ලාංකේය ජනමාධ්‍යයෙහි වයාපාරික හා වෘත්තික පදනම

ලාංකේය ජනමාධ්‍යයෙහි ව්‍යාපාරික හා වෘත්තික පදනම

ලංකාවේ පළමු පුවත්පත ලෙස සැලකෙන්නේ “කලම්බු ජර්නල්” පුවත්පත යි. එය 1832 ජනවාරි මස පළමු වැනිදා නිකුත් විය. අවශ්‍ය පිරිවැය සොයා ගැනීම, මුද්‍රණය, අලෙවිය ආදී කරුණු අතින් එකල පුවත්පතක් ආරම්භ කිරීම මෙන් ම, පවත්වාගෙන යාම ද ප්‍රබල අභියෝගයක් විය. ඉන් වසර 180කට ආසන්න කාලයක් ගෙවී ගොස් අද අප පුවත්පත් කර්මාන්තය දෙස බලද්දී එය වඩාත් විධිමත් වූ ශක්තිමත්, වෘත්තික පදනමක් සහිත කර්මාන්තයක් ලෙස ලාංකික සමාජයේ පිළිගැනීමට ලක්ව තිබේ. මෙවැනි පරිවර්තනයක් පුවත්පත් කලාවට ලැබෙනුයේ අහම්බයක් හෝ ප්‍රාතිහාර්යක් නිසා නොවේ. ඒ පිටුපස පුද්ගල චරිත විශාල ප්‍රමාණයක් ඇත. අද දවසේ අප අත් විඳින පුවත්පත් කලාව මේ යෝධ පරිවර්තනයට ගෙන ආ චරිතයන් අතර ප්‍රබලම පුද්ගලයා ඩී. ආර්. විජයවර්ධන මහතා ය. එය කුමන මතවාදයක් දරන පුද්ගලයකු වුව පිළිගනු ඇත.

සාමකාමී ප්‍රවේශය

19 වැනි ශත වර්ෂයේ ලාංකීය ජාතික ව්‍යාපාරයට සමගාමීව පුවත්පත් කර්මාන්තය බිහිවී, වැඩි වර්ධනය වන්නේ ද ජාතික ව්‍යාපාර පසුබිමේ ය. එම නිසා ජාතික ව්‍යාපාර පසුබිමෙන් අත්මිදී අපගේ පුවත්පත් කර්මාන්තය ගැන කතා කිරීම කළ නොහැක්කකි.

1815 දී ඉංගී‍්‍රසින්ගේ පාලනයට මෙරට නතුවීමත් සමඟ ම තමනට අහිමිව ගිය නිදහස් රාජ්‍ය යළිත් දිනා ගැනීම සඳහා ලාංකිකයෝ ඉංගී‍්‍රසීනට එරෙහිව විවිධ ක්‍රමෝපායන් අනුගමනය කළහ. පළමු ප්‍රයත්නය වූයේ සන්නද්ධ අරගලයි. එහෙත්, 1818, 1848 දී මේ ක්‍රමෝපාය අසාර්ථක විය. ඉන් අනතුරුව ඇරැඹෙනුයේ නිදහස දිනා ගැනීමේ සාමකාමී වූ ප්‍රව්ශය යි. මෙකී සාමකාමී ප්‍රවේශය ඔස්සේ 19 වැනි ශතවර්ෂයේ අග බාගයේ සිට අපගේ නිදහස් සටන වර්ධනය වේ. සාමකාමී ප්‍රවේශයේ ප්‍රධාන මෙවලම් වූයේ සාකච්ඡා, පත්‍රිකා, දේශනා, පුවත් පත්, සඟරා ආදියයි. මෙලෙස සංවිධානය වූ නිදහස් සටනේ ප්‍රධාන අදියර දෙකක් අපට හඳුනා ගත හැකි ය.

පළමුව එය අර්ධ දේශපාලන ව්‍යාපාරයක් ලෙස වර්ධනය වේ. එහිදී ආගම, සංස්කෘතිය, සිරිත් විරිත් පදනම් කරගත් සටන් පාඨ ආශ්‍රයෙන් ගොඩ නැඟී ඇත. ඉංගී‍්‍රසීන් නොමඟ යැවීමට ද එය එක් අතකින් සමත් විය. බැලූ බැල්මට දේශපාලන ප්‍රවේශයක් නොපෙනීම එවැනි අවබෝධයක් ඇතිවීමට බලපෑවේ ය. එහෙත් ඇත්ත වශයෙන්ම ආසියාවේ, අපි‍්‍රකාවේ බොහෝ රටවල මෙන්ම ලංකාවේ ද නිදහස් සටනට අවශ්‍ය අර්ධ දේශපාලන පසුබිම සකසා ගනු ලබන්නේ මෙසේ ය.

අර්ධ දේශපාලන ව්‍යාපෘතිය අවසන් වනුයේ 20 වැනි ශත වර්ෂය එළැඹීමත් සමඟ ය. මේ වන විට දිවයිනේ සෑම ප්‍රදේ්ශයකින් ම ජාතික සවිඥානිකත්වයක් ගොඩ නැගෙමින් තිබිණි. එහෙත් තිබූ ආගමික, සංස්කෘතික නැඹුරුව වෙනුවට ඍජු දේශපාලන නිදහසක් පිළිබඳ කතා කිරීමට ලක් වැසියෝ පෙළඹුණහ. පුවත්පත්, ලිපි ලේඛන පරීක්ෂා කිරීමේ දී මේ බැව් මැනවින් පැහැදිලි වේ. ඒ සමඟ ම එතෙක් පුවත්පත් කතා කළ ආගමික, සංස්තෘතික පුනරුදය ඍජු දේශපාලනික මතවාදයක් දක්වා වර්ධනය විය. සිංහල ජාතිය (1903), සිංහල බෞද්ධයා (1906) දිනමිණ (1909) බිහිවන්නට විය. එහෙත්, ජාතික ව්‍යාපාරය ශක්තිමත් කිරීමට තරම්, සමත්වූ පුවත්පතක් මේ වනවිට පහළ වී තිබුණේ නැත. විටින් විට පුවත්පත් පළ වුවද ඒවා ටික කලකින් ම වැසී ගියේ ය. මේ පුවත්පත් කර්තෘ මූලික පුවත්පත් වීම නිසා පවත්වාගෙන යන්නට සිදු වූයේ ඒක පුද්ගල ව්‍යාපාර ලෙසට ය. ඇතැම් අවස්ථාවල දී යම් යම් සමිති, සමාගම්, මැදහත් වී පුවත්පත් ආරම්භ කළ ද එම සමිතීන් හි ප්‍රධානත්වය ගත් පුද්ගලයන්ගේ අසීරුතාවන් හිදී එම පුවත්පත් කඩා වැටිණි.

මෙකල පුවත්පත් කඩා වැටීමට තවත් හේතු කාරණා රාශියක් බලපාන්නට ඇත. පළමුව පුවත්පත ජනතාවට සමීප වී තිබුණේ නැත. වඩාත් ගැඹුරු අර්ථයෙන් කියනවා නම් කුඩා කණ්ඩායම් සන්නිවේදනය, අන්තර් පුද්ගල සන්නිවේදනය ආදි ක්‍රම මෙන් ජන සන්නිවේදනය ජනතාවට දැනෙන දෙයක් වී තිබුණේ නැත. එමෙන් ම බෙදාහැරීමේ ගැටලු ද වන්නට ඇත.

තව ද පාඨකයා ට මෙන් ම පුවත්පත් හිමිකරුට ආර්ථික ගැටලුව ද බල පෑවේ ය. “සිංහල ජාතිය” පුවත්පත මුහුණ දී තිබූ තත්ත්වය පුවත් පත්හි ආර්ථික අර්බූදයට හොඳම නිදර්ශනයකි. 1909 නොවැම්බර් මාසයේ එම පුවත්පතේ තොරතුරු අනුව මාස නවයකට එහි මුළු වියදම රු. 2500.00 වී තිබිණි. ජාති හිතෛෂී පුද්ගලයන් එය රු. 1000.00 පරිත්‍යාග කර තිබිණි. එහෙත් දෙන්නම් කාසිවලට පත්‍රය ණයට ගත් පිරිස 486 ක් වී තිබිණි. මෙවැනි තත්ත්වය පුවත්පත ඉතා අසීරු අඩියකට වැටිණි.

මෙලෙස ඇතිවන ආර්ථික කඩා වැටීම වලකා ගැනීම සඳහා කර්තෘවරයා ලිපි ලිවීම, සංස්කරණය ට අමතර ව කතා පැවැත්වීමටත්, දායකයන් බඳවා ගැනීමටත් ගමින් ගමට යන්නට පටන් ගත්තේ ය. අවසානයේ සිදු වූයේ ගමන් වියදම ද වැඩිවී පුවත් පත බංකොලොත් වී යාම ය. මෙලෙස පස් වතාවක්ම විටින් විට සිංහල ජාතිය පුවත්පත ආරම්භ කිරීමට කටයුතු කෙරුණ ද එය කඩා වැටිණි. මෙය එකල තිබූ බොහෝ පුවත්පත් හි ඉරණම විය.

මේ සමගාමීව සිදුවන තවත් වැදගත් සිදුවීමක් විය. එනම්, එෆ්. එම්.එම්.කෝබට් මහතාගේ මිත්‍රත්වය මත රටේ නිදහස හා පුවත්පත් ආරම්භය ගැන අදහසක් ඩී. ආර්.විජයවර්ධන මහතාට ලැබීමයි. පුවත්පත තුළින් රට තුළ ප්‍රබල මහජන මතයක් ඇති කිරීමේ හැකියාව මෙන්ම අවශ්‍යතාව ඉතා ප්‍රබල ලෙස විජයවර්ධන ගේ සිතට කාවැද්ද වීමට කෝබට් මහතා සමත් විය.

ජාතික පුවත්පතක්

ලංකාවේ නිදහස දිනා ගැනීමත් ඒ සඳහා පුවත්පත් වලින් අවශ්‍ය මතවාදී වෙනස ඇති කිරීම පිළිබඳත් විජයවර්ධන මහතා විමසිලිමත් විය. ඒ අනුව කෝබට් මහතා ප්‍රකාශ කළ පරිදි පුවත්පතක් ඇරැඹීමට ඔහු තරයේ අධිෂ්ඨාන කර ගෙන තිබිණි. එංගලන්තයේ සිටියදී ම ලංකාවේ පළවූ “The Independent” පුවත්පත මිලදී ගැනීමට විජයවර්ධන මහතා උත්සාහය දරන්නේ එහෙයිනි. එහෙත්, එය අසාර්ථක විය. 1912 දී ලංකාවට පැමිණීමෙන් අනතුරුව ඔහුගේ ව්‍යායාමය සාර්ථක විය. ඒ, දිනමිණ පුවත්පතට උදාවී තිබූ තත්ත්වය අනුව ය. කර්තෘවරයා බලවත් ලෙස රෝගාතුර වීමෙන් දිනමිණ මිලයට ගැනීමට විජයවර්ධනයන්ට හැකියාව ලැබිණි.

ජාතික නිදහස ලබාගැනීම සඳහා මහජන මතය හැඩ ගැස්වීමේ දී දේශපාලනමය අවබෝධයක් ලබාදීමට පහසු ආකාරයෙන් ‘දිනමිණ’ ගොඩ නගන්නේ කෙසේ ද යන්න ප්‍රායෝගික ගැටලුවට ඔහුට මුහුණ දෙන්නට සිදුවන්නේ මෙ තැනදී ය. එංගලන්තයේ දී ලබා තිබූ අත්දැකීම් ඔහුට ප්‍රබල ලෙස උදව්වට එන්නේ මේ අවස්ථාවේ දීය. මෙහි දී ඔහුගේ අරමුණ වී තිබුණේ ජාතික මට්ටමේ සන්නිවේදන මාධ්‍යයක් බවට දිනමිණ පත්කිරීම ය. ඒ සඳහා ඔහු දිනමිණ මිලයට ගැනීමෙන් පමණක් සෑහීමට පත් නොවී “ද සිලනීස්” පුවත්පත මිලයට ගත්තේය. එය 1918 ජනවාරි 03 දා සිට Daily News නමින් ප්‍රකාශයට පත් කෙරිණි.

1923 දී සිලෝන් ඔබ්සර්වර් ද 1930 දී සිළුමිණ ද 1932 දී තිනකරන් ද අරඹා පුවත්පත් අධිරාජ්‍ය ගොඩ නඟා ගත්තේ ය. එතනින් නොනැවතුණු ඔහු සියලුම පුවත්පත් එකම වහළක් යටට ගෙන ගියේ ය. ලේක් හවුස් බිහිවීම යනු ලාංකීය පුවත්පත් ඉතිහාසයේ සුවිශේෂීම අවස්ථාවකි. ඒ අන් කිසිවක් නිසා නොව එතෙක් ලංකාව තුළ තිබූ කර්තෘ මූලික පුවත්පත් යුගයට නවමු අත්දැකීමක් ලැබීමයි. ඒ ව්‍යාපාරික පසුබිමක පුවත්පත් කලාවක් ඇරැඹීම ය. මෙසේ ඇරැඹුණු ලේක් හවුසිය එකල අග්නි දිග ආසියාවේ තිබූ උසස්ම පුවත්පත් ආයතනය ලෙසින් සම්භාවනාවට පත් විය.

මෙතනින් ඇරැඹෙනුයේ ලාංකීය පුවත්පත් කලාවේ වඩාත් සංවිධානාත්මක යුගයකි. එහි නිර්මාතෘ වරයාණෝ ඩී. ආර්. විජයවර්ධන යන් ය. ඒ කෙසේ ද යන්න විමසා බැලිය යුතුව පවතී. කොළඹ කොටුවේ ලේක් හවුස් මන්දිරය ඉදිකිරීමට පෙර එතුමාගේ පුවත්පත් ව්‍යාපාරය පවත්වාගෙන ගියේ මරදාන මරියකඩේ ප්‍රදේශයේ ය. එම ප්‍රදේශයේ පුවත්පත් කාර්යාලයක් තිබීමෙන් පුවත්පතකට දැන්වීම් ලබා ගැනීමේ දී යම් ගැටලුවකට මුහුණ දුන්නේ ය.

පත්තර මහගෙදර

එම නිසා එවකට තමා සතුව තිබූ ‘දිනමිණ’ සහ ‘ඩේලි නිවුස්’ පුවත්පත් කාර්යාල කොටුවට ගෙන යාමට එතුමා උත්සාහ කළේ ය. මහ තැපැල් කාර්යාලය, විදුලි පණිවිඩ කාර්යාලය අසලම තිබුණෙන් පුවත්පත් සඳහා ප්‍රවෘත්ති හා ලියුම් ඉක්මණින් ම ලබා ගැනීම මෙන්ම ලියුම් හා පුවත්පත් ඉක්මණින් තැපැල් කර යැවීමට ද හැකියාව ලැබිණි. මේ හැරුණු කොට තවත් අමතර වාසි රැසක් ද ලැබිණි. කාර්ය්‍ය මණ්ඩලය සකසා ගත්තේ ද ඉතා සූක්ෂම වූ ආකාරයකිනි. විජයවර්ධන මහතාගේ දිනමිණ කර්තෘත්වය දැරු කර්තෘවරුන්ගෙන්ම ඒ බව තහවුරු වේ. ඒ, ඩී.ජේ.බී.විජේසේකර, එන්.එම්. ජිනදාස,ජේ.වෙත්තසිංහ, ඩී.ඩබ්ලිව්. වික්‍රමාරච්චි, ඇලෙක්සැන්ඩර් වැලිවිට, මාර්ටින් වික්‍රමසිංහ සහ පියසේන නිශ්ශංක ආදිහු ය. මේ හත් දෙනාම කාර්ය ශූර පුද්ගලයන් වූහ. එමෙන් ම බහුශ්‍රැතයෝ වූහ. එමෙන්ම කර්තෘ මණ්ඩලයේ සාමාජිකයකු ලෙස ජී. බී. සේනානායක මහතා එක්කර ගැනීමත් ඔහුට වැටුප් ලබා දුන් ආකාරයත් දක්ෂ නවකයින්ගේ අවධානය ලේක් හවුසිය වෙත යොමු කරවා ගැනීමට මෙන්ම ඔවුන්ව ඇගයීමටත් යොදාගත් උපක්‍රමයක් බඳු විය.

මාර්ටින් වික්‍රමසිංහ මහතාගේ දැනුම් දීමකට අනුව ජී. බී. සේනානායකයන් කර්තෘ මණ්ඩලයට බදවා ගැනිණි. ඔහු බඳවා ගත්තේ එතෙක් කර්තෘ මණ්ඩලයේ සිටි එච්. එස්. මහින්දදාස ට වඩා වැඩි වැටුපකට ය. එනිසා මහින්දදාස අමනාපයෙන් සිටින බව වික්‍රමසිංහයන් විසින් විජයවර්ධන මහතාට දැනුම් දුන්නේය.

“මහින්දදාස දිනමිණ තම ජීවිතයම ලෙස සලකා වැඩ කරන්නෙකි. ඔහුට දිනමිණ නිවස වැනිය. ජී. බී. සේනානායක දිනමිණ ට ආධුනිකයෙකි. දක්ෂයෙකි. ජී.බී ට පඩි වැඩි නොකළොත් ඔහුගේ දක්ෂතාව අහිමි විය හැකිය. මහින්දදාස පඩි ඇතිවද නැතිවද දිනමිණ සේවය කරන්නට කැමැති වනු ඇති දැයි විජයවර්ධන මහතා පිළිතුරු දුන්නේ ය.

මෙය පැරණි සේවකයන් නොසලකීමකට වඩා එක් අතකින් තරුණයන් දිරිමත් කිරීමක් ලෙසද අනික් අතට සේවකයන් පිළිබඳ නිසි අවබෝධයෙන් සිටි ස්වාමියකු බවද විජයවර්ධනයන්ගෙන් පෙන්නුම් කරන අවස්ථාවකි.

ඩේලි නිවුස් පුවත්පතේ ආරම්භක කර්තෘ වරයා ලෙසින් සුදුස්සකු තෝරා ගැනීමේ දී ද විජයවර්ධන මහතාගේ පුද්ගලයන් හඳුනා ගැනීමේ ශක්තිය ඉස්මතුව ආ තවත් අවස්ථාවකි. එවකට ලංකාවේ ප්‍රබල පුවත්පත් කිහිපයක්ම තිබිණි. ඒවා සමඟ තරඟ කිරීමට දක්ෂ කර්තෘවරයකු අවශ්‍ය විය. ඒ සඳහා සිටි හොඳම පුද්ගලයා වූයේ මොර්නිං ලීඩර් පුවත්පතේ ආමන් ද සුසා ය. ඔහු දක්ෂයෙක් විය. ඔහු සමඟ විජයවර්ධන මහතා සාකච්ඡා ද කළේ ය. එහෙත් මතවාදීව යම් ගැටලු තිබිණි. මේ නිසා සුසා සම්බන්ධ කර ගැනීමේ ප්‍රයත්නය ව්‍යාර්ථ වූ අතර ඒ වෙනුවට එස්. ජේ. කේ. ක්‍රවුදර් මහතා විකල්පයක් ලෙස සොයා ගත්තේ ය. කර්තෘවරයා එලෙස තෝරා ගත් අතර කර්තෘ මණ්ඩලය ටාසි විට්ටච්චි, ජේ. එල්. ප්‍රනාන්දු, එච්. ඒ. ජේ. හුලුගල්ල, ඩී. බී. ධනපාල වැන්න වුන්ගෙන් සවිමත් කළේ ය.

එපමණක් නොව පුවත්පතේ ආකෘතිය, අන්තර්ගතය පිළිබඳ සොයා බැලීය. දිනමිණ පුවත්පත ගතහොත් එහි මුල්පිටුවේ "දිනමිණ" අකුරු දෙපස (EAR SPACE) වෙළෙඳ දැන්වීම් සඳහා යොදා ගත්තේ ය. එමෙන්ම ඩිමයි බාගයේ පත්‍රයක් වූ දිනමිණ පුළුල් පිටු පුවත්පතක් කළේ ය. තවද කතුවැකිය පමණක් නොව පුංචිම පුවතද ඇතුළුව ඕපාදූප තීරු පවා විජයවර්ධන මහතාගේ අවධානයට ලක් විය. ඒ කාලයේ පුවත්පත්හි ඡායාරූප පළ වූයේ ඉතාම කලාතුරකිනි. එහෙත් 1915 මාර්තු 2 දිනමිණට ඡායාරූපයක් මගින් අලුත්ම මුහුණුවරක් ලබාදීමට විජයවර්ධන මහතා කටයුතු කර තිබිණි.

ශ්‍රී වික්‍රම රාජසිංහ රජතුමා හා එම බිසවගේ ඡායාරූප ද රාජකීය සිංහල කොඩියද එහි විය. මෙලෙස පුවත්පතේ ඡායාරූප පළවීම දිනමිණ ජාතික පුවත්පතක් ලෙස රටවැසියාට අමතක නොවන හැඟීමක් ද ජනිත කළේ ය. සර් ජෝන් ඇන්ඩර්සන් ආණ්ඩුකාරවරයා මියගිය පසුව ඔහුගේ දෙන සහිත ඡායාරූපයක් ද පත්‍රයේ පළ කිරීමට කටයුතු කෙරිණි.

දුර බැහැර පළාත් වලින්ද පුවත්පත් අලෙවි නියෝජිතයන් පත් කළේ ය. ග්‍රාමීය ප්‍රදේශවල තොරතුරු ලබා ගැනීමට වාර්තාකරුවන් හඳුන්වා දුන්නේ ය. ප්‍රාදේශීය වාර්තාකරුවන්, උසාවිවලට පළාත්බදව සහ මාණ්ඩලිකවද වාර්තාකරුවන්ගේ සේවය පුවත්පත්වලට ලබා ගත්තේ ය.

මෙලෙස පුවත්පතේ ආකෘතිය, අන්තර්ගතය සැකසූ විජයවර්ධන මහතා රටපුරා පාඨකයන් අතට සිය පුවත්පත් යැවීමට විශේෂ ක්‍රමයක්ද ඇති කළේ ය. ' දිනමිණ' බස් රථය ඉන් එකකි. තවත් ක්‍රමයක් වූයේ "දිනමිණ" යන පුවරුව රැගත් බෙදාහැරීම් රථ ග්‍රාමීය ප්‍රදේශ කරා යැවීමයි. කොළඹ කොටුවේ සිය ප්‍රවෘත්ති පත්‍රවල නම් ප්‍රදර්ශනය වනවිට ඉතා දුෂ්කර ගම්මානවල ජනතාවගේ නෙතු ගැටීමටත් මේ ක්‍රමයන් මහත් උපකාරී විය. අවසානයේ ගමේත්, නගරයේත් දෙකෙහිම ජනපි‍්‍රය පුවත්පත් රැසක් ඔහු අතින් බිහිවිය.

මේ සියලු දේ කරන අතරතුර යම් යම් නව අත්දැකීම් ලබා පුවත්පත් ව්‍යාපාරය ශක්තිමත් කිරීමටද ඔහු පසුබට වූයේ නැත. ඔහුගේ ව්‍යාපාරික ඥානය සහ ලෝකය පිළිබඳව තිබූ අවධානය නිසා පුවත්පත් කර්මාන්තයට නවමු දේ සොයා ගන්නට හැමවිට උත්සාහ කළේ ය. සිය සේවකයකු වූ එච්.ඊ.ආර්. අබයරත්නට එංගලන්තයට යාමට අවස්ථා උදාකරදුන්නේ ය. එංගලන්තයේ සිටියදී ඔහුගෙන් පුවත්පත්හි නව ප්‍රවණතාවන් දැනගැනීමට විජයවර්ධන මහතා කටයුතු කළේ ය.

නව ප්‍රවණතා

මෙලෙස නව ප්‍රවණතා ආදිය හඳුනාගනිමින් නව හඳුන්වාදීම් ලංකාවට හඳුන්වා දෙමින් නවමු ව්‍යාපාරයක් ලෙස විජයවර්ධන මහතා පුවත්පත් කලාව ගොඩ නැංවූයේ ය. එහෙත් අවසානයේ විජයවර්ධන මහතාට එල්ල වූ ප්‍රබල චෝදනා ගණනාවකි. ඒ අතරින් සේවකයන්ග් ශ්‍රමය සූරා කෑ බවත් නිර්දය ස්වාමියකු බවටත් ඔහුට චෝදනා නැගිණි.

ඩී.ආර්. විජයවර්ධනයන් ලාංකීය පුවත්පත් කලාවේ ප්‍රගමනය උදෙසා සක්‍රියව ක්‍රියා කළ මහා පුරුෂයාය. ඔහු නිර්දය ස්වාමියකු ලෙස හංවඩු ගැසීමට කුමන උත්සාහ කළත් විජයවර්ධන මහතා එසේ නොවන සාධාරණ ස්වාමියකු බව කීමට බොහෝ සාධක ඇත.

විජයවර්ධන මහතා පුවත්පත් කලාවට පිවිසෙන්නේ ජාතික සටනට ශක්තිමත් පසුබිමක් ලබාදීමට ය. එහෙත්, ලංකාව වැනි රටක එකල පුවත්පත් මහත් අභියෝගයක් විය. ඒ පුවත්පත් ක්‍රමවත්ව එතෙක් පවත්වාගෙන විත් නොතිබූ නිසා ය. ඒ සෑම අභියෝගයක් වන්නට ඇත. කර්මාන්තයක් ලෙස අභියෝග ජයගනිමින් ඉදිරියට පියවර තබන අතරම ජාතික සටනට අවශ්‍ය දේශපාලන මතවාදී දායකත්වය ලබාදීමටද ඔහුට සිදුවිය.

මෙවැනි තත්ත්වයන් උඩ සළකා බැලීමේදී ලාංකීය පුවත්පත් සඳහා අවශ්‍ය මානව සම්පත්, තාක්ෂණික, දැනුම මෙන්ම පුළුල් වූ ව්‍යාපාරික පසුබිම ද එමෙන්ම වෘත්තීය පසුබිමත් බිහිකළ උදාරතම පුද්ගලයා විජයවර්ධන මහතා ය.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා


සබැඳි පුවත්