ජාතික පුවත්පතක මෙහෙවර

ජාතික පුවත්පතක මෙහෙවර

ඩී. ආර්. විජේවර්ධන මහතා 1948 පෙබරවාරි 10 වැනිදින ඩේලි නිවුස් පුවත්පතට යොමු කරන ලද ලිපියක පරිවර්තනයකි

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව පිළිබඳව ලත් ජයග්‍රහණ අතින් සමෘද්ධියක් පැවැති සමයේ ස්වයං රාජ්‍යයක් සඳහා වූ අරගලයෙහි යෙදුණු නායකයන් අනුස්මරණය කිරීමත් ඔවුනට බුහුමන් දැක්වීමත් යථා යෝග්‍ය කාර්යයකි. ජෝජ් වෝල් හා චාල්ස් ඇම්බ්‍රෝස් ලෝරන්ස්ගේ කාලයේ පටන් ඩොමිනියන් රාජ්‍ය තත්ත්වය දිනා ගැනීම සඳහා අනායාස අරගලයෙහි යෙදීම නිසා ජනාදරයට පාත්‍රවුණු පොන්නම්බලම් අරුනාචලම්, ජේම්ස් පීරිස්, ඊ. ජේ. සමරවික්‍රම, එෆ්. ආර්. සේනානායක, ඩී. බී. ජයතිලක, ජේ. ඩබ්ලිව්. ද සිල්වා සහ ඊ. ඩබ්ලිව්. පෙරේරා ද, මේ වත්මනේ ඩී. එස්. සේනානායක මහතා ද දක්වා සිටින සියලු නායකයන්ගෙන් ඒ ජාතික අරගලයේ දී ඉටුවුණු අසහාය මෙහෙවර මුළු රටම අනුස්මරණය කැරෙන්නේය. මේ පුරුෂයන්ගේත් ඔවුන් හා උරෙන් උර ගැටී කටයුතු කළ සගයන්ගේත් නම් අපගේ කාලය පිළිබඳ ඉතිහාසයේ කවර පුරාවෘත්තයකදීවත් අමතක නොකැරෙනු ඇත.

තවත් දැඩි බලවේගයක්ද ඒ සමඟම ක්‍රියාත්මක වූයේය. එය නොතිබිණි නම් මේ පුද්ගලයන්ගේ ක්‍රියාවලිය බොහෝ දුරටම අසාර්ථක වන්නට ඉඩ තිබිණි. ස්වයං ශික්ෂණය පිළිබඳව යථාරූපී හැඟීමකින් යුත් පුවත්පත සිය හොරණෑව උච්චතම ස්වරයෙන් හඬ නොනැඟීය. එහෙත් දේශපාලන ප්‍රතිසංස්කරණ සඳහා නැඟුණු උද්ඝෝෂණයේ දී ජාතික පුවත්පත්වලින් ඒ වෙනුවෙන් ඉටුවුණු මෙහෙවර කෙරෙහි රට මේ අවස්ථාවේ දී නිසි අවධානය යොමු කළ යුතුය.

ජෝජ් වෝල් හා පර්ගසන්ස්ලා තමන්ගේ පුවත්පත් මගින් පොදුජන යහපත සඳහා සිය ශක්තිය හා සම්පත් ද උපරිමයෙන් යෙදූ වකවානුව දැන් බොහෝ ඈතට ගමන් කර ඇත. ඔවුන්ගේ කාලයේ දී සංවිධානාත්මක පොදුජන මතයක් නොවූ අතර සියලු බලතල සහිතව එදා පැවැති යටත් විජිත රාජ්‍යයට එරෙහිව සටන් වැදීම සඳහා ඔවුන් පදනම් කොට ගත් කරුණු අවශ්‍යයෙන්ම බෙහෙවින් පටු ඒවා විය.

ඒ කරුණු මත ඔවුහු එදා යම් ගෞරවයක් හා සාර්ථකත්වයක්ද ඇතිව සිය වගකීමෙන් නිදහස් වූහ. එහෙත් එදා ජාතික විඥානය උදාසීනව පැවැතියේය. එය අවුස්සා ක්‍රියාත්මක කළ හැකි බලවේගයක් ඒ වකවානුවේ දී නොවීය.

ශ්‍රීමත් පොන්නම්බලම් අරුණාචලම්ගේ ක්‍රියාවලියේ පුළුල් ප්‍රතිඵලයක් වශයෙන් ජාතික ආත්මය නමැති ගිනිසිළුව දැල්වුණු යුගය එදා උදා වූයේ ඉන් අනතුරුවය. යුග උදාවකට මඟ පාදමින් මේ සදානුස්මරණීය නායකයා මැසොනික් ශාලාවේදී අපගේ දේශපාලන අවශ්‍යතා යන මැයෙන් පැවැත් වූ අසහාය දේශනය නිසා ඔහු බෙහෙවින් ආදරය කළ මේ රටේ ඉතිහාසය වෙනස් කළ බලවේග ක්‍රියාත්මක වූයේය. මේ රැස්වීමේ ක්ෂණික ප්‍රතිඵලය වූයේ “ප්‍රතිසංස්කරණ මණ්ඩලය” බිහිවීමය. “ජාතික සංගමය” ප්‍රතිසංස්කරණ මණ්ඩලයටද කළින් උපත ලබා තිබිණි. මේ සංවිධාන දෙකම එක්වී ජාතික සම්මන්ත්‍රණ පැවැත් වූ අතර “ජාතික කොංග්‍රසය” එළිදුටුවේ එහි ප්‍රතිඵලයක් වශයෙනි.

ලංකාව ස්වාධීනත්වයේ එළිපත්ත වෙත රැගෙන ආ ජාතික ව්‍යාපාරයට පළමුවැනි උත්තේජකය ලැබුණේ ඒ අවස්ථාවේදීය. පොදුජන මතය ප්‍රථම වතාවට එක හඬින් නැඟෙන්නට වූයේ ඒ අවස්ථාවේදීය. “දිනමිණ” හා “ද සිලනීස්” යනාදී මුල් ජාතික පුවත්පත් බිහි වූයේ ඒ අවස්ථාවේදීය.

පැරණි “සිලෝන් ඔබ්සර්වර්” “මෝනිං ලීඩර්” “ටයිම්ස් ඔෆ් සිලෝන්” හා “ඉන්ඩිපෙන්ඩන්ට්” යනාදී පුවත්පත් ඒ වනවිටද ප්‍රකාශයට පත්වෙමින් තිබිණි. ජෝන් පර්ගසන්ගේ අභාවයෙන් පසු “ද ඔබ්සර්වර්” පොදුජන මතයෙන් බැහැර පරිහානියට පත්වූ අතර පසුව එය යුරෝපීය වෙළෙඳුන්ගේ හා වැවිලිකරුවන්ගේ පත්තරය බවට පත්වූයේය.

කාර්යක්ෂම කතුවරයකු යටතේ පැවැතියද “මෝනිං ලීඩර්” පත්‍රය තම දේශපාලනය එක්තරා පිරිසකට සීමා කළේය. ආමන්ඩ් ද සූසා මහතා වැදගත් ප්‍රශ්නවලට ළාමක පෞද්ගලික කීර්තිය අගය කළ අතර පෞද්ගලික ලාභාපේක්ෂා සහිත ස්වාමීවරු බොහෝ දෙනෙක් ද ඔහු වටකරගෙන සිටියහ. එයින් ඔහුට එල්ල වූ පීඩනය, මේ සීමා ඉක්මවා යෑමට ඔහුට නොහැකි තරමට ප්‍රබල විය.

“ද සිලනීස්” පුවත්පත් ක්ෂේත්‍රයට ඇතුළු නොවනතෙක්ම ප්‍රබල ජාතිත ප්‍රතිපත්තියක් සහිත ජාතික පුවත්පතක් ලංකාවට නොතිබිණි. ශ්‍රීමත් පොන්නම්බලම් රාමනාදන් හා කීර්තිමත් අධිනීතිඥයකු වූ හෙක්ටර් ජයවර්ධන මහතාත් පසු කාලයක දී නොසැලෙන ප්‍රතිපත්තිවලින් හෙබි පුද්ගලයකු වූ ප්‍රැන්සිස් ද සොයිසා මහතාත් ඒ පුවත්පත මනාසේ සංස්කරණය කළහ.

රටේ පැවැති දේශපාලන ඌනතා “ද සිලනීස්” මගින් ඍජුව මෙන්ම එඩිතරව ද ප්‍රකාශයට පත් වූ හෙයින් එමඟින් නැඟී ආ පොදු ජන මතය ඒ වටා ඒකරාශී වූයේය. එහෙත් අවාසනාවකට මෙන් පුවත්පතේ ව්‍යාපාරික අංශයේ කළමනාකාරීත්වය දුර්වල වූයෙන් 1917 අවසාන භාගය වන විට එය අසාර්ථකත්වයට පත් වූයේය.

මා ඒ මුද්‍රණාලය ඒ අවුරුද්දේම දෙසැම්බරයේ දී මිලට ගත් අවස්ථාවේ “ද සිලනීස්” පුවත්පතේ හොඳ හිතත් මට ලැබිණි. හුදෙක් ජාතික පුවත් පතක් පවත්වාගෙන යෑම පමණක් නොව රටේ දේශාලන විමුක්තිය සඳහා වූ අරගලය ජයග්‍රහණය කරන තෙක් මෙන්ම ගොඩනැඟිල්ලේ කටයුතු ආරම්භ වන තෙක් එය මෙහෙයවීමද අතින් මා බාර ගත්තේ කොතරම් බරපතළ කාර්යයක්ද යන්න මට අවබෝධ වූයේ එවිටය. එක්තරා ශ්‍රේෂ්ඨ පුද්ගලයකු කීවාක් මෙන් “සංවිධානය කිරීම යනු මිනිසුන්ට නිදහසේ කටයුතු කරන්නට ඉඩහැරීමය.” 1918 ජනවාරි 3 වැනිදා “ඩේලි නිව්ස්” පත්‍රයේ ප්‍රථම කලාපයට විශේෂ පණිවුඩයක් නිකුත් කළ ශ්‍රීමත් පොන්නම්බලම් රාමනාදන් එහි මෙසේ සඳහන් කෙළේය.

“ද ඩේලි නිව්ස්” උපත ලබන්නේ වාසනාවන්ත අවස්ථාවකය. අලුත් බලවේග අප වටා ක්‍රියාත්මක වෙමින් තිබෙන අතර රටට නව යුගයක් උදා වෙමින් තිබේ. ලංකාවට ඇගේ සියලුම දරුවන්ගේ ශක්තිමත් සේවය අත්‍යවශ්‍යව තිබේ. ඒ සඳහා අලුත් පුවත්පත තරම් උද්‍යෝගීමත් වන අන්කිසිවක් නොමැති බවද ඇයට පෙනී යනු ඇතැයි මම විශ්වාස කරමි.

සැබැවින්ම එය අනාගත වක්තෘවරයකුගේ ප්‍රකාශයකි. එය ලියැවුණු දා පටන් මෙතෙක් ගතවී ඇති තිස් අවුරුදු කාලය තුළ ලංකාව සෑම අතින්ම සමාජයීය හා දේශපාලනික වශයෙන් ද ජනතාව තමන්ගේ ඌනතා, බලතල, ජන්ම අයිතිය හා ජාතික උරුමයේ විභූතිය අවබෝධ කරගැනීම අතින්ද පුළුල් ප්‍රගතියක් ලබා සිටින්නීය. රටේ පොදුජන මෙහෙවරෙහි නියුක්ත පුද්ගලයන් මෙන්ම ඔවුන්ගේ ප්‍රතිපත්තිද මැනැවින් දැක ගැනීමටත් නිසිසේ තක්සේරු කිරීමටත් රටේ ස්ත්‍රී පුරුෂ දෙපක්ෂයටම ඇති හැකියාව කෙමෙන් වර්ධනය වීම මේ ප්‍රගතිය සඳහා බෙහෙවින්ම උපකාරී වී තිබේ. “ඩේලි නිව්ස්” “දිනමිණ” “සිළුමිණ” හා (සහෝදර පුවත්පතක් බවට පත්වීමෙන් පසු “සිලෝන් ඔබ්සර්වර්” යන පුවත්පත් මගින් අචලව ප්‍රකාශයට පත් කැරුණු ප්‍රතිපත්ති එකී නව ප්‍රවණතාව හැඩ ගැස්වීමෙහිලා කොතරම්දුරට හේතුකාරක වූයේද යන්න ජනතාවටම නිශ්චය කරගත හැක.

තෑග්ගක් හෝ වරමක් වශයෙන් නොව අන්සතු නොකළ හැකි අයිතියක් වශයෙන් ලංකාවේ ජනතාවට ස්වරාජ්‍යය ලබාදිය යුතු යැයි ප්‍රකාශ කළ “ඩේලි නිව්ස්” පත්‍රය සිය සේවයේ සමාරම්භයේ සිටම ඒ සඳහා සටන් වැදුණේය. ටිකෙන් ටික දෙන සහනවලින් සෑහීමට පත් වීමටද එය සූදානම් නොවූයේය.

මැනිං ප්‍රතිසංස්කරණ යෝජනාවල මසුරුකම හෙළාදුටු මේ පුවත්පත 1924 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ අඩුපාඩුකම් විවේචනයට ලක්කළ අතරම එය ලංකා ජනතාවගේ වැඩෙන දේශපාලන බුද්ධියට කළ සමච්චලයක් බවද ප්‍රකාශ කළේය.

ඩොනමෝර් ආණ්ඩුක්‍රමය ස්ථාපිත වුණු අවස්ථාවේ දී ඊටද උරුම වී තිබුණු අඩුපාඩුකම් ඉන් ඉවත් කරන ලෙස ඉල්ලා “ඩේලි නිව්ස්” පුවත්පත යළිත් සිය උද්ඝෝෂණය ආරම්භ කෙළේය. වගකිවයුතු රජයක මෙවලමක් වශයෙන් ඒ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙහි සුළු ලිබරල් ලක්ෂණ තිබුණු නමුත් එහි ඇතුළත්ව තිබුණු “කාරක සභා ක්‍රමය” සේ නිෂ්ඵලතාව ඒ අඩුපාඩුකම් අතර කැපී පෙනෙන්නක් බව “ඩේලි නිව්ස්” පත්‍රය ප්‍රකාශ කෙළේය. ඇමැති මණ්ඩලයක් වෙත පැවැරෙන වගකීම් සහිත පාර්ලිමේන්තු ආණ්ඩු ක්‍රමයක් ඉල්ලා “ඩේලි නිව්ස්” පත්‍රය අඛණ්ඩ උද්ඝෝෂණයක හා අනායාස ප්‍රයත්නයක නිරත වූයේය. දිවයිනේ පරිපාලනය කෙරෙහි යොමු කරගත් තියුණු ඇස් ඇතිව වැරදි හා අකටයුතුකම් බියක් හෝ බැඳීමක් නොමැතිව ප්‍රතික්ෂේප කළ ඩේලි නිව්ස් පත්‍රය වැදගත්ම කරුණ එනම් තමන්ගේ කටයුතු පාලනය කර ගැනීමට ලංකාවේ ජනතාවට ඇති අයිතිය කෙරෙහිද නෙත්සිත් යොමු නොකර සිටියේ නොවේ.

එවන් පිළිවෙතක් අනුගමනය කරද්දී පුවත්පතට සතුරන් ඇතිවීම වැළැක්විය හැකි නොවීය. විසි වසරක් රාජ්‍ය පාලනයේ නිලධාරීවාදයට පුවත්පතෙන් නිර්දය ලෙස පහර වදිද්දී එතෙක් පත්‍රයට ලැබුණු රාජ්‍ය දැන්වීම් නතර කිරීමෙන් එයින් පළිගැනීමටත් ඒ සමඟම පත්තරයට කෙනිත්තීමටත් රජය පියවර ගත්තේය. පාඩු විඳගෙන පත්‍රයක් පවත්වාගෙන යා හැකි නොවුණත් හුදෙක් මුදල්මය ප්‍රතිලාභයම තකා නොව ප්‍රතිපත්තියක පිහිටා සිටි මේ පත්‍රයට ඒ ප්‍රතික්‍රියාව එතරම් දෙයක් නොවීය. රජයේ මේ ළාමක ක්‍රියාවට මන්ත්‍රී මණ්ඩලයෙහිදී ප්‍රශ්න කැරුණු අතර දැන්වීම් පළකරවා ගැනීම සඳහා යළිත් “ඩේලි නිව්ස්” සොයා එන්නට රජයට සිදුවිය.

“ඩේලි නිව්ස්” ප්‍රකාශයට පත් වූ විට එය ඇතැමුන්ගේ භීතියට හේතු වූයෙන් ඔවුහු ඊට එරෙහිව නොයෙක් බොරු කතා පතළ කරන්නට පටන් ගත්හ. සුළු ජාතීන් රහසිගතව ඩව්නිං වීදියට යැවූ සන්දේශය පිළිබඳ කතාව එවැන්නකි. ඊට කැමැති නොවූ කුමන්ත්‍රණකරුවෝ එය අනාවරණය කළහ.

එසේවුවද නිල අනුග්‍රහය පතා කාගේවත් පස්සෙන් යන්නට හෝ පාක්ෂික කල්ලි සමඟ පෙම් කෙළින්නට හෝ “ඩේලි නිව්ස්” සූදානම් නොවීය.

එවැනි කිසිදු අරමුණක් ඊට නොතිබුණු හෙයින් පුවත්පතේ අයිතිකරුවන්ගේ දේශපාලන අපේක්ෂාවලට තල්ලුවක් දීමේ අවශ්‍යතාවක්ද “ඩේලි නිව්ස්” පත්‍රයට නොතිබුණේ ඒ අයිතිකරුවනට එවැනි අපේක්ෂා නොතිබුණු හෙයිනි. පුවත්පතේ මෙහෙවර වූයේ එහි මං තීරුව වූයේ පොදු රාජ්‍ය මණ්ඩලයට අයත් ජාතීන් අතර ලෝක ජනතාව අතර නිදහස් හා සමාන මිනිසුන් වශයෙන් හැසිරීම ලක්වැසි ජනතාවටද ගැති වනසේ ඔවුනට දේශපාලන විමුක්තිය අස්සන් කරදීමය.

රටට සිදුකළ සේවය පිළිබඳ වාර්තාව නිසාත් ලංකාව දැන් ලබාගෙන ඇති ස්වාධීනත්වය වෙනුවෙන් පිරිනැමුණු දායකත්වය නිසාත් “ඩේලි නිව්ස්” පත්‍රයට හිමිවී තිබෙන ආඩම්බරය ගැන ඊට ඊර්ෂ්‍යා කරන්නට කාට හෝ පුළුවන්ද?

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා


සබැඳි පුවත්