසිය රජයට පවරාගතයුතු බවට දැඩි උද්ඝෝෂණයක් නිර්මාණය වූයේද මෙම පසුබිම තුළය.

ඩී.ආර්.විජයවර්ධන මැතිතුමාගේ චරිතයේ එම පුළුල් භූමිකා අනුව පැහැදිළිව පෙනීයන්නේ ඔහු මෙරට ජාතික ව්‍යාපාරයේ පුරෝගාමී චරිතයක් වූ බවයි.

ආචාර්ය සරත් අමුණුගම
ජාත්‍යන්තර මූල්‍ය සහයෝගිතාව පිළිබඳ ජ්‍යෙෂ්ඨ අමාත්‍ය


සබැඳි පුවත්